කොඩිකන්ද හිමි ඝාතනයේ අබිරහස හෙළිවේ | Page 2 | සිළුමිණ

කොඩිකන්ද හිමි ඝාතනයේ අබිරහස හෙළිවේ

ඝාතනය වූ උඩුවිල ධම්මසිරි හිමි

ත්ගම පොල්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමි හෙවත් සුදු හාමුදුරුවන්ගේ අබිරහස් අපවත්වීම සිදුවී තවම මසක් හෝ ඉක්ම ගොස් නැත. තවත් එලෙසම අබිරහස් ලෙස අපවත්වූ හිමිනමකගේ පිලිස්සෙමින් තිබූ දේහයක් පිළිබඳ පසුගිය 4 වැනිදා දහවල් පුද්ගලයකුගෙන් කොටදෙණියාව පොලිසියට තොරතුරක් ලැබිණි.

"සර්... නාවාන කනත්තෙ මිනියක් පිච්චෙනවා..." 

මීරිගම සිට කොටදෙණියාවට යනෙන මාර්ගයේ දකුණුපසින් වූ නාවාන පොදු සුසාන භූමියේ මීට වසර දෙකකට පමණ පෙරදී භූමදාන කළ මිනී වළක් මත එකී දේහය පිලිස්සෙමින් තිබිණි. ඒ පිළිබඳව කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එන්. පුෂ්පකුමාරගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ඇරැඹිණි.

ඒ අනුව ස්ථානාධිපතිවරයා සමඟ කොටදෙණියාව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ලියනගේ ඇතුළු කණ්ඩායමක් නාවාන සුසාන භූමියට ගොස් පිලිස්සෙමින් තිබූ දේහය පරීක්ෂා කරමින් විමර්ශන ආරම්භ කළේය.

අඩක් පිලිස්සුණු හිස බූ ගා තිබූ සිරුරෙහි කන්වලින් සහ නාසයෙන්ද රුධිරය වහනය වීමක් සිදුවී ඇති බවට සලකුණු විය. ඇඳ ඇතිරිල්ලකින් ඔතන ලද සිරුර වැඩිදුරටත් පරීක්ෂා කළ පොලිස් නිලධාරින්ගේ සැකය වූයේ මෙය නම් අනිවාර්යයෙන්ම මිනීමැරුමක්ම විය යුතු බවටයි. ඒ අනුව මීගමුව කොට්ඨාස පොලිස් නිල සුනඛ චාලිද ගෙන්වා සෝදිසි කිරීම් සිදු කළහ.

ඒ අතරේ පොලිසියට ත්‍රිරෝද රථ රියැදුරකුගෙන් තවත් හෝඩුවාවක් ලැබිණි.

"සර්... හතර වැනිදා අලුයම දෙකට විතර මං නුවර ඉඳන් එනකොට සුසාන භූමිය ඉදිරිපිට කුඩා යතුරුපැදියක කෙනෙක් ඉන්නවා දැක්කා..."

අනතුරුව කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙකී අබිරහස් දේහය පිළිබඳව මිනුවන්ගොඩ අධිකරණයටද කරුණු වාර්තා කළේය. මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඉන්දිකා රත්නායක මහත්මිය සුසාන භූමියට පැමිණ සිදුකළ පරීක්ෂණවලින් පසු දේහය වැඩිදුර විමර්ශන සඳහා මීගමුව රෝහලෙහි මෘත ශරීරාගාරයෙහි තැන්පත් කෙරිණි. ඒ අතර අවට සියලු පොලිස් ස්ථානද මෙකී අබිරහස් දේහය පිළිබඳව දැනුම්වත් කිරීමටද කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.

මේ අතරේ මෙකී හිස බූ ගා තිබූ පිළිස්සුණු සිරුර සහ හංවැල්ල පොලිස් වසමේ අතුරුදන්ව සිටි හිමිනමගේ සබඳතාව පිළිබඳව උසස් පොලිස් නිලධාරින්ගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශනයක් ආරම්භකර තිබිණි.

ඒ අනුව එලෙස අතුරුදන්ව සිටියේ හංවැල්ල පොලිස් වසමේ, තුම්මෝදර, කොස්වත්ත, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ 65 වියැති උඩුවිල ධම්මසිරි ස්වාමින් වහන්සේයි. ධම්මසිරි හිමියන්ට පසුගිය 2 වැනිදා රාත්‍රී 11ට පමණ කාන්තාවක ඇතුළු 10 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පොලු, මුගුරු අතැතිව ආරණ්‍ය සේනාසනයට පැමිණ දැඩි සේ පහර දී රතු පැහැති වෑන් රථයක දමා රැගෙන ගොස් තිබුණේය. ඒ බව හංවැල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ පසුගිය 3 වැනිදා පෙරවරුවේයි. ඒ, එම ආරණ්‍ය සේනාසනයේ වැඩවසන 23 හැවිරිදි ගල්නෑවේ සිරිධම්ම හිමියන් විසිනි.

ධම්මසිරි හිමියන් වැඩවිසූ කොඩිකන්ද ආරණ්‍යයේ හිමිවරුන් පස්නමක් පමණ වැඩ සිටි බවකි. ඇතැම් හිමිවරුන් අධ්‍යාපන කටයුතුවල නියැළෙන අතරේ ආරණ්‍ය සේනාසනයට ආගිය හිමිවරුන්ය. කෙසේ හෝ ධම්මසිරි හිමියන් පැහැරගෙන යද්දී ආරණ්‍යයේ විසුවේ 70 හැවිරිදි වැඩිහිටියකු සහ 33 හැවිරිදි ඔහුගේ පුත්‍රයා පමණි. එකී පුත්‍රයා කලක් එම ආරණ්‍යයේම පැවිදිව සිට උපැවිදි වූ අයෙකි. ඔහු නැවතත් ගම් ප්‍රදේශය වන කහවත්තෙ සිට සිය පියාණන් සමඟ ආරණ්‍යයට පැමිණ තිබුණේ දෙදෙනාම නැවතත් පැවිදි බව ලබා ගැනීමටයි.

ත්‍රාසජනක චිත්‍රපට දසුනක් බඳු ධම්මසිරි හිමියන් පැහැර ගැනීමට පැමිණිවුන් දුටු දෙදෙනා බිරාන්ත වී තිබේ. එම දාමරිකයන් ඔවුන් දෙදෙනාද බිය ගන්වා, දණ ගස්වා, ළඟ වූ ජංගම දුරකථනයද පැහැරගෙන එහි වූ සිම්පත්ද විනාශකොට පලා ගොස් තිබුණේය. මේ පිළිබඳ කිසිවක්, කිසිවකුට නොකියන ලෙස ඔවුන් දෙදෙනාට තර්ජනයද කර තිබුණේය. එසේම පලාගියවුන් ආරණ්‍යයේ විදුලියද විසන්ධිකොට ගොස් තිබිණි.

ආරණ්‍යයේ වැඩවසන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හැදෑරීම් කටයුතු කරන ගල්නෑවේ සිරිධම්ම හිමියන් රුවන්වැල්ල ප්‍රදේශයට වඩිමින් නැවතත් ආරණ්‍යයට පැමිණි විගස පිය-පුතු දෙපළගෙන් විමසා තිබුණේ ධම්මසිරි හිමියන් ගැනයි.

"උන්වහන්සේ සැතපිලා ඉන්නවා..." යැයි දෙදෙනා කීහ.

අනතුරුව සියල්ලෝ නින්දට ගියහ. එහෙත් පිය-පුතු දෙපළ රැය පුරා බියෙන් ගැහෙමින් සිටියේ සිදුවූ හුටපටය කියම්දෝ නොකියම්දෝ යන දෙගිඩියාවෙනි. එහෙත් පසුදා අලුයම සිරිධම්ම හිමියන්, ධම්මසිරි ස්වාමින් වහන්සේ පෙනෙන්නට නොවූ හෙයින් පිය-පුතු දෙපළගෙන් නැවතත් විමසීම් කළහ. ඔවුහු දෙපළ අලුයම රාත්‍රියේ වූ සියල්ල නොවළහා පැවැසූහ.

පැමිණි පිරිස අතර ආරණ්‍යයේ වැඩ වසමින් මීට දින කීපයකට පෙර දෙමාපියන් පැමිණ රැගෙන ගිය කුඩා සාමණේර හිමිනමගේ මවද සිටි බව දෙදෙනා කිහ.

සියලු තොරතුරු සිරිධම්ම හිමියන් හංවැල්ල පොලිසියට කීහ. පොලිස් පොතේ පැමිණිල්ලක් ලෙස සටහන් වූ එම පැහැරගැනීම පිළිබඳව ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින්ගේද උපදෙස් මත හංවැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාරගේ මෙහෙයවීමෙන් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ඕල්ටර් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් ආරණ්‍ය සේනාසනයට ගොස් විමර්ශන ආරම්භ කළහ.

තවද බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහ බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටියගේ ඍජු අධීක්ෂණයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරි රොහාන් පෙරේරාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා සහ පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර ප්‍රමුඛ කණ්ඩායමක්ද විමර්ශනවලට එක් වූහ.

හංවැල්ල පොලිස් නිලධාරින් විසින් අසනීප යැයි පවසා දෙමාපියන් රැගෙන ගිය 12 හැවිරිදි කුඩා සාමණේර නමගේ සහ අතුරුදන්ව සිටි ධම්මසිරි හිමියන් අතර වූ යම් යම් ගැටලු පිළිබඳව අනාවරණය කර ගැනිණි. ඒ අනුව එකී කුඩා සාමණේර පිළිබඳව වැඩිදුර සොයා බලද්දී සාමණේර හිමියන් වයස අවුරුදු 9දී එනම් 2016දී එම ආරණ්‍යයේම පැවිදිව වසර තුනක් පමණ පැවිදි දිවිය ගෙවා මීට කලෙකට පෙර උපැවිදිව නිවෙසට ගොස් තිබේ. පසුව නැවතත් දෙමාපියන් සාමණේරයන් පැවිදි දිවියට ඇතුළත්කොට තිබුණේය. ඒ සාමණේර හිමියන් පැවිදි දිවියට දැඩි ආශාවක් දැක්වූ හෙයිනි. එහෙත් කුඩා සාමණේර හිමියන්ට ධම්මසිරි හිමියන්ගෙන් නොයෙක් තාඩන-පීඩන එල්ල වී ඇති බවකි. එම කරදර නිසාවෙන් කලක් කුඩා සාමණේරයන්ගේ සහෝදරයෙක්ද ආරණ්‍යයේ නතරකොට සිටි බවකි. ඔහුද දෙමාපියන්ට කියා තිබුණේ ධම්මසිරි හිමියන්ගෙන් එල්ල වන අකටයුතුකම් පිළිබඳවයි.

එලෙස එල්ල වූ අකටයුතුකම් කුඩා සාමණේරයන් සිය ජංගම දුරකථනයෙන් පටිගතකොට සිය මවටද යවා තිබූ බවකි. ඒත් සමඟ සාමණේරයන්ගේ මව විසින් එම දුරකථන පටිගත කිරීම් පෙන්වා ධම්මසිරි හිමියන්ගෙන් මුදල් ගරාගෙන තිබූ බවත් සැල වේ. ස්වාමින් වහන්ස පැහැර ගැනීමට යොදාගත් කුඩා සාමණේරයන්ගේ පියාට අයත් රථයේ ලීසිං වාරිකද ගෙවා ඇත්තෙ ස්වාමින් වහන්ස බවට හෙළි වේ. ඒ මවගේ බිය ගැන්වීම් නිසාවෙනි. එසේම ස්වාමින් වහන්සේ සතුව කෝටි පහක පමණ මුදලක් ඇති බවත් සිය ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට එකී මුදල් ලබා දෙන බවත් ධම්මසිරි හිමියන් කියා තිබූ බවද පොලිසියට අනාවරණය විය.

ස්වාමීන් වහන්සේගේ අතුරුදන් වීමේ හෝඩුවාවක් සොයා ගැනීමට හංවැල්ල පොලිසිය ඇතුළු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාස නිලධාරින්ද පසුගිය දින කීපයේම සාමණේර හිමිගේ හොරණ, කිරිගල්හේන, මීගැත්තර නිවෙසට ගියේය. පොලිසිය යන විට එහි වූයේ සාමණේර හිමියන් සහ සහෝදරයෙක් සහ සහෝදරියකි. එහෙත් නිවෙසේ යතුරුපැදි දෙකක් විය. පොලිසිය දරුවන්ගෙන් විමසූ විට එකී යතුරුපැදියක් මවගේ බවත් අනෙක සුමිත් මාමාගේ බවටත් පැවැසීය. එසේම සුමිත් මාමාද පසුදා යතුරුපැදියෙන් නිවෙසට පැමිණ පසුව මව සමඟ ගිය බවත් තවම කිසිවකු නොපැමිණි බවද කීවේය.

44 හැවිරිදි සුමිත් බණ්ඩාරද කුඩා සාමණේර හිමියන්ගේ මව වන 43 හැවිරිදි හිමාලි හා එක්ව බයිට් වර්ග විකිණීමේ ව්‍යාපාරයට එක්ව සිටියහ. තවද ඔහු කෞතුක භාණ්ඩ විකිණීම ඇතුළු ව්‍යාපාර කීපයකම නිරත වූවෙකි. සුමිත් ගැන සොයා බැලීමේදී ඔහු මිල්ලනිය පොලිසියට අනුයුක්ත කාන්තා කොස්තාපල්වරියකගේ සැමියා බවටද හෙළි විණි. මිල්ලනිය, වැරැල්ලවත්තෙ, අංක 60 ලිපිනයෙහි පදිංචි ඔහු ගැන නිවෙසට ගොස් කොස්තාපල්වරියගෙන් විමසීමේදී ඇය කීවේ යතුරුපැදිය රැගෙන සැමියා නිවෙසින් ගියද තවමත් නිවෙසට නොපැමිණි බවයි.

මේ අතරේ ස්වාමීන් වහන්සේගේ අතුරුදන්වීම පිළිබඳව පොලිස් විමර්ශන කඩිනම්ව සිදුවෙද්දී ඉන් ගැලවීමක් නොමැති වග වැටහුණු හෙයින් කුඩා සාමණේරයන්ගේ පියාණන් ධම්මසිරි හිමියන් පැහැර ගැනීමට යොදාගත් රතු පැහැති වෑන් රථයද සමඟ හංවැල්ල පොලිසියට බාර විණි. ඒ, පසුගිය හතර වැනිදායි.

එසේම පොලිසිය සුමිත්ගේ දුරකථනය ඔස්සේ විමර්ශන සිදුකරමින් තිබියදී බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ කොස්තාපල් (84762) කුමාරට ලද තොරතුරක් මත හෝකන්දර නිවෙසක රැඳි සිටියදී සුමිත් සහ හිමාලි කොටුකර ගැනීමට හැකි විණි. කෙසේ හෝ ඔවුන් දෙදෙනා අතර කලෙක සිට අනියම් ඇසුරක්ද තිබි ඇති බවටද අනාවරණය විණි.

පොලිස් අත්අඩංගුවට පත් දෙදෙනා උඩුවිල ධම්මසිරි හිමියන්ට වූ ඛේදනීය ඉරණමේ සුලමුල සියල්ල වමාරන්නට වූයේ තවදුරටත් පොලිසියෙන් ගැලවීමක් නොමැති වග පෙනී ගිය හෙයිනි. ඒ අනුව පැහැරගත් හිමියන් වෑන් රථයේ දමා පිරිස රැගෙනවිත් තිබුණේ මාකොළ උතුර, උදාන මාවතේ පිහිටි දෙමහල් නිවෙසකටයි. එම නිවෙස් හිමියා සිය දරු පවුල සමඟින් කලෙක සිට ඩුබායිහි වෙසෙ‍ති. එහෙත් 55 හැවිරිදි සිසිර නමැත්තෙක් වන ඔහු කොරෝනා ව්‍යාප්තියට පෙර තනිව ලංකාවට පැමිණීම නිසා පසුගිය දිනවල මෙරට විසුවේ තනිවමයි.

මේ අතරේ කොරෝනා වසංගතයත් සමඟින් හිමාලිලාගේ ව්‍යාපාර කඩා වැටීමත් සමඟ ඇය සුමිත් හා කතිකා කරගෙන තිබුණේ ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් ජංගම දුරකථනයේ වූ කුඩා සාමණේරයන්ට සිදුකරන අකටයුතුකම් ඇතුළත් පටිගත කිරීම් පෙන්වා හිමියන් සතු කෝටි ගණනක මුදල ලබා ගැනීමටයි. ඒ අනුව හිමාලි සහ සුමිත් ප්‍රමුඛ කණ්ඩායම පැහැරගත් ධම්මසිරි හිමියන්ව සිසිරගේ නිවෙසට ගෙන ගොස් දසවධ දී තිබුණේ මුදල් ඉල්ලමිනි. එහෙත් ස්වාමීන් වහන්සේගෙන් පිරිසේ අවශ්‍යතා ඉටු නොවූ කල මුවට රෙදි කැබැලි ඔබා වධ දී ඇත. ඉන් ධම්මසිරි හිමියන් අපවත් විණි.

අනතුරුව පිරිස සැලැසුම් කර තිබුණේ අපවත් වූ ස්වාමින් වහන්සේගේ සිරුර විනාශ කිරීමටයි. ඒ අනුව උන්වහන්සේගේ සිරුර ඇඳ ඇතිරිල්ලක ඔතා මුවට මුව ආවරණයක්ද දමා ත්‍රිරෝද රථයක පිටුපස අසුනේ හිඳුවා රෝගි පුද්ගලයකු විලසින් තවත් අයකු පිටුපස අසුනේ හිඳ හිමියන් රැගෙන ගොස් තිබුණේ කොටදෙණියාව - මීරිගම මාර්ගයේයි. එම ත්‍රිරෝද රථය පසුපස හිමාලි, ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් ගොස් තිබුණාය. ඇය යන මාර්ගයේ වූ ඉන්ධන හලකින් රුපියල් දහසක් ගෙවා ඉන්ධනද බූලියකට ලබාගෙන තිබූ බව හෙළි කළාය.

ධම්මසිරි හිමියන්ගේ දේහය නාවාන සුසාන භූමියට ගෙන ගොස් පුළුස්සා දමා තිබිණි. පසුගිය 4 වැනිදා කොටදෙණියාව පොලිසියට ලද හෝඩුවාවක් මත සොයා ගැනුණේ එකී දේහයයි. පසුව කොඩිකන්ද ආරණ්‍යයේ ධම්මසිරි හිමියන් සමඟ වසර 16ක පමණ කලක වැඩ විසූ ගල්නෑවේ සිරිධම්ම සහ විජිතපුර සිරිසුමේධ හිමිවරු දෙපළ ධම්මසිරි හිමියන්ගේ දේහය හඳුනා ගත්හ.

මේ වන විට ධම්මසිරි හිමියන්ගේ ඝාතනයට හිමාලි, හිමාලිගේ සැමියා, සුමිත් සහ සිසිර නමැත්තා ඇතුළු හත්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව සිටී. එසේම මෙකී අපරාධයට තවත් ප්‍රධාන සැකකරුවකු වන ලක්මාල් නැමැත්තා ද සොයා පොලිස් පරීක්ෂණ සිදුවෙයි. ඔහුද නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය සඳහන් කළේය. ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් රඳවා සිටි මාකොළ නිවෙසේ තිබී උන්වහන්සේගේ දින පොතක්, බැංකු ගිණුම් පොත්, පූජා භූමි ඔප්පුවක් සහ සාමණේර හිමියන්ගේ තොරතුරු ලිපිගොනුවක්ද සොයා ගැනීමට පොලිසියට හැකි විණි.

ධම්මසිරි හිමියන්ට මෙවන් ඛේදවාචකයක් සිදුකිරීමේ ප්‍රධාන සැකකාරිය වන හිමාලි පොලිසියට කියා තිබුණේ, "මගේ පුතාට ඔය කියන ධම්මසිරි හාමුදුරුවෝ නිතර නිතර අනවශ්‍ය කරදර කළා. පුතා මට ඒවා වීඩියෝ කරලා එව්වා. කීප සැරයක්ම මම හාමුදුරුවොත් එක්ක මේ ගැන කතාකළා. ඒත් වැඩක් වුණේ නැහැ. එතන ඉන්න බෑ කියමින් කුඩා සාමණේරයන් හැමදාම අඬනවා. මට ඒක ඉවසන්න බැරිවුණා..." එහෙත් පොලිසිය අනාවරණය කරගෙන ඇති පරිදි මෙකී කාන්තාව එම වීඩියෝ දසුන් ඔස්සෙ ස්වාමින් වහන්සේගෙන් ලක්ෂ ගණනක මුදල් කන්දරාවක් ලබාගෙන ඇති බවත් ධම්මසිරි හිමියන් සතුව තිබූ බව කියන කෝටි ගණනක මුදල පැහැර ගැනීමට මෙකී අපරාධය සිදුකර ඇති බවටයි.

මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.කේ. විජයවර්ධන විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හුස්ම ගැනීමට නොහැකි වන ලෙස මුඛයට යමක් ඇතුළු කිරීමෙන් වූ අධික තෙරපීම නිසාවෙන් මෙකී අපරාධය සිදුකර ඇති බවට තහවුරු විණි.

පසුබිම් තොරතුරු සහ ඡායාරූප
ඉංගිරිය මධ්‍යම සමූහ - ප්‍රියදර්ශනී කහවල 
කොටදෙනියාව සමූහ - එම්. පී. කුමාර

Comments