කොළඹ එකේ ලොකුම කැලේ | සිළුමිණ

කොළඹ එකේ ලොකුම කැලේ

- ශාක ප්‍රභේද 1200යි. පැළ 22,000යි.
- ඇතුළුවීම නොමිලේ
- කොවිඩ් 19 තර්ජන මැද කොළඹ ඉදිවුණු ලස්සන වන උයන
- ගාලු මුවදොර පිටිය අසල අක්කර 2 1/2 ක නාගරික වන උද්‍යානයක්
- දකුණු ආසියාවේ විසිතුරුම වර්ග අඩි 110ක් විශාල ජල උද්‍යානයක්

ලොව සුප්‍රසිද්ධි “ඩිස්කවරි“ සඟරාව හා පරිසරය පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ සඟරා ගණනාවක් මඟින් 2017 දී ලොව සංචාරය කළ යුතු නිවාඩුවක් ගත කිරීමට යා යුතු හොඳම නගරය ලෙස කොළඹ නගරය හඳුන්වා දී තිබිණි.

මෙයට ප්‍රධාන හේතුව වී තිබුණේ 2005 - 2015 වකවානුවේදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහකොළඹ ප්‍රදේශය ලස්සන හා සෞන්දර්යාත්මක බව වැඩි කිරීමට කළ විශේෂ කාර්ය භාරයයි.

එදා වත්මන් ජනාධිපතිතුමා එසේ කොළඹ ලස්සන කිරීමට කටයුතු කළත් පසුගිය යහපාලන රජය කොළඹ නගරය නොසලකා හැරියේය. අඩුම ගණනේ කොළඹ ලස්සන කරනවා තබා කොළඹ එකතුවන කුණුකන්දල් ටිකවත් ඉවත් කරන්නවත් ඔවුන්ට නොහැකි විය.

එසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු යළිත් කොළඹ සෞන්දර්ය වැඩි කරන්නට විවිධ ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබීය. ඉන් ප්‍රධානම අංගය වන්නේ කොළඹ ගාලු මුවදොර අසල යුද හමුදා මූලස්ථාන භූමිය හා ගාලු මුවදොර පිටිය සම්බන්ධ කරමින් ඉදිකෙරුණු නාගරික වන උද්‍යානයයි.

අක්කර 2.8 ක භූමි භාගයක වන අරණක්, බොජුන්හල් හා වාහන නැවතුම්පොළක් සහිතව ඉදිවී ඇති මෙහි සුවිශේෂී අංගය වන්නේ වර්ග අඩි 110 කට වඩා විශාල භූමියක ඉදිවූ ජල උද්‍යානයයි. සුවිශේෂී වර්ණ රටාවලින් රාත්‍රියට වර්ණවත් වන මේ සෞන්දර්ය නවාතැනට පැමිණීමට එතෙර මෙතෙර ඕනෑම අයෙකුට දැන් පහසුකම් ඇත. මේ සඳහා කිසිම මුදලක් අය නොකරන අතර මේ ස්ථානය සුරැකීම පැමිණෙන අයගේ යුතුකමයි.

2020 වසරේ මාර්තු මාසයේ කොවිඩ් 19 තර්ජන මැද මෙහි වැඩකටයුතු ආරම්භ වී තිබේ. පසුගිය නොවැම්බර් 15 වැනිදා මෙහි වැඩකටයුතු අවසන් වී ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉදිවූ ගාලුමුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ මෙම නාගරික උද්‍යානය පසුගිය 30 වැනිදා ජනතාව අයිතියට පත් කෙරිණි.

“සෞභාග්‍යයේ දැක්ම“ වැඩසටහන යථාර්ථයක් බවට පත්කර ගනිමින් පොදු ජනතාවගේ වින්දනය, විවේකය, විනෝදාස්වාදය හා සෞන්දර්යාත්මක අත්දැකීම් ලබා ගැනීම උදෙසා මෙම උද්‍යානය ඉදිකර ඇත. මෙහි ඇති නාගරික වන උද්‍යාන, ජල උද්‍යාන මගින් නාගරික හරිත අපරව්‍යූහ පහසුකම් ජාලයක් සහිත දැකුම්කළු හා දේශීයත්වයට නැඹුරු වූ නාගරික පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩපිළවෙළේ අරමුණ වී ඇත.

යුධ හමුදා මූලස්ථානයේ පැවති භූමියේ තිබූ පැරණි ගොඩනැඟිලි යළි ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීම ද මේ වැඩපිළිවෙළට අයත් වේ. මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වන්නේ කොළඹ නගරය හරිත නගරයක් ලෙස දකුණු ආසියාවේ නැගී එන අගනගරය බවට පත්කිරීම සඳහා සිදුකරන පරිසරය හා බද්ධ වූ භූමි අලංකරණය පොදු ජනතාවට නිදහසේ භුක්ති විඳීමට අවස්ථාව ලබාදීමයි.

මෙහි පැරණි කන්ටේනර් 10ක් නව බොජුන්හල් ලෙස මනාව සකස් කර ඇති අතර මේ ස්ථානයේ ප්‍රිය සම්භාෂණ පැවැත්වීමට හැකි ආකාරයේ වේදිකා හා ශබ්ද විකාශන පද්ධති ආදියෙන් ද සමන්විත වේ. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් නිසි අවසර ලබාගත යුතුය.

මෙම උද්‍යානවලට ඇතුළුවීමට කිසිම අයුරකින් කිසිම මුදලක් අය නොකරන නමුත් එම උද්‍යාන මගින් කොළඹ නගරයට තවත් ආර්ථිකමය වටිනාකමක් එක්කිරීම හා සංචාරක ආකර්ෂණය වැඩි කිරීම තවත් අරමුණක් වී ඇත. කෙසේ වුවද ප්‍රචාරක කටයුතු සඳහා හා විවාහ උත්සව සඳහා ඡායාරූපගත කිරීම්වලට පමණක් මෙම ස්ථානයට ඇතුළු වන අයගෙන් යම් අය කිරීමක් කරනු ලැබේ. ව්‍යාපෘතිය නිර්මාණය, භූ දර්ශන උපදේශකත්වය හා ගෘහ නිර්මාණය සිදු කළේ නාගරික සංවර්ධන අධිකාරිය මගිනි. ප්‍රධාන ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි.

මේ පිළිබඳව අදහස් දක්වන නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පවසන්නේ මෙහිදී සිදු කළේ යුද හමුදා මූලස්ථානයේ පැවති භූමිය ගාලුමුවදොර පිටිය සම්බන්ධ කරමින් අලුතින් ඉදිකළ බාලදක්ෂ මාවත දෙපස හරිත අපරව්‍යූහ පහසුකම් සැලැස්මක් මගින් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම නිර්මාණාත්මක ක්‍රියාවලිය සිදුකරන ලද බවයි.

ඒ සඳහා ජනාධිපතිතුමා, අගමැතිතුමා හා රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පූර්ණ උපදෙස් හා සහාය ලබා දුන් බවත් ඒ මහතා පවසයි.

එම ක්‍රියාදාමය මෙහෙයවීම සිදු කළේ නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරලත් ගෘහ නිර්මාණ ශිල්පිනී හා වරලත් භූ දර්ශන නිර්මාණ ශිල්පිනී තුෂාරි කාරියවසම්ය.

ඇය පවසන පරිදි මෙම වන උද්‍යානය හා ජල උද්‍යානය ඉදිකිරීම සිදු කළේ දේශීයත්වයට හා අපට අනන්‍ය වූ ගැමි හා නාගරික පරිසරයට උචිත ලෙස බවයි.

“මේ ව්‍යාපෘතියට ප්‍රධාන අංග 4 ක් ඇතුළත් වෙනවා. එහි පළමුවැන්න වන්නේ ටාජ් සමුද්‍ර හෝටලය පිටුපස භූමියේ රථ ගාලක් හා එළිමහන් අවන්හලක් ඉදිකිරීමයි. දෙවැනි අදියර වන්නේ යුධ හමුදා මූලස්ථානය සඳහා භාවිත කළ පැරණි ගොඩනැඟිලි දෙක සංරක්ෂණය හා වැඩිදියුණු කොට නව භාවිතයන් සඳහා යොදා ගැනීමයි. තුන්වැනි අදියර වූයේ නාගරික වන උයනයක් සැකසීම හා හරිත අපරව්‍යූහ සැලැස්මෙහි ප්‍රධාන අංග ඉටු කිරීමයි. ඒ යටතේ ජල උද්‍යාන හා වෙනත් සෞන්දර්යාත්මක කටයුතු, විවේක ගැනීමට ස්ථාන ආදී ඉදිකළා.

මෙම පළමුවැනි අදියර හා තුන්වැනි අදියර අප පසුගියදා ජනතා අයිතියට පත්කළා. දෙවැනි අදියර දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 4 වැනි අදියරේදී සිදු කෙරෙන්නේ ගාලුමුවදොර පිටිය හා ගාලුපාර සම්බන්ධ කර ගනිමින් ටාජ් හෝටලය දෙසට මෙම භූමි අලංකරණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කිරීමයි.

දැනට මෙම වනෝද්‍යානයේ ශාක විශේෂ 120 කට අයත් පැළ සහ ගස් 22,000 පමණ රෝපණය කර තිබෙනවා. මේ සම්පූර්ණ ශාක පද්ධතිය වර්ධනය වන විට තව මාස දෙක තුනක් යාවි. එවිට මේ ස්ථානය තවත් පරිසර හිතකාමී ලෙස දකින්නට පුළුවන්.

මේ ව්‍යාපෘතිය තනිකරම සිදුකෙරෙන්නේ භූ දර්ශන විද්‍යාව හා අපේ රටට සුදුසු ගෘහ අලංකරණ හා නිර්මාණ ශිල්පීය ක්‍රම අනුවයි. මෙවැනි නාගරික උද්‍යාන හා හරිත අපරව්‍යූහ සැලසුම් පිළිබඳව අධ්‍යයනය කිරීමට පසුගිය කාලයේදී ජනාධිපතිතුමා අපට විදේශ පුහුණුව ලබා ගැනීමට පවා අවස්ථාව ලබා දුන්නා.

ඒ අත්දැකීම් අනුව තමයි මෙවැනි දකුණු ආසියාවේ හා ශ්‍රී ලංකාවේ ජනතාවට සුවිශේෂී පාරිසරික හා සෞන්දර්යාත්මක අත්දැකීම් ලබා දිය හැකි නාගරික වන උද්‍යානයක් කොළඹ නගරයේ පිහිටුවන්න අවස්ථාව ලැබුණේ.

මේ ඉදිකර ඇති සුවිශේෂී ජල උද්‍යානය දකුණු ආසියාවේ ඇති මේ ආකාරයේ අලංකෘත හා සුරුබුහුටි ජල උද්‍යානයයි. මෙහි පළල අඩි 21 ක් වන අතර දිග අඩි 51 ක් වන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂිකා තුෂාරි කාරියවසම් පවසන්නීය.

අපේ රටේ දූ දරුවන්ට වැඩිහිටියන්ට අලුත් සෞන්දර්යාත්මක අත්දැකීමක් ලබා දෙමින් ජනතා අයිතියට පත්කරනු ලැබූ මෙම නියමු ව්‍යාපෘතියේ වින්දනය ලබා ගන්නා අතරම එය ආරක්ෂා කර ගැනීමත් මතු පරපුරට සඳහා සුරැකීමත් අප සැමගේ යුතුකම විය යුතු බව අවධාරණය කරමි.

Comments