ගලේවෙල සුසානභූමිය වනසයි! | සිළුමිණ

ගලේවෙල සුසානභූමිය වනසයි!

ලේවෙල වෑමැඩිල්ල ජලාශයේ සිට වයඹ පළාතට ජලය රැගෙන යන වයඹ ඇළ ව්‍යාපෘතියේ භූගත ඇළ මාර්ගයක් කැණීමේදී ගලේවෙල, අලුත්වැව, එගොඩයාය ප්‍රදේශයේ දී සුසාන භූමියක මිහිදන් කර තිබු මළසිරුරුවල අස්ථි කොටස් හමුවී ඇති බවට හා මියගිය වූවන් සිහිකිරීම සඳහා ඉදිකර තිබු සොහොන් කොත් රැසකට හානිකර ඇති බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති.

වයඹ පළාතේ උතුරු කොටස කරා මහවැලි ජලය හැරවීමේ ව්‍යාපෘතිය යටතේ බෝවතැන්න උමං පිටවුමේ අතිරික්ත ජලය වෑමැඩිල්ල ජලාශයේ සිට වයඹ පළාතේ කහල්ල-පල්ලෙකැලේ අභයභුමි රක්ෂිතයේ පිහිටි මහා කිතුල වැව හා මහා කිරිඋල වැව දක්වා ජලය රැගෙන යෑමට ඇළ මාර්ගයක් ඉදිකිරීම් ව්‍යාපෘතියේ සැලසුම වී ඇත.

එහි පළමු අදියර යටතේ ගලේවෙල, වෑමැඩිල්ල වම් ඉවුරේ සිට කිලෝ මීටර් 5.25 ක් දිගින් යුතුව ප්‍රධාන ඇළ මාර්ගයේ ඉදිකිරීම් මේ වනවිට පවතින්නේ අවසන් අදියරේය. දෙවන අදියර යටතේ නබඩගහවත්තේ සිට මහා කිතුල උමඟ දක්වා කිලෝ මීටර් 17ක් දුරැති ඇළ මාර්ගය මේ වනවිට සංවර්ධනය කරමින් පවතී. මෙම ඉදිකිරීම් සඳහා වූ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතුද සිදුවෙමින් පවතියි. මෙම ඇළ මාර්ගයේ ඝන මීටර් 940 දිග උමගක් ද ඉදිකිරීමට යෝජිතව ඇත. ඒ කහල්ල පල්ලෙකැලේ අභයභූමි රක්ෂිතය තම වාසභූමිය කරගෙන ජීවත් වෙන අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ ජීවිතාරක්ෂාව සැලකිල්ලට ගෙනය. 

ව්‍යාපෘතියේ ඇළ මාර්ගය ඉදිකිරීම් කරනු ලබන්නේ චීන සමාගමක් විසිනි. පසුගිය ආණ්ඩු සමයේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම මන්දගාමීව පැවති නමුත් වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ලබා දුන් උපදෙස් අනුව යළි ඉදිකිරීම ආරම්භ ඇත.

මෙම ඇළ මාර්ගය ආසන්නයෙන් එගොඩයාය ප්‍රදේශවාසීන්ගේ පොදු සුසානභූමිය පිහිටා තිබීම නිසාවෙන්ම එහි සොහොන් කොත්වලට හා භූමදානය කළ ස්ථානයන්ට හානි සිදුවීම වළක්වාලීමටත් ඊට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට හා භූමදානය කර ඇති මළසිරුරු කොටස් නෛතික ක්‍රියාමාර්ග අනුව ගොඩට ගෙන යළි භූමදානය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළව ව්‍යාපෘතිභාර ඉංජිනේරුවරුන්, පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් ඇතුළු නිලධාරීන් මෙන්ම ගම්වැසියන්ගේ රටේ නීතියට අභියෝග කරමින් ඉදිකිරීම් සිදුකරද්දී ගලේවෙල, එගොඩ යාය පොදු සුසාන භූමියට අසන්නයේ ඇළ මාර්ගයේ කැණීමේදී ප්‍රදේශයේ ගම්වැසියන්ගේ ඥාතීන් සිහිකිරීම සඳහා ඉදිකර තිබු සොහොන් කොත් රැසකට හානි සිදුව ඇත. මළසිරුරු භූමදානය කළ ස්ථානවල මළසිරුරු වල අවශේෂ කොටස් නිරාවරණය වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ කොට්ඨාසය බාර ප්‍රදේශීය සභා මන්ත්‍රී එම්.ජි දිසානායක (ශ්‍රී.ල.නි.පො.පෙ.) කිය සිටියේ මෙවැන්නකි.

“ව්‍යාපෘතියේ මුලික සැලැස්මට අනුව ඇළ මාර්ගයේ කැණීම් සිදුකරමින් තිබියදී ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා කැණීම් සිදුකළ ඇළ මාර්ගයේ දෙපස ඉවුරු කඩා ගෙන වැටුණු බවයි. එම තත්ත්වය තුළ එගොඩයාය සුසානභූමියේ එක් පසෙක මිහිදන් කර තිබූ සොහොන් කොතකට හානි සිදුවූ බවත් තවත් මළසිරුරු මිහිදන් කළ වළවල් වල අවශේෂ කොටස් නිරාවරණය වී තිබූ බව පැවසීය.

යුද හමුදාවේ සේවය කළ මියගිය සෙබළකුගේ මළසිරුර මිහිදන් කළ ස්ථානයට සිදුවූ හානිය පිළිබඳව මියගිය සෙබළාගේ මවගේ ඉල්ලීම මත එම සුසාන භූමියේම වෙනත් ස්ථානයක මළසිරුරේ කොටස් මිහිදන් කර සොහොන් කොතක් බැඳ එහි තැන්පත් කළ බව පැවසීය.

තවත් මළසිරුරු දෙකක මිහිදන් කළ ස්ථානයක මිනි පෙට්ටියේ හා ඇඳුම්වල අවශේෂ කොටස් නිරාවරණය වූ බවත් එම ස්ථාන පොලිතීන් ආවරණ යොදා සුරක්ෂිත කිරීමට පියවර ගනු ලැබූ බවද පැවසීය. අපේ ජන සමාජයේ සංස්කෘතික පිළිගැනීම අනුව මියගිය පුද්ගලයකුගේ භූමදානය කළ මළසිරුරක් නැවත ගොඩ ගැනීම අනුමත කරන්නේ නැත. එය සමාජීය වශයෙන් මිනිස් සන්තානයට කරනු ලබන අගතියක් ලෙස ජනතාව සිතන බැවිනි.

මියගිය පුද්ගලයකුගේ මෘතදේහයක් යළි ගොඩ ගැනීමක් සිදුකරන්නේ වැඩිදුර පරීක්ෂණයක් සිදු කළ යුතු බවට මියගිය පුද්ගලයාගේ පාර්ශ්වයෙන් වූ ඉල්ලීමක් ඇති අවස්ථාවක පමණි. ඒ සඳහා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අවශ්‍ය වේ. නීත්‍යානුකුල අවසරයකින් ගොඩ ගන්නා මළසිරුරක් නැවත පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය ඒකකයක් වෙත රැගෙන යෑමේදීත් මළසිරුරේ අස්ථි, දත්, ඇඳුම් පැලඳුම් වළ දමා ඇති ක්‍රමවේදය ආදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළයුතු වන්නේය.

නෛතික ක්‍රියාපිළිවෙත එසේ තිබියදී වයඹ ව්‍යාපෘතියේ ඉහළ බලධාරීන් මෙන්ම අදාළ චීන කොන්ත්‍රාත් සමාගමද නීතිය මායිම් කර නැති බව සක්සුදක් සේ පැහැදිලි වන කරුණක් මේ සිද්ධියෙන් ගම්‍ය වේ.

රටක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාණාත්මක සංවර්ධනය මෙන්ම ගුණාත්මක සංවර්ධනයද රට තුළ භෞතිකව සිදුවිය යුතු බව පෙන්වා දියයුතු කරුණකි. සංවර්ධනය පිළිබඳව රටේ ජනතාවගේ ආකල්පමය පොහොසත් බවක් ඇතිවන්නේ එසේවූ විටයි.

සරත් එරමිනිගම්මන - දඹුල්ල

Comments