තරු අතර ඇවිද ගිය මිනිසා | සිළුමිණ

තරු අතර ඇවිද ගිය මිනිසා

ලාංකික පුරවැසියන්ගෙන් වැඩි පිරිසකගේ ජන්ම පත්‍ර සකස් කිරීමේදී සියවසකුත් අඩකට අධික කාලයක් තිස්සේ භාවිත කෙරෙන මුද්‍රිත ප්‍රකාශනය ඈපා පංචාංග ලිතය. දීර්ඝ කාලයක් ඉමහත් කැපවීමකින් ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හදාරා ප්‍රගුණ කොට මේ ප්‍රකාශනය ආරම්භ කළෝ දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ශ්‍රීමතාණෝය. මේ තීරු ලිපිය අඛණ්ඩව කියවන පාඨකයන්ට වර්තමාන සන්දර්භය අනුව නම් ජ්‍යෝතිෂ්‍යවේදියකුට ශ්‍රීමතාණන් යැයි ඇමතීම විමතිය දනවන කරුණක් විය හැකි වුවද; ඈපා අප්පුහාමි ඇමතිය යුතු යෝග්‍යතම යෙදුම එය බව මේ තීරුව අවසානය දක්වා කියවූ කල පැහැදිලි වනු ඇත.

දොන් සිමන් ද සිල්වා ඈපා අප්පුහාමිට සහ එම පතිනියට කුලුඳුල් පුත්‍ර ලාහයේ වාසනාව අත් කර දෙමින් දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි බෙන්තර වලල්ලාවිට කෝරලයේ වැයිහේනේ දී මෙලොව එළිය දුටුවේ 1809 වර්ෂයේ නොවැම්බර් 30 වැනි දාය. මේ අවධියේ පාඨශාලා ව්‍යාප්තිය අඩු මට්ටමක පැවතිය ද පහත රට ප්‍රදේශවල සිදු වූ බෞද්ධ පුනරුදය හේතු කොට ගෙන බොහෝ ප්‍රදේශවල තිබුණු පන්සල්වල ශාස්ත්‍ර ඥානයෙන් සමෘද්ධ බෞද්ධ භික්ෂුන් වහන්සේ වාසය කළහ. ඈපා අප්පුහාමි මූලික අධ්‍යාපනය ලැබුවේ නිවසට ආසන්නයේ පිහිටි ගලපාත විහාරයේ අධිපතිව වැඩ විසූ වලගෙදර සිරි ධම්මදස්සි හිමිපාණන් වෙතිනි.

ඈපා අප්පුහාමිගේ පියාණන් නැකත් ශාස්ත්‍රයට ප්‍රසිද්ධියක් ලැබ සිටි හෙයින් ඈපා අප්පුහාමි නව යොවුන් වියට එළැඹෙන කාලයේ දී ඔහුටද ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය පිළිබඳ විධිමත් දැනුමක් ලබා ගැනීමේ දැඩි අභිලාෂයක් ජනිත විය. ඒ සඳහා යෝග්‍ය ගුරුවරයකු සමීපයේ නොවූයෙන් එකුන් විසි වියේ දී ඈපා අප්පුහාමි ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය ඉගෙනීමේ පරමාර්ථයෙන් කොළඹ නගරයට පැමිණියේය. කොළඹ ප්‍රදේශයෙන් ද තම අරමුණ ඉටු කර ගැනීමට සමත් ආචාර්යවරයකු සොයාගත නොහැකි විය.

පානදුරේ විසූ ලුවිස්හාමි නමැති ගුරුන්නාන්සේ කෙනකු පිළිබඳ ව තොරතුරු දැනගන්නට ලැබී ඔහු කරා ගොස් ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හැදෑරීමට ඈපා අප්පුහාමි තීරණය කෙළේය. ලුවිස්හාමි ගුරුන්නාන්සේ ඒ සඳහා අධික ගාස්තු අය කරන බව පැවසූයෙන් ඈපා අප්පුහාමි සුන් වූ බලාපොරොත්තු ඇතිව තැන තැන රැඳෙමින් සිට අවසානයේ මහනුවර ප්‍රදේශයට ගොස් සිරිමල්වත්තේ සුමංගල හිමියන් වෙතින් වෛද්‍ය ශාස්ත්‍රය හදාරා වෙදකම් කිරීම ආරම්භ කළේය. වෙද අප්පුහාමි නමින් ප්‍රසිද්ධ වූ ඈපා අප්පුහාමි නැවත කොළඹට පැමිණ ඖෂධාලයක් අරඹා සාර්ථක සමාජ ආර්ථික තත්ත්වයක් ගොඩනගා ගැනීමට සමත් විය. 1846 වර්ෂයේ ඈපා අප්පුහාමි, දොන් අන්ද්‍රිස් අප්පුහාමිගේ දෙටු දියණියන් සමඟ විවාහ ජීවිතයට එළැඹිණ.

මේ කාලයේ දී ඈපා අප්පුහාමිගේ මනෝරථය පූරණය කිරීමට හේතු වන සිදු වීමකට මඟ පෑදිණ. යාපනයේ විසූ ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍ර‍ විශාරදයකු වූ විශ්වනාථ ශිවාචාර්ය කුමාරස්වාමි බ්‍රාහ්මණ පඬිතුමා කොළඹ ගණේශ කෝවිලේ අධිපති ලෙස පැමිණි බව දැන ගත් ඈපා අප්පුහාමි ඔහු කරා ගොස් ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්‍රය හැදෑරීම ආරම්භ කළේය. පැවැති අති මහත් ශාස්ත්‍ර පිපාසය නිසාම කෙටි කලකින් ඈපා අප්පුහාමි ඉතාමත් දක්ෂ ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයෙක් බවට පත් විය. එහෙත් එපමණකින් තෘප්ත නොවූ ඈපා අප්පුහාමි ඉන්දියාවෙන් ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ වටිනා දුර්ලභ ග්‍රන්ථ ගෙන්වා ගෙන හෝරා-සංහිතාස්කන්ධ දෙක ප්‍රගුණ කළ බව පැවසේ.

එසේ ශාස්ත්‍රය ප්‍රගුණ කරන කළ ස්වවිෂය තව දුරටත් ඉන්දියාවට ගොස් හැදෑරීමේ ආශාව ජනිත විය. ඉන්දියාවේ තංජෝර් ප්‍රදේශයේ විසූ අන්න වෛයන්ගල් නමැති රාජකීය ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රාචාර්ය හා සින්නපට්ටනමේ විසූ වේංකටේශ්වර සිද්ධාන්ති නම් බ්‍රාහ්මණ පඬිවරුන් දෙදෙන වෙත කුමාරස්වාමි ආචාර්යතුමා තම වියදමින් යවා ඒ පඬිවරුන්ගේ ශාස්ත්‍ර උද්ග්‍රහණය කොට ගෙන කුමාරස්වාමි පඬිතුමා පෙරළා ලංකාවට පැමිණි පසු එතුමාගෙන් ඒ ශාස්ත්‍ර ඉගෙන ගැනීමට ඈපා අප්පුහාමි කටයුතු කළේය. මෙතැන් පටන් ඈපා අප්පුහාමි ලංකාවේ අද්විතීය ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයා ලෙස පතළ විය.

ඔහු විසින් අරඹන ලද ඈපා පංචාංග ලිත බෙහෙවින් ප්‍රචලිත විය. ඔහු වටා සමාජ සංස්කෘතික බලයක් ගොඩ නැගිණ. වැදගත්ම කරුණ වන්නේ ඒ සමාජ ප්‍රභූත්වය සමාජයේ යහපත උදෙසා යෙදවීමට එතුමන් කෙරෙහි වූ අභිලාෂයයි.

ඒ උතුම් සමාජ අභිලාෂ මුඳුන් පමුණුවා ගැනීමෙහිලා ඈපා අප්පුහාමි, වෙත්තිසිංහගේ කොර්නේලිස් අප්පුහාමි සහ තවත් බෞද්ධ සමාජ ක්‍රියාධරයන් කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් ‘ලංකාහිනවවිශ්‍රැත’ යන නමින් මුද්‍රණාලයක් ආරම්භ කළේය. මේ මුද්‍රණාලය මගින් 1863 වර්ෂයේ සාරාර්ථප්‍රදීපිකාව නමින් සඟරාවක් ප්‍රකාශයට පත් කළේය. වලානේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමින්ද්‍රයන්ගේ ජීවන චරිතය විස්තර කෙරෙන කාව්‍ය ආඛ්‍යානයක් ද 1869 වර්ෂයේ දී ඈපා අප්පුහාමි විසින් පළ කරන ලදී. ලංකාවේ පළ වූ බොහෝ වැදගත්කමක් සහිත කෘති සහ ප්‍රකාශන රැසක් පළ කිරීමට ලංකාභිනවවිශ්‍රැත මුද්‍රණාලය උපකාරී විය.

මෙවන් අභිවෘද්ධිදායක කටයුතු රැසකට මුල පිරූ ඈපා අප්පුහාමි සිරිමතුන් ලංකා ඉතිහාසයේ අනුස්මරණීය කටයුත්තකට දායක වූ අයුරු කලුකොදයාවේ පඤ්ඤාසේකර හිමිපාණෝ මෙසේ ගෙන හැර දක්වති. ‘විද්‍යෝදය පරිවේණස්ථානය වැනි ශ්‍රේෂ්ඨ විද්‍යායතනයක් ගොඩනැංවීම පිළිබඳ මූලික අදහස කවුරුන් තුළ පහළ වී දැ යි කිසිවෙක් නොදනිති. එහෙත් එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ප්‍රථමාරම්භය දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමිගේ සහ දොන් වෙලොම් වික්‍රමතිලක අප්පුහාමිගේත් සිත් තුළ පහළ වූ අදහසක ප්‍රතිඵලයෙකි’ විද්‍යෝදය පිරිවෙන පිහිටුවීමේ අදහස ක්‍රියාවට නැංවීම සඳහා වන මූලික ව්‍යවස්ථා පන්තිය ඇතුළත් ලිපියක් 1864 වර්ෂයේ ලක්මිණි පහන පුවත්පතෙහි මේ දෙදෙන විසින් පළ කරනු ලැබිණ.

ඒ ලිපියෙහි පිරිවෙන ස්ථාපනය කොට පවත්වාගෙන යාම සඳහා පවුම් දස දහසක මුදලක් එකතු කළ යුතු බව යෝජනා කර තිබුණි. මේ යෝජනාව කෙතරම් සපල වූයේද යත් අලුත්ගම ජොහැන්නස් පීරිස් නොතාරිස් රාලහාමි, මහනුවර ඩී. එස්. ද සිල්වා, ගාල්ලේ එම්. පඤ්ඤාසේඛර හිමි යන පාඨකයන් ඒ සඳහා මූල්‍ය පරිත්‍යාගයෙන් දායක වීමට කැමති බව ලක්මිණි පහනට සැපයූ ලිපි මගින් දන්වා තිබිණ. කොළඹ නගරයේ විසූ බෞද්ධ සමාජ ක්‍රියාධරයන් අතර ප්‍රමුඛස්ථානය ඈපා අප්පුහාමිට හිමි වූ අතර දහතුන් දෙනකු ගෙන් යුත් පාලක සභාවකින් සමන්විත ‘විද්‍යාධාර සභාව’ ඈපා අප්පුහාමි සිරිමතුන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගැනිණ. විද්‍යාධර සභාවේ ප්‍රමුඛ සභාපතිවරයා වූයේ ද එතුමාය.

මේ සභාවේ මූලිකත්වයෙන් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් කොළඹට වැඩමකරවා කොටහේනේ පරමානන්ද මහා විහාරස්ථානයෙහි වැඩවාසය කරන්නට සලස්වා විද්‍යෝදය පිරිවෙන පිහිටුවීමේ කටයුතුවලට මුල පිරිණ.

1873 වර්ෂයේ ආරම්භ කෙරුණ විද්‍යෝදය පිරිවෙන මෑත ඉතිහාසයෙහි මුල පිරුණු වැදගත්ම ශාස්ත්‍රීය පරිශ්‍රමය වශයෙන් ඉතිහාසයට එක් වූ අතර ඒ පරිශ්‍රමට උර දුන් දොන් පිලිප් ඈපා අප්පුහාමි සිරිමතුන්ගේ නාමයද චිරකාලීන බුහුමනට පාත්‍ර විය. ලෝ සසුන් වැඩ වැඩුම් සඳහා සිය ජීවිතය කැප කළ දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි සිරිමතාණෝ අසූ එක් වසක් ආයු විඳ 1891 මාර්තු මස 10 වැනි දින ආයු සංස්කාරය නිම කළහ.

Comments