දින 13කදී 74කට මරු කැඳවූ රිය අනතුරු | සිළුමිණ

දින 13කදී 74කට මරු කැඳවූ රිය අනතුරු

කොරෝනා වසංගතය හමුවේ වුව ද ලැබුවා වූ 2021 නව වසරේ රටේ කොයි කාගේත් ප්‍රාර්ථනාව වූයේ ප්‍රීතිමත් නව වසරකි. එහෙත් 2021 වර්ෂය ආරම්භ වී හෝරා කීපයක් ගත වනවිට අලුත් අවුරුදු ප්‍රීතිය, සතුට වියැකී ගියේ රිය අනතුරු හේතුවෙන් ඉහළ පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟය. 2021 ජනවාරි 01 වැනි දින පමණක් රිය අනතුරු හේතුවෙන් මිය ගිය ගණන 12 කි. ජනවාරි 02 වැනි දින පමණක් මිය ගිය සංඛ්‍යාව 9 කි. දෙසැම්බර් 20 සිට දින 13 ක් ඇතුළත රිය අනතුරුවලින් මිය ගිය ගණන 74 ක් ලෙස ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශයේ වාර්තා වී ඇත. මෙම කාල සීමාව තුළ 149 දෙනෙක් බරපතළ තුවාල ලැබූ අතර 607 දෙනෙක් සුළු තුවාලවලට ගොදුරු වූහ.

පසුගිය වසරේ (2020) නොවැම්බර් 30 වැනි දින අවසන් වනවිට රිය අනතුරු හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව 1900 ක් වුවත් දෙසැම්බර් 28 දා වනවිට 2018 ක් මරණයට පත්වී තිබේ. මේ අනුව දින 18 ක් තුළ 118 දෙනකු මරණයට පත්වී ඇත. එහි සාමාන්‍ය අගය ගත් විට 6.5 කි. එයින් පැහැදිලි වන්නේ රිය අනතුරුවලට භාජනය වීමෙන් දවසකට පුද්ගලයන් 6 – 7 අතර ප්‍රමාණයක් මිය යන බවය.

“ලංකාවේ රිය අනතුරුවලින් මිය යන පුද්ගලයන් සංඛ්‍යාව යම් අඩුවීමක් තමයි පසුගිය කාලයේ දකින්න ලැබුණේ. 2017 වර්ෂයේ 3154 ක් මිය ගියා. ඒ කියන්නේ දවසකට 8 දෙනෙක් මැරුණා. 2018 වර්ෂයේ මිය ගිය ගණන 3151 යි. දවසකට 8 දෙ‍නකු මරණයට පත්වීම ඒ තත්ත්වයෙන්ම තිබුණා. ඒත් 2019 අවුරුද්දෙදි මිය ගිය සංඛ්‍යාව 2839 දක්වා පහත වැටුණා. එහි අදහස දවසකට මිය යන සංඛ්‍යාව 7 දක්වා අඩු වුණා. මේ අවුරුද්දේ නොවැම්බර් වනතුරු මරණයට පත්වුණේ 1900 යි. එය අඩු වීමක්. හැබැයි මේ අවස්ථාවේදී කොරෝනා වසංගතය නිසා මාස ගණනක් රට වසා තිබුණු බව අපි අමතක කරන්න හොඳ නැහැ. රට විවෘත කරලා සාමාන්‍ය තත්ත්වයෙන් තිබුණා නම් මේ සංඛ්‍යාව වෙනස් වෙන්න තිබුණා.”යනුවෙන් පැවසුවේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ ය.

ඔහු පවසන ආකාරයට රිය අනතුරු නිසා වැඩි වශයෙන් මරණය‍ට පත්වන්නේ යතුරුපැදිකරුවන්ය. ඉන් අනතුරුව 2 වැනි ස්ථානයේ පසුවන්නේ පාරේ ගමන් කරන පදිකයන්ය. මොරටුව එගොඩඋයනේ පාර මාරු වූ ගැබිනි කාන්තාව හා දැරියන් දෙදෙනා යතුරුපැදි අනතුරට ලක්වීමෙන් පසුව දැරියන් දෙදෙනාත් කුසේ සිටි දරුවාත් මරණයට පත්වූ ශෝචනීය සිදුවීම මේ අවස්ථාවේදී සිහිපත් වන්නේ රිය අනතුරු නිසා මරණයට පත්වන පදිකයන් පිළිබඳව නිදසුන් සපයමිනි. මීට අමතරව රියදුරෝ (විශේෂයෙන් ත්‍රි‍රෝද රථ රියදුරෝ සහ මගීහු ද රිය අනතුරුවලට ලක්වීමෙන් මරණයට ගොදුරු වෙති‍.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ පෙන්වා දෙන්නේ අපරීක්ෂාකාරී රිය ධාවනය අධික වේගය සහ අධික වෙහෙස නිසා නින්ද යෑම යන සාධක ද බොහෝ රිය අනතුරුවලට හේතු වන බවයි.

“අපේ රටේ සමහර රියදුරන්ගේ විනය පිරිහිලා. මහමඟ ගැන අවබෝධයක් නැහැ. තරගකාරී ධාවනය නිසා වැරදි පැත්තෙන් ඉස්සර කරනවා. අධික වේගයෙන් යනවා. වාහනයක් අතට ගත්තාම රියදුරන්ට ස්වයං පාලනයක් තියෙන්න ඕනෑ. ඉස්සරහින් ගමන් කරන වාහනය එක්ක පරතරයක් තබාගෙන රිය ධාවනය කරන්න ඕනෑ. අපේ රියදුරන් විනයගරුක නම් අපේ රටේ අනතුරු පාලනය කරගන්න පුළුවන්.” යනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ සඳහන් කළේය.‍

රියදුරන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ද බොහෝ රිය අනතුරුවලට හේතුවක් බව මෙහිදී අප අමතක නොකළ යුතුය. මත්ද්‍රව්‍ය ලෙස සැලකීමේදී ගංජා, හෙරොයින් භාවිතයට වඩා මත්පැන් භාවිත කර රිය පැදවීමේ වැඩි ප්‍රවණතාවක් දැකිය හැකිය. දෙසැම්බර් 20 සිට දින 13 ක් තුළ බීමත් රියදුරන් 2045 ක් පොලිස් භාරයට පත්වී තිබේ. ජනවාරි 02 වැනි දින පමණක් අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 221 කි.

“බීමතින් රිය පැදවීම දඬුවම් ලැබිය හැකි වරදක් හැටියට ශ්‍රී ලංකා පොලිස් ආඥා පනතේ 69 වැනි වගන්තියේ පැහැදිලිව දක්වා තිබෙනවා. 1979 මාර්ග රථවාහන නීති පනතේ 31 වැනි වගන්තියේ එය ඉතාමත් හොඳින් විස්තරාත්මකව දක්වා තිබෙනවා. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ 2006 අංක 37 පනතේ 37 වැනි වගන්තියෙනුත් 1912 අංක 08 සුරාබදු ආඥා පනතෙනුත් මත්පැන් සම්බන්ධයෙන් නීති පනවා තිබෙනවා. බීමතින් රිය පැදවීමේ වරදට දඬුවම් දීම පැවරී තිබෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට. පොලිස් නිලධාරිනුත් බැලුම් පුම්බන්න දෙනවා. උසාවි දානවා. දඩ ගහනවා. පොලිසියට ළඟදී අලුත් උපකරණත් ගෙන්නුවා. ඒ මොන දේවල් කළත් බීමතින් රිය පැදවීම පාලනය වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. මෙහිදි අපිට ඍජුව මැදිහත්වීමට නෛතික බලයක් නැති වුවත් එය වළක්වා ගැනීමට සහයෝගයක් අවශ්‍ය තැන අපි සහයෝගය දෙනවා.” යනුවෙන් සඳහන් කළේ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිවිල් අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයලත් එදිරිසිංහ මෙසේ කීවේය.

“රිය අනතුරු ගැන සලකා බලන විට බොහෝ දෙනකු හඳුනාගන්නේ ඍජු ලෙස බලපාන කරුණු විතරයි. මාර්ග ඉදිකිරීමේදී වංගු සහිත ස්ථානවල මාර්ගය ඉදිකිරීම්, බෝක්කු දැමීම්, ලයිට් කණු දැමීම වගේ කාරණා රිය අනතුරුවලට හේතු වෙනවා. සමහර වෙලාවට ටෙලිෆෝන්, ලයිට් වැනි වෙනත් අවශ්‍යතා මත පාරේ වළවල් හාරනවා. ඒ වළවල්වල වාහන වැටිලා පෙරළිලා අනතුරු සිද්ධ වෙනවා. පාර අයිනේ අනවසර කඩ ඉදි කරගන්නවා. පදිකයන් යන්න තියෙන පදික වේදිකාවේ වෙ‍ෙළඳාම් කරනවා. පදික මාරු සහ බස් නැවතුම්පොළ දැමිය යුත්තේ නිසි ක්‍රමවේදයකට අනුවයි. මේ වගේ වක්‍ර කාරණා රිය අනතුරුවලට බලපාන නිසා රිය අනතුරු පාලනය කිරීම පොලිසියට විතරක් කරන්න බැහැ. ප්‍රාදේශීය සභා, නගර සභා, දුරකථන සමාගම්, විදුලි බල මණ්ඩලය මේ හැම ආයතනයක්ම එකතුවෙන්න ඕනෑ.”

2020 නොවැම්බර් 30 වැනිදා වනවිට මෙරට රිය අනතුරුවලින් මරණයට පත්වූ සංඛ්‍යාව 1900 ක් වීමෙන් එක්තරා පාලනය වීමක් අපට දැකගත හැකි ය. එහි සාමාන්‍ය අගය ගත් විට 5 කි. එනම් දිනකදී මිය යන ගණන 5 කි. ඊට බලපෑ ප්‍රබල හේතුව වූයේ කොරෝනා ව්‍යාප්තිය සමඟ රට වසා තිබීමයි. එහෙත් දෙසැම්බර් 28 වනවිට යළි එය 6 – 7 දක්වා වර්ධනය විය.

“කොරෝනා වසංගතය නිසා ලංකාවෙ විතරක් නොවෙයි, විදෙස් රටවල්වලත් රිය අනතුරු සංඛ්‍යාව වගේම රිය අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාවක් පහතට වැටුණා. රටවල් වසා දැමීම නිසා මහාමාර්ගවලට පැමිණෙන වාහන සංඛ්‍යාව අඩු වුණා. මිනිසුන්ගේ ගමන් බිමන් සීමා වුණා. අත්‍යවශ්‍යම දෙයකට හැර මිනිසුන් ඟමන් බිමන් යන්නේ නැහැ. සමහර පොදු ප්‍රවාහන සේවාවන් පාවිච්චි කරන්නේ අඩුවෙන්. කාර්යාලීය ප්‍රවාහන සේවා හෝ පුද්ගලික වාහන පාවිච්චි කරනවා. කොරෝනා වසංගතය නිසා රියදුරන් හිතනවා පාරේ වාහන තදබදයක් නැහැ, වේගයෙන් යන්න පුළුවන් කියලා. තවත් සමහර රියදුරන් පොලිසිය නැහැ කියලා හිතාගෙන මාර්ග නීති උල්ලංඝනය කරනවා. ඒ ව‍ගේම තමයි තවත් පිරිසක් මානසික ආතතියකින් ඉන්නේ. යාළුවකුව වාහනයකට නග්ගා ගන්නෙවත් නැහැ. හැකි ඉක්මනින් ගෙදර යන්න උත්සාහ කරනවා. ඒ නිසා ම මාර්ග අනතුරු සිද්ධවීමේ සම්භාවිතාවක් තිබෙනවා.” ආචාර්ය ජයලත් එදිරිසිංහ පැවසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් රිය අනතුරුවල පහත වැටීමක් සිදුවූ බව දැනට තහවුරු වී තිබේ.

“1991 දී කොළඹ ජාතික රෝහලට රැගෙන ආපු රෝගීන්ගෙන් 31% ක් අයිති වුණේ රිය අනතුරුවලට. හදිසි අනතුරු අංශය ඉදිකළ කාලේදී තමයි ඒ සමීක්ෂණය කරලා තිබුණේ. දැන් එය 20% දක්වා අඩු වී තිබෙනවා. මේ වනවිට ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල රෝහල් ඉතා දියුණු තත්ත්වයෙන් තිබෙන නිසා කොළඹට ගෙනෙන රෝගීන් ප්‍රමාණය අඩු වුණා වෙන්න පුළුවන්. කොහොම වුණත් රිය අනතුරුවලින් තුවාල ලැබූ රෝගීන් රෝහලකට රැගෙන ඒම ගැන ජනතාවට තවම දැනුම මදි. මුල් විනාඩි 10 ඇතුළත රෝගියකු රෝහල්ගත කළොත් මරණයෙන් වළක්වා ගන්න පුළුවන්. අනතුරක් සිද්ධ වුණාම රෝගියාව එළියට ගන්න විදිහ, ඔසවන විදිහ ගැන මීට වඩා දැනුම්වත් වෙනවා නම් රෝගීන්ගේ ජීවිත බේරාගන්න පුළුවන්.” යනුවෙන් පැවසුවේ වසර 25 ක් පුරා හදිසි අනතුරු අංශයේ සේවය කරන ජාතික පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසාය.

මේ අනුව රියදුරන් පමණක් නොව සමස්ත ජනතාවම රිය අනතුරු සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබා සිටීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ.

Comments