නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ යෝජනා | සිළුමිණ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ යෝජනා

(දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ඇල්ලේ ගුණවංශ හිමියන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ විශේෂඥ කමිටුව වෙත යොමු කරන ලද වාර්තාව ඇසුරෙන් සැකසිණි.)

මෙහි පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකාවටම ආවේණික වූ ස්වතන්ත්‍ර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ එතුමා විසින් ප්‍රතිඥා දී ඇති පරිදි සම්පාදනය වෙතැයි යන දැඩි විශ්වාසයෙනි. මෙම යෝජනා ඉතාම සංක්ෂිත්පව හා මූලික කාරණාවලට අදාළව පමණක් ඉදිරිපත් කරනු ලබන බවද සඳහන් කර සිටිමු.

යෝජනා - රාජ්‍ය ව්‍යුහය

දැනට භාවිත වන ඉංග්‍රිසි ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකාව සිලෝන් යන නාමයෙන් ද හඳුන්වා තිබේ.

Article 1

Sri Lanka (Ceylon) is a Free, Sovereign, Independent and DemocraticSocialist Republic and shall be known as the Democratic Socialist Republic of Sri Lanka.

දැනට පිළිගෙන තිබෙන සිලෝන් යන වචනයේ මූලය වන්නේ සිහලදීප හා හෙලදිව යන වචනයි (Ceylon>Zielan>Serandip>Sihaladipa>Heladiva) එබැවින් සිංහල පිටපතට ද දෙමළ පිටපතටද රටේ නම ලෙස සිහලදීප යන්න ඇතුළත් කරන මෙන් යෝජනා කර සිටිමු.

යෝජිත 1 වන ව්‍යවස්ථාව

ශ්‍රී ලංකාව (සිහලදීප) නිදහස්, ද්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකි. ශ්‍රී ලංකාව (සිහලදීප) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.

ඒකීය රාජ්‍ය හා රාජ්‍ය ආරක්ෂාව (2 වන ව්‍යවස්ථාව)

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ව පැවතිය යුතු ය. ඒකීය රාජ්‍යයට පටහැනිවන ආකාරයේ සියලු අණපනත් අවලංගු වූවා සේ සැලකිය යුතු බවට ව්‍යවස්ථාවෙන් ම පැනවිය යුතුය.

මෙහි පහත සඳහන් ක්‍රියා නීතිය මගින් දැඩි දඩුවම් පැමිණවිය හැකි බරපතළ වරද බවට පත් කළ යුතු ය (157අ වගන්තියට අදාළ සංශෝධන ගෙන ආ යුතුය)

(අ) දේශීයව හෝ ජාත්‍යන්තරව ඒකීය රාජ්‍ය අහෝසි කිරීමට හෝ ඒකීය රාජ්‍යයේ ව්‍යුහය වෙනස් කිරීමට සෘජුව හෝ වක්‍රව ක්‍රියා කිරිම

(ආ) ජාතිවාදී හෝ වෙනයමි පදනමක් මත රටේ වෙනම ප්‍රදේශයක වෙනම ජනවර්ග සිටින බවට හුවා දක්වමින් භූමිය වෙන් කිරීමට හෝ රට තුල වෙනම පාලන ප්‍රදේශ ඉල්ලමින් සෘජුව හෝ වක්‍රව ක්‍රියා කිරිම

(ඇ) දේශය තුල වෙනම රජයක් ඇති කිරීමට ක්‍රියා කිරීම ඇතුළුව දේශයේ භෞමික අඛණ්ඩතාවට හානිවන ක්‍රියා කිරීම

එම ව්‍යවස්ථාවේ පනවා තිබෙන දඩුවම් වලට ප්‍රජා අයිතිය අහෝසි කිරීම ද දඩුවමක් ලෙස ඇතුළත් කිරීමද යෝජනා කර සිටියි.

පරමාධිපත්‍ය බලය (3 වන ව්‍යවස්ථාව)

ජනතාව සතු පරාමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමේ දි සෑම පුරවැසියකු ම රටත් ජනතාවත් වෙනුවෙන් සියලු යුතුකම් හා වගකීම් ඉටු කිරීමට බැඳි සිටිය යුතු බවට ව්‍යවස්ථාවෙන් නියම කළ යුතු ය. ඊට ආනුශාංගික සංශෝධන 4 වන ව්‍යවස්ථාවට ද ඇතුළත් කරන ලෙස යෝජනා කර සිටියි.

දේශ සීමාව (5 වන ව්‍යවස්ථාව)

ශ්‍රී ලංකාවේ දේශ සීමාවට දේශීය ජල තීරයෙන් සීමා වන දිස්ත්‍රික්ක වලට පමණක් සීමා කිරීම වෙනුවට ජනතාවගේ පරමාධිපත්‍ය බලය බලාත්මක වන වපසරිය වන ශ්‍රී ලංකාවට අයත් සියලුම භූමිය, දේශීය ජල තීරය, ඉන් එපිට පිහිටි සමූද්‍ර ආර්ථික කලාපය හා එහි පිහිටි දූපත් ද, ජාත්‍යන්තර නීතියට අනුව ශ්‍රී ලංකාවට අයත් අහස හා අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා රැඳවුම් ස්ථානද ඇතුළත් වන පරිදි ව්‍යාප්ත කරන ලෙසට යෝජනා කර සිටිමු.

ජාතික ගීය (7 වන වගන්තිය)

ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය පමණක් වන බවට නියම කළ යුතු අතර එහි පරිවර්තන ජාතික ගීය ලෙස සැලකීමත්, එවැනි පරිවර්තන ජාතික ගීය වෙනුවට ගායනා කිරිමත් තහනම් කළ යුතුය.

බුද්ධ ශාසනය හා බුද්ධාගම (9 වන වගන්තිය)

දැනට ඇති 9 වන වගන්තිය ඒ ආකාරයෙන් ම තැබිය යුතු ය.

ව්‍යවස්ථාව මගින් 9 වන වගන්තියට බලාත්මක භාවයක් ලබා දිය යුතු ය. ඒ සඳහා මෙහි පහත යෝජනා ඉදිරිපත් කර සිටියි.

(අ) බුද්ධ ශාසනය නිර්වචනය කිරීම (2002 බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභාව විසින් යෝජිත නිර්වචනය. එයට බෞද්ධ ඉතිහාසයට හා සංස්කෘතියට සම්බන්ධ පුරා වස්තූන් යන්න එකතු කර ඇත)

තථාගතයන් වහන්සේ, නවලෝකෝත්තර ධර්මය, පර්යාප්ති ධර්මය, සංඝරත්නය, විහාරාංග සහිත විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන හා භාවනා මධ්‍යස්ථාන, බෝධි වෘක්ෂ, ස්ථුප, සෙල් ලිපි, පිළිමගෙවල්, ධාතු මන්දිර, බණ පොත් හා පුස්තකාල, උපෝසඨාඝාර, විහාරස්ථාන සන්තක කෙත්වතු හා දේපොල, බෞද්ධ අධ්‍යාපනය, දේවාලය, සිල්මාතාවන් හා උපාසිකාරාම, තෙරුවන් සරණ ගිය ගිහි ජනතාව, බෞද්ධ සාහිත්‍යය, සංස්කෘතිය හා ශිෂ්ටාචාරය, බෞද්ධ ඉතිහාසයට හා සංස්කෘතියට සම්බන්ධ පුරා වස්තූන් බෞද්ධාගමික උත්සව, පෙරහැර හා පුද සිරිත්, බෞද්ධ ප්‍රතිපත්ති හා ආචාර ධර්ම යන මේ අංග හා ඒවායේ පැවැත්මට අවශ්‍ය දේ බුද්ධ ශාසනය නමින් හඳුන්වනු ඇත.

(ආ) 9 වන වගන්තිය උල්ලංඝනය වන ආකාරයේ කිසිදු නීතියක් පැනවීම හෝ ක්‍රියාත්මක කිරීම ව්‍යවස්ථාවෙන් තහනම් කළ යුතුය

(ඇ) යම් පරිපාලන හෝ විධායක ක්‍රියාවක් මගින් හෝ යම් තැනැත්තකු විසින් කරනු ලබන ක්‍රියාවක් මගින් 9 වන වගන්තිය උල්ලංඝනය වන අවස්ථාවක එය අධිකරණය මගින් වළක්වාලීමට හා 9 වන වගන්තිය අධිකරණය මගින් එකී ක්‍රියාව කරනු ලබන තැනැත්තාට හෝ ආයතනයට එරෙහිව ක්‍රියාත්මක කර ගැනීමට අයිතිය සෑම පුරවැසියකුටම ව්‍යවස්ථාව මගින් ලබා දිය යුතුය.

(ඈ) 9 වන වගන්තිය මගින් අර්ථ ගන්වන බුද්ධ ශාසනය ශ්‍රී ලංකාව පුරා ස්ථාපිත කර තිබෙන වගට අනු ව්‍යවස්ථාවකින් ප්‍රකාශ කළ යුතුය

මූලික අයිතිවාසිකම්

මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ජනතාවගේ හා පාලකයන්ගේ මූලික යුතුකම් හා වගවීම් ද ඇතුළත් කර ඒවා ක්‍රියාත්මක කරවා ගැනීමේ ක්‍රමවේදයක් පැනවිය යුතු ය.

සියලු ජනතාව එකම නීතියකට යටත් විය යුතු අතර ආගම හෝ වෙනත් ජාතිවාදී පදනමක් මත පදනම් වූ ප්‍රාදේශීය හෝ පුද්ගලික නීති සෑදීම ව්‍යවස්ථාවෙන් ම වැළැක්විය යුතුය.

මූලික අයිතිවාසිකම් යන්නට (අ) සෘජු අයිතිවාසිකම් හා (ආ) යුතුකම් පදනම් කරගත් අයිතිවාසිකම් යනුවෙන් වර්ග දෙකක් යෝජනා කර සිටියි.

එම පරිච්ඡේදයට මෙහි පහත සඳහන් අයිතිවාසිකම් ද ඇතුළත් කරන ලෙස යෝජනා කර සිටියි.

(අ) ශ්‍රී ලංකාව විදේශ රටක් හෝ ආයතනයක් සමඟ ඇති කර ගැනීමට අපේක්ෂා කරන ජාත්‍යන්තර ගිවිසුම් හා ඒවායේ අන්තර්ගත කරුණු ශ්‍රී ලංකාව අත්සන් තැබීමට අපේක්ෂා කර සිටින ජාත්‍යන්තර සම්මුති හා ප්‍රඥප්ති හා ඒවායේ අන්තර්ගත කරුණු, එම ගිවිසුම්වල හා සම්මුති ප්‍රවර්ධනය කරනු ලබන හෝ හඳුන්වා දෙනු ලබන අය පිළිබඳ සියලු තොරතුරු පූර්වයෙන් දැන ගැනීමට සෑම පුරවැසියකුට ම අයිතියක් තිබිය යුතු ය.

(ආ) ශ්‍රී ලංකාවේ දේශ සීමාව තුළ (එනම් භූමිය, සමුද්‍රය හා අහස) පිහිටි සියලු ස්වභාවික සම්පත්, සත්ව හා ශාක ගෝලය අයත් ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීමේ අයිතියක් ද ඒවාට හානි කරනු ලබන හෝ අවභාවිත කරනු ලබන අයකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද අයිතිය සෑම පුරවැසියෙකුට ම තිබිය යුතු ය

(ඇ) රජයක් විසින් ජනතාව වෙත ඉටු කිරීමට බැඳී සිටින ජාතික ප්‍රතිපත්ති හා මූලික යුතුකම් ඉටුකරවා ගැනීමට අයිතියක් සෑම පුරවැසියකුට ම තිබිය යුතු ය.

(ඈ) සමාජයේ පොදු සෞඛ්‍ය තත්ත්වයට හා ආරක්ෂාවට හානියක් නොවන පරිදි දේශීය වෛද්‍ය ක්‍රමයකින් ප්‍රතිකාර ගැනීමට ඇති අයිතිය

(ඊ) පුද්ගලයකු සම්බන්ධයෙන් සංචිත කරනු ලබන ජීව දත්ත හා පෞද්ගලික තොරතුරු විශ්ලේෂණය කිරිම සඳහා අදාළ තැනැත්තාගේ කැමැත්ත නොලබා විදේශ රටකට සම්ප්‍රේෂණය කිරීම වළක්වාලීමේ අයිතිය

(උ) ශ්‍රී ලංකාවට ආවේණික වූ ගස්වර්ග, ඖෂධ, ජීව විශේෂ ආදිය ද ශ්‍රී ලංකාවට අයත් පෞරාණික නිර්මාණ, දැනුම හා සම්පත් සම්බන්ධයෙන් විදේශ ආයතන හෝ පුද්ගලයන් විසින් අයිතිය කියා පෑම සම්බන්ධයෙන් එරෙහි වීමට ඇති අයිතිය

මීට අමතරව භාෂාව, රාජ්‍ය තන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය, මූලික අයිතිවාසිකම් ඇතුළත් තව කරුණු මේ යෝජනාවලියේ අන්තර්ගත වී තිබිණි.

Comments