බිලියන 35ක් ගිල්ල ETI රජ සිවු කට්ටුව | Page 2 | සිළුමිණ

බිලියන 35ක් ගිල්ල ETI රජ සිවු කට්ටුව

සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාව

- නීතිපතිගේ විරෝධය මැද ETI අධ්‍යක්ෂ මණ්ඩලයට ඇප ලැබුණ ද, යළිත් නීතිපති නියෝගයෙන් 8වැනිදා අත්අඩංගුවට පත්විය
- ගනුදෙනුකරුවන් 24,000ක් මහ මඟ

ස්වර්ණමහල් ආයතනයේ සහ ඊ.ටී.අයි. ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන තිදෙනා පසුගිය පස් වැනිදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූයේ රුපියල් බිලියන 35කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම යටතේය. ඒ අතර එම සමාගම්වල ගනුදෙනු කරුවන් විසින් තැන්පත් කළ රුපියල් බිලියන 13.7 ක මුදලක්ද ඇතුළත්ය. සාවද්‍ය පරිහරණය මෙන්ම මුදල් විසුද්ධි කිරීමේ පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට ගත්තේ නීතිපතිවරයා විසින් කරන ලද නියෝගයකට අනුවය.

එසේම එහි අනෙක් අධ්‍යක්ෂවරයා වන නාලක එදිරිසිංහ ඊට පසුදා එනම්, පසුගිය 6 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බාර වූ අවස්ථාවේ අත්අඩංගුවට ගන්නා ලදී. නීති විරෝධී ලෙස මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යෑමේ චෝදනාව යටතේ, ස්වර්ණමහල් සහ ඊ.ටී.අයි. ආයතනයට සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ද නීතිපතිවරයා තීරණය කර තිබේ. අදාළ ආයතන සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය ඉදිරිපත් කළ විමර්ශන උද්ධෘත ලෙස සලකා බැලු නීතිපතිවරයා මේ තීරණ ගෙන තිබේ. 

නීතිවිරෝධී ආකාරයෙන් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස්, ගදෙනුකරුවන් විසින් එහි තැන්පත් කළ රුපියල් බිලියන 13.7 ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම පිළිබඳ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් ආයතනයට හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා පොලිසියට නියෝග කර තිබුණි. ඊටීඅයි තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් ලිඛිතව ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වැඩි අවධානයක් යොමු කර තිබුණි.

කෙසේ වෙතත්, එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් හා ඊට අනුබද්ධ සමාගම්හි සිදු වී ඇතැයි පැවසෙන මූල්‍යමය හා දේපළ ගනුදෙනු පිළිබඳ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරිගේ සභාපතිත්වයෙන් යුතුව, හිටපු සොලිසිටර් ජනරාල්වරයකු වන සුහද ගම්ලත් හා ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන ඩී.එම්. ගුණසේකරගේ සාමාජිකත්වයෙන් යුත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලද්දේ 2020 ජනවාරි මස 09දාය.

එකී ගනුදෙනු පිළිබදව වාර්තාව ඔක්තෝබර් මස 06 වැනි දින ජනාධිපතිතුමා වෙත භාර දුන් අතර එම සමාගම් (ETI) පසුගිය සමයේදී සිදු කළ මූල්‍ය හා දේපළ ගනුදෙනු රැසකදීම මූල්‍ය නීති රැසක් කඩ කර ඇති බවත්, අක්‍රමිකතා රැසක් සිදු වී ඇති බවත්, එම කොමිෂන් සභා වාර්තාවේ සදහන් කර තිබේ.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් සමූහයට අයත් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුළු දේපළ ඊටීඅයි හෝල්ඩින්ග්ස් නමින් ඒකාබද්ධ කර 2015 වසරේ බෙන් හෝල්ඩින්ග්ස් නමැති සමාගමකට අලෙවි කරන ලදී.

එම අලෙවිය කිරීමද නිසි ක්‍රමවේදයකට අනුව සිදු කර නොමැති බව මේ වන විට හෙළිව තිබේ. එහිදී මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇති බවටද කොමිසම කරුණු අනාවරණය කර ඇත. ඒ අනුව එම දේපොළ රජයට පවරා ගැනීමටත්, එහි හිමිකරුවන් ලෙස කටයුතු කර මෙම ගනුදෙනු සිදු කළ පිරිසට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමේ හැකියාව ඇති බවත් කොමිසම වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මෙම වාර්තාවේ සදහන් වූ කරුණු පිළිබදව දැඩි අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් හා ඊට අනුබද්ධ සමාගම් හී සිදු වී ඇති මූල්‍යමය හා දේපොළ ගනුදෙනු පිළිබඳ අක්‍රමිකතා සම්බන්ධයෙන් කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් නීතිමය පියවර ගැනීම පිණිස නීතිපතිවරයාට යොමු කිරීම, මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර මූල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත. එමෙන්ම අධිකරණ අමාත්‍යවරයා මගින් මෙම කොමිෂන් සභා වාර්තාව හා ඒ අනුව ගනු ලබන පියවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යන යෝජනාද සමග මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර අවශ්‍ය කටයුතු සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

සෝමා එදිරිසිංහගේ අභාවයෙන් පසු මේ ව්‍යාපාර සමූහයේ කඩා වැටීම ඉතා වේගයෙන් සිදු විය. සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන කටයුතු කළ අතර සමාගමේ ද්‍රවශීලතාවය වේගයෙන් පිරිහීමට පත්වීමත් සමග. රු. බිලියන 22ක් සිය තැන්පත්කරුවන්ට වංචා කරන තත්ත්වයට පත් විය. ඒ හා සමගම මෙරට පුරවැසියන් 24,800 කගේ තැන්පතු මුදල් අවදානමට ලක් විය.

ඊ.ටී.අයි පාලකයන් සිය ගනුදෙනුකරුවන්ගේ මුදල්ද අනතුරේ හෙළමින් ඒ පිළිබදව කිසිදු වගවිභාගයක් නොමැතිව හැසිරෙද්දී ඒ වන විටත් සමාගමේ බාහිර ඔපයට හා ප්‍රචාරණ උපක්‍රමවලට රැවටී, දුක් මහන්සියෙන් තමන් හරි හම්බ කර ගත් මුදල් ඊ.ටී.අයි වෙත පූජා කර තිබූ එහි ගනුදෙනුකරුවන් මේ අවනඩුව එවකට මේ රට පාලනය කළ පාලකයින් වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙතත් ඉදිරිපත් කළද ඔවුන්ට සාධාරණ විසදුමක් නොලැබිණි.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් හා ඊට අනුබද්ධ සමාගම් සම්බන්ධව පත් කෙරුණු ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව, එහි නිගමන හා නිර්දේශ පිළිබදව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංගමයේ සභාපතිනී අනූෂා ජයන්ති පවසා තිබුණේ මෙවැනි අදහසකි.

“මෙම කොමිෂන් සභා වාර්තාවේ ඉතා පැහැදිලිවම ඊ.ටී.අයි මූල්‍යමය හා දේපළ ගනුදෙනු පිළිබඳ අක්‍රමිකතා රාශියක් පිළිබදවම තොරතුරු සදහන් කර තිබෙනවා. ඒ වගේම සිදු වූ ගනුදෙනු රැසකදීම මුදල් විශුද්ධිකරණය සිදුවෙලා තියෙනවා කියලත් එම වාර්තාවේ සදහන්. එපමණක් නෙවෙයි ඊ.ටී.අයි දේපළ විකිණීම සිදු කළ ආකාරයන් නීති විරෝධී කියලා නිර්දේශයක් මෙන්ම එම නීති විරෝධී දේපළ ගනුදෙනු නිසාම එසේ විකුණන ලද දේපළ රාජසන්තක කළ හැකි බවටත් එකී කොමිෂන් සභා වාර්තාවේ සඳහන්.

2017 මැයි 22 දින, ජීවක එදිරිසිංහ ඊ.ටී.අයි. සභාපතිවරයා තමන්ගේ සමාගම ඉතා දුර්වල ද්‍රවශීලතා තත්ත්වයක හා තැන්පත්කරුවන්ගේ තැන්පතු ඉල්ලා සිටින විට ආපසු ගෙවීමට නොහැකි මට්ටමක පවතින බව මහ බැංකුවේ අධිපති වෙත ලිපියකින් දන්වා තිබේ. 2018 මැයි 23 වැනි බදාදා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ එය සඳහන්ව තිබේ. 2017 මැයි 22 දා මෙවැනි බරපතළ තත්ත්වයක තමන්ගේ ආයතනය එසේම අත්පත්‍රිකා ලබා දී ඇත්තේ පොලිය 17%ක් බව පවසමිනි.

ඔවුන් එසේ අත්පත්‍රිකා බෙදා හැර 2018 ජනවාරි 01 වැනිදා මහ බැංකුව ගත් තීරණයක් අනුව, ඊ.ටී.අයි. මූල්‍ය ව්‍යාපාරයේ කළමනාකරණ සහ අධීක්ෂණ කටයුතු සඳහා පත් කළ මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනා ඊ.ටී.අයි. ගොඩනැඟිල්ල තුළ සිටියදීය.

රාජ්‍ය සංස්ථා හා මණ්ඩලවල සේවය කර ලබාගත් සේවක අර්ථසාධකය මෙම ආයතනවල තැන්පත් කළ පිරිස් රැසක් සිටී. වරායේ පමණක් එම සංඛ්‍යාව 34කි.

පසුගිය 6 වැනිදා ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩලයට අධිකරණයන් ඇප නියම කෙරුණේ නීතිපතිවරයාගේ දැඩි විරෝධය මතය. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු වාර්තා කරමින් පෙන්වා දී තිබුණේ මෙම අධ්‍යක්ෂ මණ්ඩලය රුපියල් බිලියන ගණනක් සාවද්‍ය පරිහරණය කර ඇති බැවින් ඔවුන්ට බෝට්ටුවකින් හෝ ගුවන් යානාවකින් රටින් පැන යාමට හැකියාව ඇති බවයි. එසේම රුපියල් බිලියන 7.2ක මුදලක් පරිහරණය සම්බන්ධව මේ දක්වා කිසිදු කරුණක් සොයා ගත නොහැකි බවයි.

විත්ති පාර්ශ්වයෙන් කරුණු දැක්වූ නීතිඥවරුන් පෙන්වා දී තිබුණේ මෙය දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඇප ලබා දිය හැකි බවයි. කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප නියම කළ අතර ඒ තීරණයෙන් තැන්පත්කරුවන් නොසන්සුන් විය. ඔවුන් හඬ නඟමින් පැවසුවේ ‘මහ හොරුන් ආරක්ෂා ඇතිව මෝටර් රථවලින්‘ ගමන් කළා යන්නයි. එසේම 60%ක තැන්පතු මුදල් ලබා දුන් බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කර ඇති දැනුම් දීම අසත්‍ය බවද ඔවුහු පැවසූහ.

ඇප ලබා දුන්නද ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතුය. ඒ අනුව 10 වැනිදා ඉරිදා අධ්‍යක්ෂ මණ්ඩලයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතුය. එමෙන්ම ඔවුන් සියලු දෙනාට විදෙස් ගමන් තහනම් කර තිබේ. දැන් අධිකරණයේ නඩුව විභාග වෙමින් තිබේ. සියල්ල නීතියට බාරය.


ඡායාරූප - හිරන්ත ගුණතිලක

Comments