මහින්දගේ ‘ස්විමින් පූල්’ එකේ ආදායම ඩොලර් ලක්ෂයයි | සිළුමිණ

මහින්දගේ ‘ස්විමින් පූල්’ එකේ ආදායම ඩොලර් ලක්ෂයයි

හම්බන්තොට වරාය 'යහපාලන' ආණ්ඩු සමයේ විදේශිකයන්ට බදුදුන් මුදල් අතැතිව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු මුදල් ඇමැති මංගල සමරවීර ඇතුළු පිරිස සිටින ආකාරය

“වසර 2000 දීවත් හම්බන්තොට වරායක් ඉදිකරනවා නම් එය මුළු රටට ම ආර්ථික ධන උල්පතක් වනවා. මං මේක 1908 දී කිව්වා. අනේ මේ වරාය අවුරුදු 2000 දීවත් ඉදි කෙරෙනවා රටට කෙතරම් යහපත් ද?” මේ බව වසර 1908 දී ප්‍රකාශ කරන ලද්දේ එවකට හම්බන්තොට දිසාපති වශයෙන් ක්‍රියාකළ ලෙනාඩ් වුල්ෆ් විසිනි. වසර 1908 සිට වසර 1911 දක්වා ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුදු දිසාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර ඒ කාලයේ රට පැවතුණේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ ය. 

1908 වසරේදී හම්බන්තොටට වරායක් ඉදිකිරීමේ වැදගත්කම ලෙනාඩ් වුල්ෆ් දුටුවේ ය. යළි 1960 වසරේ දී එංගලන්තයේ සිට පැමිණෙන ලෙනාඩ් වුල්ෆ් තමා මීට පෙර රාජකාරි කළ හම්බන්තොට දිස්ත්‍රික්කය දැක බලා ගැනීමට ද අමතක නොකරයි.

හම්බන්තොටට යන ලෙනාඩ් වුල්ෆ් මුලින් ම යන්නේ හම්බන්තොට වරායක් ඉදිකර තිබෙනවා ද කියා දැක ගැනීමටයි. නමුත් හම්බන්තොට වරායක් ඉදි වී නැත. 1960 වසරේදී හම්බන්තොට දෙස බලමින් ලෙනාඩ් වුල්ෆ් කියා සිටියේ මං එදා කියපු හම්බන්තොට වරාය වසර 2000 දී හෝ ඉදිවනු ඇත කියා ය.

වසර 100 ක් තිස්සේ පැවතුණු හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදිකිරීමේ සිහිනය සැබෑ වූයේ 2010 වසරේදී ය. 1908 ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට ජාත්‍යන්තර වරායක අවශ්‍යතාවය දැඩිව කියා සිටි අතර එම සිහිනය 2010 වසරේ දී සැබෑ වන්නේ වසර 102 කට පසුව වීම විශේෂත්වයකි.

එම අභියෝගය යථාර්ථයක් බවට පත් කරනු ලබන්නේ ත්‍රස්තවාදයෙන් රට බේරා ගනිමින් මේ රට විශිෂ්ට සංවර්ධනයක් කරා ගෙන ගිය මහින්ද රාජපක්ෂන් ය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදිකර එමඟින් රටට අවශ්‍ය ධන උල්පත ලබාගතව තිබුණේ ක්‍රම ක්‍රමයෙනි. හම්බන්තොට වරාය කිලෝ මීටර් 3, 4 ක් දුරින් ජාත්‍යන්තර නැව් මාර්ගය පිහිටි අතර එම මාර්ගයේ නිතරම නැව් ගමනාගමනය දැකිය හැකි ය.

මෙම නෞකාවලට මුලින් ම ජලය සහ ඉන්ධන ලබා දුන්න ද රටට හිමිවන ආදායම අති විශාල ය. එම කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ක්‍රම ක්‍රමයෙන් සම්පාදනය කරමින් සිටින විට 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් පසුව යහපාලන ආණ්ඩුව බලයට පත්විය.

හම්බන්තොට වරාය සංවර්ධනය කරනවා වෙනුවට යහපාලන ආණ්ඩුවේ නායකයන් ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ හම්බන්තොට ස්විමිං පූල් (Swimming Pool) එකක් සාදා ඇති බවයි.

හම්බන්තොට ස්විමිං පූල් එකක් බව ප්‍රකාශ කළ යහපාලකයෝ හම්බන්තොට වරායේ ගලක් තිබෙන බවත් නැව් පැමිණීමට එය බාධාවක් බවත් කියා සිටිය හ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකරලා වැනි අය ද හම්බන්තොට වරායේ ගලක් ගැන මහත් උනන්දුවෙන් කතා කළේ ඇත්තට ම ගල දැකලා ද එසේත් නොමැති නම් රාජපක්ෂවරුන්ට පහරදීමට ද කියා දන්නේ ඔවුන් ම පමණි.

ස්විමිං පූල් එකක් කියූ හම්බන්තොට වරාය, ගලක් තිබෙනවා කියූ හම්බන්තොට වරාය යහපාලන ආණ්ඩුව කාලයේදී ලබා ගැනීමට චීනය මහත් උනන්දුවක් දැක්වූයේ ඇයි?

මහා කළු ගලක් සමඟ ස්විමිං පූල් එකක් ගැනීමට චීනයට තිබෙන පිස්සුව කුමක් ද?

මහින්ද රාජපක්ෂ හදපු නිසා හම්බන්තොට වරායට ගරහමින් සිටි යහපාලකයන්ට මුදල් නැති නිසා අවසානයේ දී හම්බන්තොට වරාය චීනයට ලබා දීමට තීරණය කළේ ය.

වටිනාකම කියා නිම කළ නොහැකි හම්බන්තොට වරාය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 කට වසර 99 බද්දට චීනයට ලබාදීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේ එක් පැත්තකින් මුදල් සෙවීමේ අරමුණ සාර්ථක කර ගන්නා අතරතුර අනෙක් පැත්තෙන් රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමට ය.

හම්බන්තොට වරාය ස්විමිං පූල් එකක් වශයෙන් හැඳින්වූ යහපාලන ආණ්ඩුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය චීනයට ලබා දී කිසිදු හිරිකිතයකින් තොරව චෙක්පත ලබාගන්නේ ඉන්දියාවේ විරාත් කෝලි ක්‍රිකට් කුසලානය දිනා චෙක්පත ලබාගන්නා ආකාරයෙනි.

එසේ චීනයට ලබා දුන් හම්බන්තොට වරායේ 2020 වසරේ ආදායම ඇමෙරිකානු ඩොලර් ලක්ෂයකි. හම්බන්තොට වරාය ශ්‍රී ලංකා රජයට අයත් වී තිබුණා නම් අද රට පවතින්නේ මෙතන නොවේ.

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වී තිබෙන නව තත්ත්ව, සීමාවීම් ඇතුළු කාරණා සමඟ හම්බන්තොට වරායේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් නම් කොරෝනා නැතිව ලෝකය පෙර පරිදි සාමාන්‍ය තත්වයේ පසුවුණා නම් හම්බන්තොට වරායේ වාර්ෂික ආදායම කෙතරම් ඉහළ අගයක් ද කියා සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.

එදා පිහිනුම් තටාකයක් සාදා ඇති බවට මහින්ද රාජපක්ෂයන්ට අපහාස කළ රනිල්, සජිත්, පාඨලී, මංගල, රාජිත ඇතුළු අලියාගේ සහ දුරකතනයේ කිහිපදෙනෙක් දැන් කියන්නේ මොනවා ද? අනුර කුමාරලා ඇතුළු පිරිස ද එල්ල කළේ මෙම චෝදනාමයි.

රනිල්ලා, සජිත්ලා, අනුරලා එලෙස අපහාස කළාට රටේ ජනතාව මේ යථාර්ථය හොඳින් ම තේරුම් ගෙන තිබේ. 1908 දී හම්බන්තොට වරායක් අවශ්‍ය බව කියූ ලෙනාඩ් වුල්ෆ් අද ජීවතුන් අතර සිටියා නම් කෙතරම් සතුටු වනු ඇත් ද?

එදා මහින්ද රාජපක්ෂ හම්බන්තොට වරාය හදන විට ඊට ද රනිල්ලා, සජිත්ලා, අනුරලා පාර්ලිමේන්තුවේ සිදු කළ කතා අදට ද අමතක නැත.

කොරෝනා හේතුවෙන් යම් යම් සීමාවන්ට යටත් වුවද වසරකට ඇමරිකානු ඩොලර් ලක්ෂයක ආදායමක් ඉපැයූ හම්බන්තොට වරාය දැන් අයිති චීනයටයි.

රත්තරං බිජු දමන කිකිළියගෙන් දැන් රත්තරං බිජු ලබා ගන්නේ චීනය යි. ඊට පාර කැපුවේ යහපාලන ආණ්ඩුව යි. හම්බන්තොට වරාය චීනයට ලබා දෙන විට වර්තමාන විපක්ෂ නායක සජිත් ද සිටියේ ඒ ආණ්ඩුවේය.

දැන් කෑ ගසන අනුර කුමාර දිසානායක යහපාලන ආණ්ඩුවට එරෙහිව අද වාගේ යටිගිරියෙන් එදා කෑගැසුවේ නැත.

එදා රනිල්ලා, සජිත්ලා, මංගලලා, අනුර කුමාරලා සහ ඔවුන්ගේ ආර්ථික ඔස්කාර්ලා ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය සුදු අලියකු බවයි. නැව් එන්නේ නැති වරායක් හම්බන්තොට හදලා ඒක පිහිනුම් තටාකයක් යනුවෙන් එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සමගි ජන බලවේගයේ පිරිස් කෑ ගැසූහ. රතු සහෝදරවරු ද ඒ අතර වූහ.

පසුගිය ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දේශපාලන විවාදවලට පැමිණි බොහෝ පිරිස් හම්බන්තොට වරාය හැඳින්වූයේ නැව් එන්නේ නැති පිහිනුම් තටාකයක් කියා ය.

2020 වසරේ හම්බන්තොට වරායෙන් ලැබී තිබෙන ආදායම් සමඟ මහින්දගේ Swimming Pool එකේ වැදගත්කම රනිල්ලාට, සජිත්ලාට, අනුරලාට පෙනුණත් දේශපාලන කුහකත්වය මත ඔවුන් සිටින්නේ හම්බන්තොට වරායේ වාසිය නොපෙනෙන ලෙසට ය.

“මහින්ද රට ණය කරලා, රටට වැඩක් නැති ව්‍යාපෘති හදලා” යනුවෙන් ද මෙම පිරිස සහ ඔවුන්ගේ ගෝලබාලයන් ඕනෑතරම් දෝෂාරෝපණය කර තිබේ.

ඔවුන්ට කණ රත්වෙන පිළිතුරක් 2020 වසරේ හම්බන්තොට වරායේ ආදායම් වාර්තාවලින් පෙන්වා ඇති අතර ඉදිරියේ දී මෙම ආදායම් වාර්තා තවත් කිහිප ගුණයකින් ම ඉහළ යන බව ආර්ථික විශේෂඥයන් දැනටමත් පෙන්වා දී ඇත.

ඊට අමතරව කොළඹ වරාය ගැන කතාබහ කරද්දී පසුගිය කාලය තුළ විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වූයේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයයි.

“කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න යන්නේ. රාජපක්ෂ ආණ්ඩුව ඊට සැලසුම් සකස් කර අවසන්. හොර රහසේ ගිවිසුම් ගහන්න යන්නේ. යනුවෙන් එක්සත් ජාතික පක්ෂයත්, සමඟි ජනබලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් කෑ මොර දුන්නේ පසුගිය මැතිවරණවල සිට ය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නැති බවට කෙතරම් ප්‍රකාශ කළ ද ඔවුන් එය විශ්වාස කළේ නැත. ඊට හේතුව ඔවුන්ගේ දේශපාලනය සිදු කිරීම සඳහා සටන් පාඨ නොමැති වීමයි.

දේශපාලන වශයෙන් හතරගාතෙන් වැටී ඇති එක්සත් ජාතික පක්ෂයට, සමගි ජන බලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට කෙසේ හෝ අවශ්‍ය වී තිබෙන්නේ කොරෝනා කාලේ දී හෝ දේශපාලන වශයෙන් ගොඩ ඒමටය. කොරෝනා වසංගතයක් පැමිණියේ තමන්ගේ පෙර පිනට බව දන්නා විපක්ෂය කොරෝනාවක් නොපැමිණියේ නම් තමන්ට ඇඩ්‍රස් පවා නැති වන බව ඔවුන් හොඳින් ම දන්නා කාරණයකි.

කොරෝනා වසංගතයට මුහුණ දෙමින් සාර්ථකව රට ඉදිරියට ගෙන යන රජය කොරෝනා තුරන් වූ පසුව ඉතා වේගවත් ගමනක් දියත් කරන බව ද විපක්ෂය හොඳින් දනී. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය කොරෝනා වසංගතය අවසන්වීමට පෙර රට අරාජික වෙනවා දැකීමටය.

හම්බන්තොට වරායේ සිද්ධිවලින් විපක්ෂය හොඳටම අනාගෙන තිබෙන නිසා ඔවුන්ට අවශ්‍ය වූයේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ එල්ලීමටය.

විශේෂයෙන් ම සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ තරගයට මාධ්‍ය හමු පවත්වමින් මුවහමට තඩි බානවා සේ රාජපක්ෂ මුවහමට තඩිබාමින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල කළේ ය.

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණය ඔන්න මෙන්න කියා තිබිය දී කොළඹ වරායේ වැඩ වර්ජනයක් දියත් කිරීමට මෙම දේශපාලන බංකොලොත්වාදීන් කටයුතු කළේ ඒ තරමට ම ඔවුන් දේශපාලන වශයෙන් බංකොලොත් වී තිබෙන නිසා ය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට මුවා වෙලා ගොඩ යෑමට උත්සාහ කළත් පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් අලියාට ඇඩ්‍රස් නැති විය. දුරකථනයේ ඡන්ද මල්ලෙන් ඡන්ද ලක්ෂ 25 ක් පමණ ගෙඩිය පිටින් ම නැතිවිය. සීනුවට සිදුවූයේ පිටකොටුවේ විකුණන සියයට තුනේ ඇපල්වලට සිදු වුණු දේ ය.

එහෙම වෙලත් කිසිම ලැජ්ජාවක් බයක් නැතිව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය කොරෝනා අස්සේ යළි අල්ලා ගන්නේ රටේ ආර්ථිකයට ද යම් බලපෑමක් සිදු කිරීම සඳහා ය. කොරෝනා අස්සෙත් රට ඉදිරියට යන වැඩේට නම් මේ සජිත් අයියලා සහ අනුර මල්ලිලා කැමැත්තක් නොදක්වති.

ඒ නිසා කෙසේ හෝ ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ තම වෘත්තීය සමිති හරහා කොරෝනා අස්සේ වැඩ වර්ජනයක් සිදු කොට රටේ ආර්ථිකය අස්ථාවර කර එමඟින් දේශපාලන වාසි ලබා ගැනීමට ය.

මේ ගැන ජාතික ජනබලවේගයේ නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී ද ප්‍රශ්නය මතු කළේ කොහොම හරි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ එල්ලීමට ය.

පහුගිය යහපාලන ආණ්ඩුව සමයේ දී රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම්වලින් වැඩි කොටසක් ඉන්දියාවට ලබා දීමට ඇතැම් ගිවිසුම් අත්සන් කරන විට රතු සහෝදරවරුන් මේ ආකාරයෙන් කලබල නොවූයේ එම යහපාලන ආණ්ඩුව බිහි කිරීම සඳහා ඔවුන් ද සහයෝගය ලබා දුන් නිසා විය හැකි ය.

නමුත් අනුර කුමාර ඇතුළු පිරිස දැන් සිංහනාද කරන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදෙන ලෙස කියා ය. සමාජයේ අවධානය දිනා ගැනීම සඳහා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගෙන් මේ ගැන විමසීමට අනුර යොදාගන්නේ අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාවයි.

කොළඹ වරායේ පිහිටීම සහ එහි තිබෙන වැදගත්කම පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළ අනුර කුමාර දිසානායක ප්‍රශ්න 06 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කොට තිබුණි.

01. කොළඹ වරාය අපේ රටේ සංවර්ධනයේ දී උපායමාර්ගික වශයෙන් වැදගත් ම කේන්ද්‍රයක් බව පිළිගනු ලබන්නේ ද?

02. පැවති ආණ්ඩුව විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධව කවර හෝ ගිවිසුමකට, කවර හෝ පාර්ශ්ව සමඟ එළඹ තිබේ ද? එසේ නම් එම ගිවිසුම සභා ගත කිරිමට කටයුතු කරන්නේ ද?

03. වර්තමාන ආණ්ඩුව විසින් නැගෙනහිර ජැටියේ ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳව ගනු ලැබ තීරණය කුමක් ද?

04. නැගෙනහිර ජැටියේ කළමනාකරණය හෝ මුළු අයිතියි හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර තිබේ ද? එසේ නම් එම රට සහ සමාගම කවරේ ද? ඒ සඳහා ගනු ලැබ ඇති පියවරක් හා තීන්දු තීරණ කවරේ ද?

05. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මේ වන විටත් සංවර්ධනය කර තිබෙන නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන ඉදිරියට යාමට ඇති බාධා කවරේ ද?

06. මෙම නැගෙනහිර ජැටියේ 100% ක පූර්ණ අයිතිය හා කළමනාකරණය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වා ගන්නා බවට සහතිකයක් මෙම පාර්ලිමේන්තුවට ලබා දිය හැකි ද? යනුවෙනි.

අනුර කුමාර දිසානායක සිතුවේ තමාගේ ප්‍රශ්නවලින් මහින්ද රාජපක්ෂ ඇඹරේ ය කියා ය. නමුත් මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යවරයා ඊට පිළිතුරු ලබා දුන්නේ මෙසේ ය.

ගරු කථානායකතුමනි,

2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මම ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ බහාලුම් ලක්ෂ 72 ක් පමණ ක්‍රියාත්මක කළ හැකි බහාලුම් අංග 03 කින් සමන්විත කොළඹ දකුණු වරාය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

මෙම ව්‍යාපෘති සැලැස්මට අනුව පළමු බහාලුම් මෙහෙයුම් අංගණය විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියන් අනුගමනය කරමින් රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස වසර 35 ක කාලයක් සඳහා ගිවිසුම් ගතව මෙහෙයුම් සිදු කරනු ලැබේ.

ඉතිරි බහාලුම් මෙහෙයුම් අංගණ දෙක නැගෙනහිර බහාලු පර්යන්තය සහ බටහිර බහාලූ පර්යන්තය කඩිනමින් ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම සඳහා වර්තමාන රජය විසින් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනු ලබනවා.

ගරු කථානායකතුමනි, කොළඹ වරාය අප රටේ සංවර්ධනය සඳහා වැදගත් කේන්ද්‍රස්ථානයක් බව අප කවුරුත් දන්නා කරුණකි. පැවති යහපාලන රජය විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධව පහත සඳහන් පාර්ශ්වයන් සමඟ ගිවිසුම්වලට එළැඹි තිබේ. 2017.04.26 දිනැති ගිවිසුම - වරාය හා නාවික අමාත්‍යාංශය සම්බන්ධ කර නොගෙන එවකට පැවති සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් ඉන්දියන් රජය සමඟ ඇති කර ගත් ගිවිසුම.

2019.05.28 දිනැති ගිවිසුම - ශ්‍රි ලංකා රජය, ඉන්දියන් රජය සහ ජපන් රජය එකඟත්වයෙන් යුතුව ඇති කර ගත් ගිවිසුම.

එම ගිවිසුම් දෙකෙහි පිටපත් ඇමුණුම 01 ලෙස සභාගත කරමි.

ගරු කථානායකතුමනි, ජය බහාලු පර්යන්තය අදියර 05 ව්‍යාපෘතිය ප්‍රමාද වීම හේතුවෙන් එම ව්‍යාපෘතිය සඳහා ප්‍රසම්පාදනය කරන ලද නැවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදු කරන දොඹකර තුන නිකරුනේ තබා නොගෙන, නැගෙනහිර බහාලූ අංගණයේ සැලසුම්ගත මෙහෙයුම් කිරීමට අවශ්‍ය ප්‍රමාණයේ දොඹකර නොවූ ව ද, කොළඹ වරාය දැනට මුහුණ පා ඇති නාවික තදබදයෙන් මුදවා ගැනීම සඳහා අප රජය විසින් ඒවා නැගෙනහිර බහාලු පර්යන්තයේ සවිකොට මෙහෙයුම් ආරම්භ කරන ලදී.

ගරු කථානායකතුමනි, අප රජය විසින් මෙම නැගෙනහිර ජැටියේ කළමනාකරණය හෝ මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කර නොමැත.

ගරු කථානායකතුමනි, නැගෙනහිර බහාලු පර්යන්තය මීටර් එක්දහස් තුන්සිය විස්සක් (1,320) දිගින් යුතුවන අතර මේ වන විට සංවර්ධනය කර ඇත්තේ මීටර් හාරසිය හතළිහක් (440) දිග දක්වා පමණි. තවද නැගෙනහිර බහාලු පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සැලසුම් කළ පරිදි ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ ප්‍රසම්පාදනය කොට නොමැත. මෙම සංවර්ධනය කොට ඇති ප්‍රමාණය මුළු ව්‍යාපෘතියෙන් 15% ක් පමණ වන අතර, ඉතිරි සංවර්ධන කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 590 ක් පමණ වැය වන බව ඇස්තමේන්තු කොට ඇත.

ගරු කථානායකතුමනි,

නැගෙනහිර බහාලු පර්යන්තය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වූ බැවින් කොළඹ වරාය තුළ නාවික තදබදය ඉවත් කොට සාමාන්‍ය අයුරින් පවත්වා ගෙන යාම සඳහා ඉදිරි වසර දෙකක් ඇතුළත නැගෙනහිර බහාලු පර්යන්තය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළ යුතුව ඇත. එමෙන් ම පසුගිය රජය විසින් ගත්තා වූ තීන්දු තීරණ නිසා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට විවිධ බාධා උද්ගත වී ඇත.

ගරු කථානායකතුමනි, නැගෙනහිර ජැටියේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වනවා. පැවති රජය විසින් එළඹෙන ලද ශ්‍රී ලංකා, ඉන්දියානු සහ ජපන් රාජ්‍යයන් විසින් එකඟතාවයට පත් ගිවිසුම අනුව ශ්‍රි ලංකා රජය විසින් ණය ලබා නොගෙන නැගෙනහිර බහාලු පර්යන්තයේ මෙහෙයුම් ශ්‍රී ලංකාවට වාසිදායක වන අයුරින් පවත්වා ගෙන යාම සඳහා අධ්‍යයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කරලා තිබෙනවා.

නැගෙනහිර ජැටියේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බවත් එය කිසිදු ආකාරයකින් මෙම නැගෙනහිර ජැටියේ කළමනාකරණය හෝ මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීම තීරණය කර නොමැති බව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.

රටේ අගමැතිවරයාගෙන් ලැබුණේ අනුර කුමාර දිසානායක කිසිම දිනක බලාපොරොත්තු නොවූ පිළිතුරකි. අගමැතිවරයාගේ එම පිළිතුරෙන් අනුර කුමාර සහෝදරයාගේ කන් කඩා වැටුණේ ය. සිංහනාදය කෙඳිරිල්ලක් බවට පත් වූවේ ය.

ඉන් අනතුරුව තවදුරටත් අනුර කුමාර දිසානායකට පිළිතුරු ලබා දුන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පිළිතුරු ලබා දුන්නේ රනිල්ලාගේ, සජිත්ලාගේ සහ අනුරලාගේ හාදකම් ද මතක් කරමිනි.

2015 දී බිහි වූ යහපාලනය කොළඹ වරායේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන නොගිය අතර නැගෙනහිර පර්යන්තය සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇණවුම් කළ දොඹකර 3 ගෙන්වීමට කටයුතු නොකළේ ය.

එම දොඹකරවලින් මෙහෙයුම් ආරම්භ කළා නම් මේ වන විට නැගෙනහිර පර්යන්තයේ විශාල ආදායමක් ලබා ගත හැකිව තිබුණි. 2005 - 2015 කාලය තුළ මහින්ද රාජපක්ෂ රජය කොළඹ වරාය සංවර්ධනය කරමින් අලුත් දියකඩනය ඉදිකිරීම නිසා නව පර්යන්ත 03 ක් කොළඹ වරායට ලැබුණු අතර අද අනුර කුමාර දිසානායකලා කෑමොර දෙන නැගෙනහිර පර්යන්තය ද ඉදිවූයේ මහින්ද රාජපක්ෂ සෑදු දියකඩනය නිසා ය.

රනිල්ලා, සජිත්ලා තමන්ගේ දේ විකුණා ගෙන කමින් ජීවත් වුණාට මහින්ද රාජපක්ෂලා රටට දායාද කර තිබෙන කිසිවක් විකුණා නැත.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් විකුණා දැමූ ඇතැම් රාජ්‍ය දේපළ ද යළි රජය වෙත පවරා ගන්නේ මහින්ද රාජපක්ෂයන් ය. සජිත්, අනුර කුමාර ඇතුළු විපක්ෂයට එය නොපෙනුණාට රටේ පොදු මහජනතාවට නම් එය හොඳින් පෙනේ.

Comments