මුතුරාජවෙලට අත නොතබනු ! | සිළුමිණ

මුතුරාජවෙලට අත නොතබනු !

මුතුරාජවෙල කී පමණින් බොහෝ දෙනකුගේ මතකයට නැඟෙන්නේ පුරන් වූ කුඹුරු යායකි. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් බටහිර වෙරළ තීරය දිගේ පැතිරුණු එය උතුරින් මීගමු කළපුවටද දකුණින් කැලණි ගඟටද බටහිරින් වෙරළ තීරයට හා නැඟෙනහිරින් කොළඹ-මීගමු ප්‍රධාන මාර්ගයටද මායිම්ව පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයෙන් අනූන මුතුරාජවෙල වගුරු බිම මීගමු කළපුවත් සමඟ ගත් විට හෙක්ටයාර දස දහස් ගණනක් පුරා ව්‍යාප්තව පවතී.

ජනාකීර්ණ මහ කොළඹ ප්‍රදේශයේ හරිත පෙණහළු සේ සැලකිය හැකි මුතුරාජවෙල තෙත් බිම ස්වභාවික ගං වතුර පාලනයටද ඍජු දායකත්වයක් ලබා දෙයි. මුතුරාජවෙල ඔස්සේ ගලන ප්‍රධාන ඇළ මාර්ග දෙක වන හැමිල්ටන් ඇළ සහ ඕලන්ද ඇළ එම ඊට සෞන්දර්යයක්ද සපයන්නේ එම ඇළ මාර්ග දෙපසින් පිහිටා ඇති හරිත වර්ණයෙන් බබළන කඩොලාන තීරය නිසාවෙනි. මුතුරාජවෙල වගුරු බිම් සීමාව තුළ කඩොලාන ශාක විශේෂ 29ක් සොයා ගෙන ඇත. සර්ප විශේෂ 22ක්, සමනලුන් විශේෂ 67ක්, කූරන් විශේෂ 34 ක්ද මෙම අභය භූමියෙන් වාර්තා වී ඇත. 

මුතුරාජවෙල අභය භූමියට අයත් මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 1285ක් වන අතර මෙම ඉඩම් ප්‍රමාණයෙන් කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන ඉඩම්වලින් හෙක්ටයාර 543ක් ගෙවතු වේ. පොල් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 430 කි. හෙක්ටයාර 6 ක ප්‍රමාණයක් තණ බිම් සඳහා වෙන්ව ඇත. ඉස්සන්, කකුළුවන් හා මසුන් වැනි ආර්ථික වශයෙන් ඉහළ අගයක් ඇති ජීවීන් සඳහා පරිසර පද්ධති නිර්මිතව පවතින මෙම කලපුවේ ජීවීන්ට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය අඛණ්ඩව ලැබේ. ගං වතුර අවම කිරීම සඳහා ද මැදිහත් වන මෙම වගුරු බිම දෙලක්ෂයකට වැඩි ජනතාවකගේ නාගරික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් බවටද පත්ව තිබේ.

එකී වටිනාකම් රැසකින් සමන්විත මුතුරාජවෙල පිළිබඳ එම පූර්විකාව සටහන් කළේ මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියේ අනාගත පැවැත්මට එරෙහිව මතුවෙමින් තිබෙන බරපතළ තත්ත්වයක් පිළිබඳ අනාවරණය කරන්නටය. ඉකුත් නොවැම්බර් මස 29 වැනිදා සිළුමිණ පුවත්පතින්ද අප මේ පිළිබඳ අනාවරණය කළෙමු.

පසුගිය 7 වැනිදා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ අවධාරණය කළේ මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිතව සිදුකරන්නට යන සංවර්ධන වැඩපිළිවෙළක් හේතුවෙන් එම තෙත්බිමේ පැවැත්මට විශාල තර්ජනයක් මතුව ඇති බවයි.

“රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ ධූර කාලයේ පැවැති රජය මුතුරාජවෙල දකුණු ප්‍රදේශයේ හැඳල නගරයට නුදුරු අක්කර 400ක පමණ භූමිභාගයක් මනුෂ්‍ය භාවිතය සඳහා මුහුදු වැලි මඟින් පුරවා සංවර්ධනය කරන්නට තීරණය කරනු ලැබුවා.ඒ සම්බන්ධයෙන් මාද පෞද්ගලිකව විරුද්ධත්වය ප්‍රකාශ කළත් එවකට පැවති රජය එම ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කළා. එයින් මුතුරාජවෙල රක්ෂිතයේ භූමි ප්‍රමාණය සෑහෙන දුරට අඩුවුණා. ඒ එක් සිදුවීමක් පමණයි. ඊට පෙර සහ පසු විවිධ දේශපාලඥයන්ගේ ක්‍රියාකාරීත්වය තුළ ප්‍රදේශය පුරාම වගුරු බිම් ගොඩකරමින් ජනාවාස බිහිවුණා. 1996 ඔක්තෝබර් 31 වැනි දින පළ කරන ලද 947/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මීගමුව කළපුවට දකුණින් පිහිටි පැරණි ඕලන්ද ඇළ හා හැමිල්ටන් ඇළ අතර වන ඉතිරි ප්‍රදේශය සංරක්ෂණ කලාපයක් ලෙස පිළිගනු ලැබුවා. ඒ අනුව එම ප්‍රදේශයේ සත්ත්ව සහ අනෙකුත් ශාක ආරක්ෂා කරගැනීමට විශේෂ කලාපයක් නිර්මාණය කරන ලද බව පැහැදිලියි. නමුත් 2006 ඔක්තෝබර් මස නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයකින් එවකට සිටි පරිසර අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන විසින් ඉහත සඳහන් කළ සංරක්ෂිත භූමිභාගය ඇතැම් කරුණු සඳහා භාවිත කළ හැකි බවට ප්‍රකාශ කළා. එම දැනුම් දීම තුළ ගොල්ෆ් ක්‍රීඩාවට අවශ්‍ය භූමි, හෝටල්, ආපන ශාලා, රැස්වීම් ශාලා, උද්‍යාන, අධ්‍යයන මධ්‍යස්ථාන, සංචාරක නිකේතන ආදී වශයෙන් සංවර්ධනය කරන්නට හැකි බව ප්‍රකාශයට පත්කර තිබුණා. මේ සඳහා පරිසර හිතකාමී වචන සූක්ෂම ලෙස යොදාගත්තද ඇත්තෙන්ම මේ ගැසට් පත්‍රය මුතුරාජවෙල ආර්ථික සංවර්ධන කලාපයක් බවට පත්කර විනාශ කිරීමට ඉඩකඩ සලසා දී තිබුණා.

මෑතක් වන තුරු මේ මුළු ප්‍රදේශයම රජයේ සංරක්ෂණ ජෛව හිතෛෂී ප්‍රදේශයක් ලෙස ආරක්ෂා වී තිබුණා. එය රජය සතු භූමියක්. ඔප්පු තියෙනවා කියන ඒවා බොහොමයක් බලහත්කාරයෙන් අල්ලා ගත් රජයේ ඉඩම්වලට පසුව සකස් කරන ලද ඔප්පු බව පැහැදිලියි. පසුගිය දිනවල මේ ප්‍රදේශය වටා සවිකර තිබුණු එය වනජීවී කලාපයක් බව දැනුම් දෙන නාම පුවරු ඉවත් කර “පෞද්ගලික සමාගමක් සතු දේපළක්ය” යනුවෙන් සඳහන් නාම පුවරු ප්‍රදේශය පුරාම සවිකර තිබෙනවා. මෙය ඉඩම් කොල්ලයක් බව අපේ හැඟීමයි. එම පෞද්ගලික සමාගමට අක්කර හත් අටසීයක් පමණ විශාල මෙම සංරක්ෂිත කලාපය පවරන්නට කටයුතු කළේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක්. මෙහිදී ගම්පහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ගෙන ගිය වැඩපිළිවෙළ අපි හෙළා දකිනවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මුතුරාජවෙල තෙත්බිම පද්ධතියේ ක්‍රියාත්මක කිරීමට යන එම සංවර්ධන ව්‍යාපෘතිය වහාම අත්හිටුවන ලෙස. එයින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ගංවතුර තර්ජනය ඇතුළු ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවනවා. මේ ආශ්‍රිතව දෙව්මැදුරු කිහිපයක්ද පිහිටා තිබෙනවා. මෙහි ජීවත්වන අපගේ ජනතාවගේ ජන ජීවිතයද එයින් අනතුරට පත්වනවා. දූෂිත නිලධාරින්ට රටේ සම්පත් මේ ආකාරයෙන් විකිණීමට ඉඩ දිය නොහැකියි. මෙම පරිසර විනාශය නතර කරන්නට වහාම පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ගෙන්, රජයේ නිලධාරීන්ගෙන් සහ දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටිනවා. ” 

පාහියංගල ආනන්දසාගර හිමියන් මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ යෝජිත එම සංවර්ධන ව්‍යාපෘතිය තුළින් සිදුවන්නට යන විනාශයට එරෙහිව ජනතාව අවදියෙන් කටයුතු කළ බවයි. පරිසරයට අහිතකර සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව එම ප්‍රදේශයේ අනවසර ගොවිපළවල්, අනවසර පදිංචිකිරීම් මෙන්ම හොර මත්පැන් ජාවාරම් ඇතුළු අක්‍රමිකතා රැසක් සිදුවන බවද උන්වහන්සේ පැවසූහ. මුතුරාජවෙලට සිදුවන විනාශය සම්බන්ධයෙන් කාලයක සිට දිගින් දිගටම හඬ නඟන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ ද මෙහිදී අදහස් දැක්වීය.

“ඉහත කී පරිසර ප්‍රශ්න රාශියක් මුතුරාජවෙල ආශ්‍රිතව හට ගත්තද වනජීවි අධිකාරියට එය ආරක්ෂා කරන්නට නොහැකි වීම කනගාටුවට කරුණක්. මෙවැනි වටිනා සම්පතක් ආරක්ෂා කිරීමට වගකීමක් ඇති බලය ලත් ආයතන පවා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ප්‍රශ්නයක්. මුතුරාජවෙල සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා නඩු ගොනුකර තිබූ අතර එයින් මෙම ඉඩම් ගොඩ කිරීම වැළැක්වීමේ තීන්දු පවා ලබා දුන්නද තවමත් මෙවැනි වංචනික ක්‍රියා සිදු වීම පුදුමයට කරුණක්.

මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ සාමාජික දිනූෂ නානායක්කාරද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය. “මේ ප්‍රදේශයේ විවිධ මාෆියා ක්‍රියාත්මක වුණා. සමහර ඉඩම් පුද්ගලික පිරිස් අයිති කර ගත්තා. මේ විදියට පදිංචි අය පසුව ටිකෙන් ටික තමන්ගේ බිම් ප්‍රමාණය වැඩි කර ගත්තා. විවිධ දේ වගා කර ඉඩම් ප්‍රමාණය වැඩි කර ගත්තා. එක්තරා පෞද්ගලික සමාගමක් ඇවිත් මේ භූමියේ ඉඩම් එකතු කර ගනිමින් එය අක්කර 1000ක් දක්වා වැඩිකර ගත්තා. නමුත් මේ ඉඩම් රජයේ ඉඩම්. මේවා විශාල ලෙස මංකොල්ල කෑවා. මීතොටමුල්ල කුණු කන්ද නාය යද්දිත් මේ අය රජය නොමඟ යැව්වා. කුණු දාන්න තැනක් නැති වූ පසු මේ කුණු මුතුරාජවෙලට දැම්මා. මේ නිසා පාරිසරි හානිය විශාල වශයෙන් ඇතිවුණා. Eco – Tourism වැනි නම් යොදාගනිමින් සංවර්ධන ව්‍යාපෘති හරහා මුතුරාජවෙල විවිධ දේවල් සිදු කළා. දැන් මීගමු කළපුව වටේම කරවල වාඩි, හෝටල්, වැසිකිලි පද්ධති පිරිලා. බෝට්ටුවල අපජලය, ජාඇළ කටුනායක වැනි ප්‍රදේශවල අපද්‍රව්‍ය එකතු වෙන්නෙත් කළපුවට. මේ නිසා මීගමු කළපු මාළු පවා දැන් නුසුදුසු වේගෙන යනවා. මෙය ජන ජීවිතයට පවා ඉතා අහිතකර තත්ත්වයක්.”

අගදරගුරු හිමියන් මෙන්ම පරිසරවේදීන්ද මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ යෝජිත එම සංවර්ධන ව්‍යාපෘතිය වහාම නවත්වන්නට කටයුතු කළ යුතු බවයි. ඉවත් කරන ලද සංරක්ෂණ කලාපය පෙන්නුම් කරන ලද නාම පුවරු නැවත ස්ථාපිත කළ යුතු බවත් එම ප්‍රදේශය තුළ ජනතාවගේ කැමැත්තට විරුද්ධ ව්‍යාපෘති සිදුකිරීම වහාම නතර කළ යුතු බවත් ඔවුහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

“මුතුරාජවෙල පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් අප අඛණ්ඩව පෙනී සිටිනවා. කිසිවකුට රටේ පරිසරය සහ පරිසර සම්පත් විනාශ කිරීමට ඉඩදිය නොහැකියි” යනුවෙන් එහිදී අගදරගුරු හිමියෝ අවධාරණය කළහ.

Comments