මුදලට බැඳි අනියම් පෙම | Page 2 | සිළුමිණ

මුදලට බැඳි අනියම් පෙම

ශ්‍රීක ගොවි ජනපදයක අසම්මත පෙම් පුවතකට තිත තැබීමට දැරූ උත්සාහයක් අවසානයේ රිය අනතුරක් සිදුකර ඝාතන සැලැස්මක් පිළිබඳ පුවතක් පසුගියදා වාර්තා වූයේ පදවිය ප්‍රදේශයෙනි.

වසර කිහිපයක් පැවති අනියම් පෙම පිළිබඳව කලකිරී සත්‍ය වටහා ගෙන තම දරුපවුල සමඟ සමගියෙන් දිවිගෙවීමට තැත් කළ කාන්තාවක් සමඟ උරණ වූ සැකකාර පෙම්වතකු විසින් රිය අනතුරක් සිදුකර ඝාතනය කර පළා යෑමට උත්සාහ දැරුවද නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් සිදුවීමට ගිය මනුෂ්‍ය ඝාතනයක් වැළැක්වීමට හැකිවිය.

පදවිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාරසිරිට ලැබුණු දුරකථන ඇමතුමකින් සඳහන් වූයේ බෝගස්හන්දියේ කැබ් රථයක් යතුරුපැදියක ගමන් කළ කාන්තාවක් ඇතුළු දෙදෙනකු හප්පා පළා ගිය බවය. ලැබුණු තොරතුර අනුව වහාම ක්‍රියාත්මක වූ ඔහු සිදු කළ හදිසි මෙහෙයුමකින් කැබ් රථය හා රියදුරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පදවිය පොලිසියට රැගෙන යෑමෙන් පසුව සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වූයේ තහනම් ගහේ ගෙඩිකා අවසානයේ වෛරී පළිගැනීමේ සිදුවීමක්ය.

පදවිය බී යායේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ බිමල් කසුන් රත්නායක වෘත්තියෙන් රියදුරෙකි. 

සිය වෘත්තිය කරන අතරතුර ඔහුගේ සිත එක්තරා කාන්තාවක් කෙරේ සිත් ඇඳබැඳ ගත්තේ ඇය සතුව ඇති විශාල මුදල් සම්භාරය පිළිබඳව ඊව වැටීමෙනි.

ඇගේ සැමියා හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ලැබුණු විශාල රක්ෂණ වන්දි මුදල හා ගුරුවරියක් වශයෙන් මාසිකව ලැබෙන වැටුපට ඇති ලෝභය නිසාම ඇය හා අනියම්ව ඇසුරක් පවත්වා ගැනීමට ඔහුගේ එකම අභිප්‍රාය විය.

ඇය පදවිය ප්‍රදේශයේ පාසැල් ගුරුවරියක් වන අතර මොවුන් දෙදෙනාගේ අනියම් පෙම දිනෙන් දිනම මෝරන්නට වීමත් සමඟ මේ සම්බන්ධය දෙපාර්ශ්වයේම නෑදෑයන් හට අනාවරණය වීමට වැඩි කාලයක් ගියේ නැත. අනියම් පෙම්වතියගේ පිහිටෙන් බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් මිලදී ගන්නා ඔහු එමඟින් දෛනිකව සිදුකරන කුලියට බඩු බහිරාදිය ප්‍රවාහනය කිරීමෙන් ඔහුගේ ආදායමද යම් ප්‍රමාණයකට ඉහළ ගියේය.

මේ අතර පාසැල් ගුරුවරියගේ පාර්ශ්වයෙන් මීට දැඩි විරෝධයක් එල්ලවීමත් සමඟ ඇයට මෙම අනියම් සම්බන්ධය දැඩි හිසරදයක් මෙන්ම තම පවුල් සංස්ථාව දෙදරා යන බවට පසක්වීමත් සමඟ වසර දෙකකට ආසන්න කාලයක් පැවති අනියම් සම්බන්ධය නවත්වා දැමීමට ඇය තීරණය කළේය.

මින් උරණ වූ ඇගේ අනියම් පෙම්වතා අවස්ථා කිහිපයකදීම ඇයව මුණගැසීමට උත්සාහ දැරුවද එම සියලු උත්සාහ ව්‍යර්ථ වීමත් සමඟ ඔහුගේ සිත යක්ෂාවේශ විය.

ආලය වෙනුවට පළිගැනීමේ චේතනාව ඔහුගේ මනස හා නිරන්තරවම ගැටෙන්නට වීමත් සමඟ ඇයගෙන් පළිගැනීමට ක්‍රමයක් ඔහු සොයමින් සිටියේය. ඒ සඳහා ඔහුට නියමිත වේලාව එනතෙක් වෛරී සිතුවිලි පොදි බැද කල්මැරීය.

මේ සඳහා ඔහුගේ එකම සැලසුම වූයේ අනියම් පෙම්වතිය කෙසේ හෝ ඝාතනය කර ඇගෙන් පළිගැනීමටය.

ඉකුත් දිනෙක මෙම පාසැල් ගුරුවරිය තම දියණිය උපකාරක පන්තියකට සහභාගී වී ඇය රැගෙන යතුරු පැදියෙන් ගමන්කරන අතරතුර පදවිය බෝගස්හන්දියට නුදුරු ස්ථානයකදී අසම්මත පෙම්වතා පදවාගෙන ආ කැබ්රිය අධික වේගයෙන් පැමිණ යතුරුපැදියේ හප්පා පළා ගියේ අසුරු සැණින්ය.

මින් යතුරුපැදියේ ගමන් කළ පාසැල් ගුරුවරිය ඇගේ දියණිය හා සොයුරියගේ දිවි බේරුණේ පූරුවේ වාසනාවකටය.අනතුර සිදුකර පළාගියද ඔහුට නීතියෙන් පළා යෑමට නොහැකි විය.

රිය අනතුරක් සිදුකර පළා යෑම සම්බන්ධයෙන් පදවිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිසිර කුමාර ඇතුළු කණ්ඩායමක් අනතුර සිදුවී හෝරා කිහිපයක් ගතවත්ම සැකකරු සමඟ කැබ්රථය පොලිස් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

අනතුරින් තුවාල ලැබූ ගුරුවරිය ඇතුළු ඉතිරි දෙදෙනා රෝහල් ගතකිරීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනයේදී හෙළිවූයේ අසම්මත පෙමට තිත තැබීම හේතුවෙන් චේතාන්විතව මෙම අනතුර සිදුකර ඇති බවය.

සැකකරු සමඟ කැබ්රථය කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණද අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු එදිනම රිමාන්ඩ් ගතකරනු ලැබීය.

පසුව දෙවන වරටත් පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ රංග සුජීව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ තම සේවාදායකයා හිතාමතා මෙම අනතුර සිදු නොකළ බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඔහුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි පදවිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ සැකකරු රිය අනතුරක් සිදුකර පළා යෑම හා චේතාන්විතවම පැමිණිලි පාර්ශ්වයට මාරාන්තික අනතුරක් සිදු කිරීමට තැත්කර ඇති බවට සාක්ෂි හෙළිවී ඇති බවය.

මෙදිනද සැකකරුට ඇප ලබා ගැනීමට නොහැකිව නැවත බන්ධනාගාර ගතවීමට සිදුවූ අතර ඉකුත් දින කිහිපයකට පෙර පැමිණිල්ල නැවත කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් දැඩි කොන්දේසි සහිතව සැකකරුට ඇප ලබාදෙමින් තරයේ අවවාද කරමින් පවසා සිටියේ සෑම සති දෙකකට වරක් පදවිය පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසත් මෙම පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට යම් බලපෑමක් සිදු කළහොත් ඇප කොන්දේසි අවලංගු කර නැවත බන්ධනාගාර ගතකරන බවය.

රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත සැකකරු නිදහස් වූ අතර තහනම් ගහේ ගෙඩිකන්නට ගොස් බන්ධනාගාරයෙන් අවසන් වූ අසම්මතයේ පෙම් පුවතක එක් පරිච්ඡේදයක් මෙසේ නිමා විය. පදවිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාරසිරිගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිසිර කුමාරගේ ප්‍රධානත්වයෙන් සැරයන් විජේරත්න, පොලිස් කොස්තාපල් (69042), රුවන් කරුණාදාස යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළහ.

Comments