මෙහෙයුම් කල්බදු වලින් මඩි තරකරගත් සැප වාහන මගඩිය | සිළුමිණ

මෙහෙයුම් කල්බදු වලින් මඩි තරකරගත් සැප වාහන මගඩිය

කොස්ගම සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරීමෙන් පසු මැති ඇමැතිවරන්ට අලුතින් වාහන ගෙන්වීම නැවැත්වීමට එදා අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහයන් කටයුතු කිරීම ගැන ජනතා පැසසුම් ලැබුණි. එහෙත් ඒ ජනතා ප්‍රසාදය වැඩි කලක් පැවතුණේ නැත. වැඩිකල් නොගොස් ජාතික ධනය විනාශ වන සේ ලීසිං ණය පහසුකම් හරහා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සැප වාහන ලබා ගත හැකි ආකාරයේ චක්‍රලේඛයක් කරළියට ආවේය.

එය මහජන මුදල් ඉතිරි කරමින් සිදු කරන්නා වූ ක්‍රියාවලියක් බව පැවසුවද ඒ දෙස විමසිලිමත්ව බැලූවිට පෙනී ගියේ එය මහජන මුදල් කාබාසිනියා කළ මහා අපරාධයක් බවයි.

යහපාලන ආණ්ඩුව තම දේශපාලන ගමන් මඟ ආරම්භ කළ 2015 වකවානුවේ පෙන්නුම් කළ ජනතා හිතවාදී බව පුස්සක් බව 2016 වසරේ සිට ජනතාවට පැහැදිලි වූයේ කොකාගේ සුද ඉගිළෙන විට පෙනෙන්නා සේය.

විශේෂයෙන්ම ජනතා හිතවාදීව ජනතාවට කරදරයක් විපතක් වූ අවස්ථාවකදී මැතිඇමැතිවරුන්ට වාහන ගෙන්වීම පවා නැවැත්වීමට පියවර ගනු ලබන බවට පෙන්නුම් කළද එම ආණ්ඩුව විසින් රුපියල් ලක්ෂ 28,000කට අධික අධි සුඛෝපභෝගී වාහන 78ක් ගෙන්වන ලදී. එයින් වැඩිවාහන සංඛ්‍යාවක් ගෙන්වන ලද්දේ 2016 - 2017 වකවානුවේ කටයුතු කළ අමාත්‍යවරුන් වෙතය.

ඒ අනුව එකල යහපාලන ඇමැතිවරුන් වෙනුවෙන් රුපියල් මිලියන 1650ක පමණ වාහන ගෙන්වා ඇත. එමෙන්ම රාජ්‍ය ඇමැතිවරුන් වෙත රුපියල් මිලියන මිලියන 652 ක් වටිනා වාහනද නියෝජ්‍ය ඇමැතිවරුන් වෙත රුපියල් මිලියන 564ක් වටිනා වාහනද ගෙන්වා තිබේ.

අධි සුඛෝපභෝගී වර්ගයන්ට අයත් වාහනවලද සුපිරි පැළැන්තියේම වාහන මේ අනුව ගෙන්වා තිබේ. විශේෂයෙන්ම රේන්ජ් රෝවර්, ලෑන්ඩ් කෘෘෂර්, අවුඩි, බී.එම්. ඩබ්ලිව් වැනි වාහන මෙසේ ආනයනය කර තිබේ. මේ එක් වාහනයක් රුපියල් ලක්ෂ 350ත් 450ත් අතර අධික වූ මිල ගණන් වූ වාහනය.

එයින් වැඩිම වාහන සංඛ්‍යාවක් ගෙන්වා ඇත්තේ එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේනයන්ට අයත්ව තිබූ ආරක්ෂක අමාත්‍යාංශයට වන අතර එහිදී රුපියල් ලක්ෂ 3,289ක් වටිනා වාහන 9ක් ආනයනය කර ඇත්තේ වෙඩි නොවදින සුපිරි වාහන 2ක්ද සමඟිනි.

ඊට අමතරව ජනාධිපති ධුර කාලය අවසන් වූ 2019 වසරේද අධිආරක්ෂිත වාහන ඇතුළු වාහන 3ක් ගෙන්වා තිබීම ගැනද මේ වන විට තොරතුරු හෙළි ව තිබේ. ඊට අමතරව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට අයත්ව තිබූ අමාත්‍යාංශ හා කාර්ය සාධන බළකායන් වෙත රුපියල් ලක්ෂ 1,136ක වියදමින් නවීන රථ 4ක් ගෙන්වා තිබේ.

මෙහි හොඳම හෙළිදරව්ව කරන ලද්දේ එවකට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ නිමල් බෝපගේ විසිනි. මේ කතාව කරළියේ දිග හැරෙද්දී ඔහු නිවේදනයක් නිකුත් කෙළේය. එහි සඳහන් වූයේ 2016 වසරේදී යහපාලන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 58 දෙනකුට අධි සුඛෝපභෝගී වාහන 58ක් පෞද්ගලික සමාගමකින් මාසික කුලී පදනම යටතේ ලබා ගැනීමට රුපියල් මිලියන 2,430 කැබිනට් මණ්ඩලය අනුමත කරවා ගෙන තිබූ බවත් එම ගිවිසුමට අත්සන් කිරීම තමන් ප්‍රතික්ෂේප කළ නිසා අගමැතිවරයගේ සහ එවකට මුදල් අමාත්‍යවරයාගෙන් තමන්ට දැඩි පීඩනාත්මක බලපෑම් වූ බවයි. පසුව අගමැතිවරයා යටතේ තිබූ ආර්ථික හා කළමනාකරණ කමිටුවට ගෙන්වා අත්සන් කළ යුතු ලිපිය පෙන්වා SIGN or RESIGN යනුවෙන් තමාට දැඩි පීඩනාත්මක බලපෑමක් ප්‍රසිද්ධියේ එල්ල කළ බවද ඔහු එම නිවේදනයේ දක්වා තිබුණි. යහපාලනයේ මේ නිරුවත පෙන්වූ මන්ත්‍රීවරුන්ට මෙන්ම අනෙකුත් සගයන්ට සුපිරි වාහන කුලී පදනම මත ලබා ගැනීම එයින් නිමා නොවීය. ඒ 2016 මාර්තු 17 දිනැතිව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාව සිටි ආර්. එස්. එච්. සමරතුංගගේ අත්සනින් සියලු රාජ්‍ය ආයතන වෙත නිකුත් කරන ලද අංක 01/2016 ජාතික අයවැය චක්‍රලේඛය හරහාය. ඒ හරහා රාජ්‍ය ආයතනවලට උපදෙස් ලබා දී ඇත්තේ අවශ්‍ය වාහන, මිලදී ගැනීමට වඩා මෙහෙයුම් කල්බදු ක්‍රමයට ලබා ගැනීම වඩා ප්‍රතිඵලදායක බැවින් අදාළ චක්‍රලේඛය අනුව ක්‍රියාකරමින් අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වාහන කල්බදු හෙවත් ලීසිං ක්‍රමයට ලබාගන්නා ලෙසයි.

යහපාලන රජය ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුකූලව මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ 2016.03.04 දිනැති MF/TIP/03/CM/2016/31 අමාත්‍ය මණ්ඩල සන්දේශයට අනුමැතිය හිමිවී තිබුණි.

රජයේ මුදල් එකවර වැය නොකර ජනතා හිතවාදී කටයුතුවලට යොදවන බව පෙන්වා තිබුණද අවසානයේ රජයට අතිවිශාල පාඩුවක් ඒ හරහා සිදුව ඇති බවට විමර්ශනයන්හිදී හෙළිව තිබේ.

කැබිනට් අනුමැතියට අනුව මෙහෙයුම් කල්බදු ක්‍රමයට මිලදී ගත හැකි යැයි දැක්වෙන්නේ මෝටර් රථ, වෑන් සහ ඩබල් කැබ් වන අතර ඒවායේ එම රථවල එන්ජින් ධාරිතාව, ගියර් පද්ධතිය( ස්වයංක්‍රීය/ සාමාන්‍ය/ ස්වයංක්‍රීය- සාමාන්‍ය (ට්‍රිප්ටොනික්) මත මිල ගණන් දක්වා තිබේ.

මිලදී ගනු ලබන එක් වාහනයක් සඳහා ගෙවිය යුතු මිල ගණන් පිළිබඳවද උපදෙස් ලබා දී තිබේ. එම මිල ගණන් දක්වා ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට පහළම වාහන භාවිත කරන නිලධාරියා දක්වාය. ආසන්න වශයෙන් මිලදී ගැනීමේදී මාසිකව ගෙවිය යුතු මුදල රුපියල් එක්ලක්ෂ දසදහසේ (110,000/-) සිට තුන් ලක්ෂ පන්දහස (305,000/-) දක්වා වේ. මේ වන විට දැනගන්නට ලැබී ඇති තොරතුරුවලට අනුව රාජ්‍ය ආයතන 65ත් 67ත් අතර සංඛ්‍යාවකට එසේ වාහන 350ක් මෙහෙයුම් කල්බදු ක්‍රමයෙන් ලබාගෙන තිබේ. ඒ අනුව මධ්‍යස්ථයක් ලෙස මේ එක් වාහනයක් සඳහා රුපියල් ලක්ෂ දෙකක් වැය කරන්නේ නම් මසකට රුපියල් ලක්ෂ 700ක්ද, වසරකට රුපියල් ලක්ෂ 8,400ක්ද, වසර පහක් අවසානයේ රුපියල් ලක්ෂ 42,000ක්ද කල්බදු ගෙවීම සඳහා ගෙවා ඇත. එය කෝටි 420ක් හෙවත් බිලියන 4.2කි. අධිවේගී මාර්ගයක කොටසක් තැනිය හැකි මුදලකි.

ජනතාව වෙනුවෙන් හා සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් වෙන් කරන නිසා වාහන මෙසේ කල්බදු ක්‍රමයට මිලදී ගන්නට කැබිනට් අනුමැතිය ලබා දී ඇතත් එහි සැබෑ තත්වය එය නොවන බව ක්‍රමයෙන් හෙළි විය. එසේ හෙළිව ඇත්තේ මේ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය දෙස බැලීමෙනි.

චක්‍රලේඛයේ මාතෘකාව යොදා ඇත්තේ කල්බදු ක්‍රමයට වාහන මිලදී ගැනීම වුවත් මෙහිදී සිදුවන්නේ අදාළ ආයතනය ලීසිං කොම්පැනියක් වෙත ගොස් තමන්ට වුවමනා වාහන කල්බදු ක්‍රමයට ඍජුව මිලට ගැනීම නොවේ.

ඒ අනුව වාහන ලබා ගත යුත්තේ තුන්වන පාර්ශ්වයක් හරහාය. රජයට වාහන මිලදී ගත්තත්, මෙහෙයුම් කල්බදු ක්‍රමයට ලබා ගත්තත්, මාසික කුලී පදනම මත රියැදුරු සහිතව හෝ රහිතව ලබා ගත්තත් ඒ සියල්ල සිදු කරන්නේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටි අනුගමනය කර නිසි පිරිවිතරයන්ට අනුව අඩුම ටෙන්ඩරය ලබා දෙන ආයතනය සමඟිනි. වාහන වෙන්දේසියකදී හැර වෙනත් කිසිදු අවස්ථාවක තුන්වන පාර්ශ්වයක සහාය හෝ ඔවුන් හරහා එවැනි මිලදී ගැනීමක් සිදු නොවන අතර එය බලවත් මූල්‍ය වංචාවකි.

එසේම අදාළ චක්‍ර ලේඛය එවා ඇත්තේ රජයේ මුදල් ඉතිරිය සඳහා බව පවසමින් වුවත් එහිම දක්වා ඇත්තේ ගිලන් රථ, බැකෝ හා ඩෝසර් යන්ත්‍ර හා ගලි බවුසර්, ලොරි, ට්‍රැක්ටර්, ඉඩම් වාහන හා යතුරුපැදි වැනි වාහන මේ මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගැනීමට අවශ්‍ය නොවන බවයි.

කිසිවකුට වසර පහක් සඳහා ආණ්ඩුවට ගලි බවුසරයක් බදු කුලියට ලබා දී නැවත එය තමාගේ කරගැනීමේ වුවමනාවක් නැත. එකවර වාහන මිලට ගැනීමට මුදල් නැති යහපාලන ආණ්ඩුවට ඒවා මිලට ගැනීමට මුදල් ලැබුණේ කෙසේද යන්න ගැටලුවකි. චක්‍රලේඛයෙන් පසු අදාළ වාහන ලබා ගත යුතු සැපයුම්කරුවන් පිළිබඳ දන්වා එවීමෙන් පැහැදිලි වන්නේ එය තම මිතුරන්ගේ මඩිය තර කරන්නට ගත් වෑයමක් බවයි.

ඕනෑම වාහනයක් ක්‍රමයෙන් ක්ෂය වන අතර එම ක්ෂය ගණනය කර අවසානයේ ගර්භිග වාහන ලෙස වෙන්දේසි කර හෝ ටෙන්ඩර් ක්‍රමයෙන් අලෙවි කරන්නේ රාජ්‍ය ආයතනයකට එවැනි වාහන නඩත්තුවට වඩා නව වාහනයක් මිලදී ගැනීම වඩාත් වාසිදායක වන හෙයිනි.

එහෙත් මෙතැනදී සිදුව ඇත්තේ එවැන්නක් නොවන බව දැන් පැහැදිලිය. එවකට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ නිමල් බෝපගේ විසින් පෙන්වා දී ඇති පරිදි 2016 වසරේදී සිටම මේ වාහන මුදල් අවභාවිතය සිදුව තිබේ.

මහා භාණ්ඩාගාර ලේකම් වරයා විසින් නිකුත් කරන ලද අදාළ චක්‍රලේඛයද ගැටලු සහගතය. එහි ‘රාජ්‍ය ආයතනවලට වාහන මිලදී ගැනීම‘ යනුවෙන් සඳහන් වීම නිවැරැදි නොවේ. ‘‘මෙහෙයුම් කල් බදු ක්‍රමය‘‘ යනු මිලදී ගැනීමක් නොවේ. එහි හිමිකාරිත්වය - පරම අයිතිය අදාළ සමාගම හෝ ආයතනයටය. වාහනයක් මිලදී ගන්නේ නම් එහි අයිතිය අදාළ රාජ්‍ය ආයතනයටය. එහිදී අදාළ රාජ්‍ය ආයතනයේ වියදම් ඔස්සේ එම වියදම් ප්‍රතිපූරණය වෙයි. එහෙත් මේ මිතුරු සංග්‍රහ ක්‍රමයේදී සිදුව ඇත්තේ වෙනමම කතාවක් බව මෙයින් පැහැදිලිය. ‘මට රූපවාහිනියක් මිලට ගැන්මට අවශ්‍ය වූ විට කරන්නට සිදුව ඇත්තේ මගේ ප්‍රධානියා විසින් නියම කරන තැනකට ගොස් ඔහුට අවශ්‍ය පරිදි එය මිලට ගැනීමට හෝ එය කුලී සින්නක්කර හෝ මෙහෙයුම් කල්බදු හෝ ලීසිං ක්‍රමය යටතේ ලබා ගැනීමටයි.‘

මෙය කෙතරම් සාධාරණද? එමෙන්ම දූෂණකාරී නොවන බවට පැවසිය හැක්කේ කාටද? මේ වාහන අවභාවිතය සාමාන්‍ය ක්‍රමයට සිදුවූවක් නොව රාජ්‍ය නිලධාරීන් හරහාම සිදුවූවකි. දැන් සියල්ල හෙළිව තිබේ.

සිල් සමාදන් වන ජනතාවට සිල් රෙදි ලබා දීම මහා පරිමාණ රාජ්‍ය මුදල් අවභාවිතයක් ලෙස සලකා නඩු අසා ජනාධිපති ලේකම්වරයා හිරේ යවන්නට සමත් වූ අපේ රටේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්ම නිවේදනයක් මඟින් තමන්ට එල්ල වූ පීඩනය හා බලපෑම ගැන පවසා සිටිද්දීත් මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් ලබා දුන් චක්‍රලේඛ එළිපිටම තිබියදීත් රටේ නීතිය අනුව මේ අවභාවිතයන්ට කුමක් කළ යුතු දැයි අපි බලා සිටිමු.

Comments