රට කැලඹූ සුමන හිමියන්ගේ පුනරාගමනය | සිළුමිණ

රට කැලඹූ සුමන හිමියන්ගේ පුනරාගමනය

2020 ජුනි 01 වැනිදා පූජ්‍ය ඌව­තැන්නේ සුමන හිමි­යන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවූ මොහොතේ නාහිමියන් බන්ධනාගාරයට ගියේ මෙසේය.

සිරකරුවන් කෙරෙහි මානුෂිකව සිතා බලමින් රැඳවියන් වැඩි ප්‍රමාණයකට දඬුවම් ලිහිල් කර නිදහස ලබාදීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් වැඩපිළිවෙළ නිසා බොහෝ බන්ධනාගාර රැඳවියන් පිරිසකට සෙත සැලසී ඇත.

ටී 56 ගිනි අවි දෙකක් ළඟ තබා ගැනීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙන්නේ ද මෙවන් පසුබිමකයි. උන්වහන්සේ මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ වූහ. සිර දඬුවම් ලැබීමේ වරද වූයේ 2010 ජනාධිපතිවරණයට ආසන්න දිනකදී එම විහාරස්ථානයේ ටී 56 ගිනි අවි දෙකක් ළඟ තබා ගැනීමේ චෝදනාවයි. ඒ සඳහා වරදකරු කරමින් 2020 ජුනි 01 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි උන්වහන්සේට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.

ඉහත කී චෝදනාව හැරුණු විට අත්බෝම්බ 50 ක් හා ජීව පතරොම් 210 ළඟ තබා ගැනීමේ චෝදනාවලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කෙරුණි. එහි දෙවෙනි විත්තිකරු වූයේ උන්වහන්සේගේ ශිෂ්‍යයකු වන පූජ්‍ය මාවෙලතැන්නේ සුමේධ හිමියන්ය. උන්වහන්සේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි.

අධිකරණ වාර්තාවලට අනුව මෙම සිද්ධියේ නඩු නිමිත්ත මෙසේය. 

දෙදහස් දහය වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී එනම් 2010 ජනවාරි 20 දින එම විහාරස්ථානය වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එහි සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක් ටී 56 ගිනි අවි දෙකක්, ජීව පතරොම් 210 ක්, අත් බෝම්බ 50 ක් සොයා ගැනීමට හැකිවූ අතර ඒ සම්බන්ධයෙන් විහාරාධිපති සුමන හිමියන්ට හා ශිෂ්‍ය සුමේධ හිමියන්ට විරුද්ධව නඩු පැවරුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේට අමතරව එම්.වී. රාජබාලන්, කේ. තමිල් චෙල්වම් හා සන්දහන් සුබ්‍රමනියම් යන තිදෙනාට එරෙහිවද අධිචෝදනා එල්ල වුවත් නඩු විභාගය අතරතුර මෙම විත්තිකරුවන් 2018.06.22 සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදී. මාවෙලතැන්නේ සුමේධ හිමියන් ද සියලු චෝදනාවලින් නිදහස් වූහ. මෙම නඩුව අධිකරණයේ වසර 10 ක් පුරාවටම දීර්ඝව විභාග කරන ලදී.

දෙවෙනි විත්තිකාර මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට විරුද්ධ චෝදනා පැමිණිලි පාර්ශ්වය විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නැති නිසා උන්වහන්සේව නිදොස් කොට නිදහස් කරන බව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු ආදිත්‍ය පටබැඳි දනුම් දෙන ලදී.

එසේම විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ව ද ජීව පතරොම් 210ක් හා අත්බෝම්බ 50 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේ පැමිණිල්ල එම චෝදනාව ද සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු නොකළ හෙයිනි. එහෙත් ටී 56 ගිනි අවි දෙකක් ළඟ තබාගත් බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ නිසා විනිසුරුවරයා ඌවතැන්නේ සුමන හිමියන්ට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය. උන්වහන්සේ වැඩවසන මාළිගාවත්ත බෝධිරාජාරාමය විහාරස්ථානයට එකී සිද්ධිය සිදුවූ දිනවලද අප ගොස් දායක දායිකාවන්ගෙන් තොරතුරු විමසූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පැවසුවේ උන්වහන්සේ යහපත් ජීවිතයක් ගත කළ බවයි. එසේම විහාරාධිපති හිමියන් නිදහස් කර ගැනීමට අභියාචනාධිකරණයේ පිහිට පතන බවත් පැවසූහ.

අවුරුදු 72 ක් වයසැති එම්.ඒ. කුසුමාවතී එම විහාරයේ ඉතිහාසය ගැනද හොඳින් දන්නා තැනැත්තියකි. මේ ඇගේ හඬයි.

“මෙතන ඉස්සර පන්සලක් තිබුණේ නෑ. ගෙවල් 2ක් තිබුණේ. කලින් නායක හාමුදුරුවරු දෙනමක් හිටියා. ඉන්පසු සුමන හාමුදුරුවන්ට නායකත්වය පැවරුණා. දායක පවුල් ගණනාවක් තියනවා. අදටත් ඒ අය පන්සලට යනවා එනවා. හාමුදුරුවෝ නිවැරදියි කියලා කියන්නේ. හැබැයි එහා පැත්තේ සමහර පිරිස් හාමුදුරුවෝ සමඟ තරහින් හිටියේ. අපේ පන්සලට අපේ හාමුදුරුවෝ නැත්නම් වැඩක් නෑ. මේක මුස්ලිම් ගමක් මැද්දේ තියන පන්සලක්. ඒත් කරදරයක් නැතුව හිටියා“

විහාරස්ථානය ආසන්නයේම ජීවත් වන ඒ.කේ. මොහොමඩ් ෂාරුක් (65) මහතා මුස්ලිම් ජාතිකයෙක් වුවත් සුමන හිමියන් ගැන කතා කළේ දැඩි ප්‍රසාදයෙනි.

“නායක හාමුදුරුවෝ කාටත් උදව්වක් මිසක කරදරයක් කරලා නැහැ. ජාති ආගම් භේදයකින් තොරව හැමටම උදව් කළා. ඒ නිසා පන්සලට ආව ගියේ සිංහල බෞද්ධ අය විතරක් නෙමෙයි; දෙමළ මුස්ලිම් අයත් පන්සලට ආවා ගියා. ඒ කාටත් හාමුදුරුවෝ එක විදිහටම සැලකුවා.“

විහාරස්ථානයේ දායිකාවන් වන එම්.එච්. ශාන්ති, වී.ජී. ධම්මිකා සහ නිලන්ති පුෂ්පකුමාරි යන අයද කියා සිටියේ සුමන හිමියන්ගේ හොඳමය.

පූජ්‍ය ඌවතැන්නේ සුමන හාමුදුරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් වූ පසු පසුගියදා මාලිගාවත්ත බෝධිරාජාරාමයට අප යන විටත් එම පළාත පැවතියේ කොරෝනා වසංගතය නිසා ලොක් ඩවුන් තත්ත්වයේය. ශිෂ්‍ය පූජ්‍ය මාවෙලතැන්නේ සුමේධ හිමියන් වැඩ සිටින්නේ වලල්ලාවිට සුවිශුද්ධාරාම විහාරස්ථානයේ වන අතර දැනට ස්වාමින් වහන්සේ සිවු නමක් මෙම විහාරස්ථානයේ වැඩ වසති. එහි නේවාසික හිමිනමක් වන පූජ්‍ය යටියන සද්ධාලෝක හිමියන් අප සමඟ මෙසේ පැවසූහ.

“නායක හාමුදුරුවෝ ලොකු සේවයක් කරපු කෙනෙක්. බෞද්ධ වගේම මුස්ලිම්, ද්‍රවිඩ හැම කෙනෙක් සමඟම උන්වහන්සේ හරිම සහයෝගයෙන් කටයුතු කළේ. පන්සලේ ශ්‍රමදානවලට මුස්ලිම් අයත් එනවා. පල්ලියේ කටයුතුවලටත් හාමුදුරුවෝ ආරාධානා ලැබුනාම වඩිනවා.

මේක දේශපාලන ප්‍රශ්නයක්. හාමුදුරුවන් වෙනුවෙන් අභියාචනා කරලා තිබුණේ අභියාචනාධිකරණයේ. පසුගිය කාලයේ අපිට මුස්ලිම් ද්‍රවිඩ අය පවා උදවු කළා; කඨින පින්කම පවා කළා.

ජනාධිපති සමාව සඳහා ඒ කාලෙම තමයි ඉල්ලුම් කරලා තිබුණේ. සතියක් දෙකක් යද්දි අපිට දැන්නුවා ජනාධිපතිතුමාට යොමු කරලා තියෙනවා කියලා. අපිට බොහොම සැහැල්ලුවක් දැනුණා ජනාධිපති සමාව ලැබුණා කියලා දැනගන්න ලැබුණාම. හාමුදුරුවන්ගේ අම්මා කෑවෙ නෑ සතුට වැඩිකමට. විහාරස්ථානය ලොකු අරාජික බවකට පත්වෙලා තිබුණේ. එවන් මොහොතක අනර්ඝ තීරණයක් ගත් ජනාධිපතිතුමාට පින් දෙනවා මේ ගැන. අභියාචනාධිකරණයේ ඇප ඉල්ලීම ඉවත්කර ගත්තාම හාමුදුරුවන්ට පන්සලට වැඩම කරන්න හැකියි.“

සුමන නායක හිමියන් බන්ධනාගාරගතවූ පසුව මා එම විහාරයට යන දිනයේත් උන්වහන්සේගේ අම්මා පන්සලේ සිටියත් ඈ පසුවූයේ හැඬූ කඳුළෙනි. මෙවර ඇය සිටියේ බොහෝ සතුටිනි. හාමුදුරුවන්ව නිදහස් කර ගැනීමේ කටයුත්තට මුල්තැන ගෙන කටයුතු කළේද උන්වහන්සේගේ අම්මා වන ඌවතැන්න හපුතලේ පදිංචි චන්ද්‍රලතා නිදන්ගොඩ (69) ය.

“හාමුදුරුවෝ මගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රරත්නයයි. මට තව දුවෙක් හා පුතෙක් ඉන්නවා. එයාලා විවාහ වෙලා. අවුරුදු 12 දි හාමුදුරුවෝ පැවිදි වුණේ එයාගේ කැමැත්තට ගමේ පන්සලේ. මේ විහාරස්ථානයේ එවකට විහාරාධිපති කොළඹ කළුතර දෙදිසාවේ උප අධිකරණ සංඝනායක පූජ්‍ය වලල්ලාවිට සද්ධානන්ද හාමුදුරුවෝ මගේ මහත්තයාගේ හිතවත් ස්වාමින් වහන්සේ නමක්. ඒ නිසා මෙම විහාරයට වැඩියා. අපේ හාමුදුරුවෝ බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් හුඟාක් වැඩ කළා. පොඩි හාමුදුරුවරු ටික ගැනයි වැඩියෙන්ම හිතුවේ. හාමුදුරුවන්ගේ තාත්තා නැති වුණේ හාමුදුරුවෝ පැවිදි වුණු අවුරුද්දේමයි. එයා එස්.එම්.ඩබ්.බී.එස්. නිදන්ගොඩ වෘත්තියෙන් රියදුරු උපදේශකවරයෙක්.“

හාමුදුරුවෝ බලන්න වැලිකඩ බන්ධනාගාරයට ගියාද කියලා මම ඒ අම්මගෙන් ඇසුවෙමි. 

“ඔව් දෙපාරක්ම ගියා. අපි දෙන්නම කතා කරනවට වැඩිය අඬනවා“ ඇගේ නෙතින් දැනුදු කඳුළු වැගිරෙයි.

“හාමුදුරුවන්ව නිදහස් කරගන්න අපි නීතිමය කටයුතු කරගෙන ගියා. බොහෝ අය අපට හුඟාක් උදව් කළා. හාමුදුරුවන්ට සමාව දීම ගැන ජනාධිපතිතුමාට, අගමැතිතුමාට අනේක වාරයක් පින් දෙනවා.“

මාලිගාවත්ත බෝධි රාජාරාමය සමීපයේ පදිංචි මුස්ලිම් ජාතිකයකු වන අන්වර් ස්මයිල් (සකාර් බායි - 63) සිළුමිණට මෙසේ පැවසීය.

“මම මේ පන්සලට යන්නේ එන්නේ 1953 ඉඳලා. ඒ කියන්නේ කලින් නායක හාමුදුරුවන්ගේ කාලේ ඉඳලා. ඒ හාමුදුරුවොත් හරි ගුණයහපත්. මේ හාමුදුරුවොත් හරි හොඳයි. අපිට හරිම ආදරෙයි. ජාතිභේද, ආගම් භේද නෑ. ඉස්සර කලබල කාලෙදිත් අපිව ආරක්ෂා කළේ හාමුදුරුවොයි. අපිට හාමුදුරුවෝ ඕනෑ. අපිට සල්ලි නෑ. අපි දුප්පත්. ඒ නිසා මුදලින් පන්සලට උදව් කරන්න බැරි වුණාට බුදු පිළිම සුද්ද කරනවා; අතුපතු ගානවා; ශ්‍රමයෙන් අපි උදව් කරනවා. මට හරි සතුටුයි හාමුදුරුවෝ නිදහස් වූ බව රූපවාහිනියෙන් දැක්කාම. පසුගිය කොරෝනා කාලේ අපිට කොච්චර කරදර වුණාද? මම හාමුදුරුවන්ව බලන්න පොලිසියට, ඉස්පිරිතාලෙට, උසාවියට, වැලිකඩට ගියා“ මුස්ලිම් වුවත් ඔහු හොඳින් සිංහල භාෂාව හසුරුවමින් පැවසීය.

බෝධි රාජාරාමයේ නේවාසික හිමිනමක් වන මුතුකණ්ඩියේ සුසීම හිමියන් ද මෙසේ පැවසූහ.

“නායක හාමුදුරුවෝ සමාජ සේවය කරපු කෙනෙක්. අම්පාර කුරුණෑගල දිස්ත්‍රික්කවල දුප්පත් දරුවන්ට උදව් කළා. හාමුදුරුවෝ තමයි එදා පටන්ම පන්සලේ හැම දෙයක්ම සොයා බැලුවේ. උන්වහන්සේ සිරගතවූ මුල්මාස දෙක තුළ අපි සෑහෙන අසීරුවට පත්වුණා. දායකයෝත් අසරණ වෙලා හිටියේ. දායකයෝ අපිට සැලකුවා. සමහර දාට අපිට දාන මාන නැතිවූ අවස්ථා පවා තිබුණා. පසුව ඛෙත්තාරාමයේ නායක හිමියන් හා අවට විහාරස්ථානවල හාමුදුරුවරු අපේ දුක - සැප බැලුවා. දායකයෝ අපිව අතහැරියේ නෑ. ආවා. ගියා. පුළුවන් විදිහට අපිට සැලකුවා. අපේ පන්සල අතුපතු ගාන්නෙත් මුස්ලිම් කෙනෙක්. නායක හාමුදුරුවෝ සිරගත කළත් උන්වහන්සේට රජය සලකලා තියනවා. උන්වහන්සේ රෝග ගණනාවකින් පෙළුන බව අපි අධිකරණයට දැන්නුවා වෛද්‍ය වාර්තා මගින්.’’

මීට මාස හතකට පෙර ගියවර අපි එහි යනවිට අරඹා තිබූ බුද්ධ මන්දිරය වැඩකටයුතු යම්තාක් දුරට සිදු කෙරෙමින් පවතිනු දක්නට ලැබුණි.

වෙසක්, පොසොන්, කඨින පින්කම් නැතිව වුවත් බෝධි රාජාරාමයට යන මඟ දෙපස බෞද්ධ කොඩි මඳ සුළඟේ දිදුලන්නේ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ගේ පුනරාගමනය නිසාය.

 සේයා රූ- නිශංකද සිල්වා

Comments