ලොව මවිත කළ මිරිස්සේ ‘කොකනට් හිල්’ අනූනවයෙන් බේරෙයි | සිළුමිණ

ලොව මවිත කළ මිරිස්සේ ‘කොකනට් හිල්’ අනූනවයෙන් බේරෙයි

කුණු වෙරළ තිරයේ පිහිටි මිරිස්ස වෙරළ තිරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුන්දර වෙරළ තිරයකි. වෙරළ තීරයට ඉහළින් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය ආසන්නයේ පොල්රුප්පාවකින් යුතු ‘තුඩුව‘ දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත ස්ථානයකි. කොකනට් හිල් නැමති නාමයෙන් හඳුන්වන මෙකී ස්ථානය නැරඹුම් මැදරියක් වශයෙන් දෙස් විදෙස් සංචාරකයෝ හඳුන්වති. වැලිගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බණ්ඩමුල්ල ග්‍රාම නිලධාරි වසමේ මෙකී සුන්දර ස්ථානය පිහිටා ඇත්තේය.

පසුගිය කාලයේ මිරිස්ස බණ්ඩරමුල්ල හා ඒ අවට ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වීම සඳහා මෙකී නැරඹුම් ස්ථානය දැඩි පිටුවහලක් විය. ලෝකයේ ඇති නැරඹුම් මධ්‍යස්ථාන අතුරින් මෙම ස්ථානය 10 වැනි ස්ථානයට පත්ව ඇති බවද කියති. දකුණු වෙරළ තිරයේ සංචාරයන් සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් මෙකී ස්ථානයට අනිවාර්යෙන්ම පැමිණෙති. එහි සිට ඡයාරූප ගැනීමට බොහෝ දෙනෙකුගේ පුරුද්දකි. සංචාරකයන්ට කොකනට් හිල් සිට ඡයාරූපයක් නොගතහොත් එය හිතට හරි නැත. ඒ විතරක් නොව ප්‍රී ෂූට් කරනු ලබන ඡයාරූප ශිල්පීන්ගෙන් ද මෙම ස්ථානය ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. කොටින්ම කිවහොත් මෙකී නැරඹුම් ස්ථානය අපේ රටේ රට්ටුන්ට වඩා විදේශිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ස්ථානයකි. පසුගිය කාලයේ බ්‍රිතාන්‍යයේ විදේශීය කණ්ඩායමක් මෙම ස්ථානයට පැමිණ වාර්තාමය වැඩ සටහනක්ද කරනු ලැබීය. මෙකී නැරඹුම් ස්ථානය විදේශිකයන් අතර ජනප්‍රියත්වයට පත්වීමට එය ප්‍රධාන හේතුවක් විය. 

සංචාරක මඟපෙන්වීම සඳහා ඇති පොත්වල ද මෙකී ස්ථානය ගැන සඳහන්ව ඇත්තේය. මිරිස්සට තල්මසුන් බැලීමට සර්පින් ක්‍රීඩාව සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් මෙකී නැරඹුම් ස්ථානයට පැමිණ ඡයාරූප ගෙන විවේක සුවයෙන් ටික වෙලාවක් ගතකිරීමට පුරුදුව සිටිති. කඳු ගැටයක් මත පිහිටි මෙකී ස්ථානය පුංචි හුම්මානය ලෙසද ඇතමුන් හඳුන්වති. මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් නිසා බණ්ඩරමුල්ල හා ඒ අවට ප්‍රදේශවල ජනතාවගේ අතමිට සරු විය. අවට ඇති සංචාරක හෝටල් අවන්හල් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරීගියහ. මේ ආසන්නයේ ඇති නිවෙස්වල ඉඩම් රථගාල් බවට පත්විය. ඒ තුළින් එම නිවෙස් හිමියන්ගේ අතමිට සරුවිය. මෙකී නැරඹුම් ස්ථානය නිසා තැඹිලි හා පලතුරු අලෙවිකරණ වෙළෙන්දාගේ සිට හෝටල් හිමියා දක්වා අතමිට සරු විය. බණ්ඩරමුල්ල ගම්මානයේ හා ඒ අවට ප්‍රදේශවල දහසකට අධික පිරිසක් මේ නිසා සෘජුව හා වක්‍රව යැපෙති.

නැරඹුම් මධ්‍යස්ථානය පිහිටි ඉඩම පර්චස් 400ක පමණ වපසරියකින් යුක්ත වන අතර ඉන් පර්චස් 320 ක් සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයකුට අයත් වන අතර ඉතිරි පර්චස් 80 අයිතිය විදේශිකයකුට අයත් වන අතර ඔහු ජපන් ජාතිකයෙකි. මෙකී පර්චස් 400 නිත්‍යානුකූල අයිතිය ඇත්තේ ව්‍යාපාරිකයාට හා විදේශිකයාටය. මේ අතරතුරේ අදාළ ඉඩම් හිමියා විසින් කොන්ක්‍රීට් කණු යොදා මායිම් වැටක් ගැසීම නිසා මෙකී නැරඹුම් මධ්‍යස්ථානයට යෑමට දෙස් විදෙස් සංචාරකයන්ට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. ඒ සමඟ සමාජ මාධ්‍ය මගින් මේ පිළිබඳ ප්‍රචාරය වන්නට විය. ඉන්පසු කොයිකාගෙත් අවධානය මේ සඳහා යොමු විය. අගමැති මහින්ද රාජපක්ෂයන් නැරඹුම් මධ්‍යස්ථානයට වී ඇති අලකලංචිය දැන ගත් මොහොතේම අගමැතිවරයාගේ අවධානය මේ සඳහා යොමුවිය. අගමැතිවරයා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කතා කොට මේ පිළිබඳ සොයා බලා කඩනමින් වාර්තාවක් ලබාදෙන ලෙස බලධාරීන්ට උපදෙස් දුන්නේය. ඇමති නාමල් රාජපක්ෂයන් වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේට මෙන්ම අදාළ බලධාරීන්ට කතා කොට මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කළේය.

කොකනට් හිල් නැමති ඉඩම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අලකලංචිය ලැව් ගින්නක් සේ පැතිරි යන්නට වුයේ සමාජ මාධ්‍යජාල නිසාය. කොටින්ම කිවහොත් වැලිගම ප්‍රාදේශීය ලේකම් සුමිත් ශාන්ත මේ ගැන දැනගත්තේ සමාජ මාධ්‍ය ජාලා මගිනි. ඔහු එය දැනගත් වහාම අදාළ ස්ථානය වෙත ගොස් මේ පිළිබඳ නිරික්ෂණය කළේය. ඉන්පසු අදාළ ඉඩමේ අයිතිකරුවන් හා වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුවේ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැත්විණි.

බණ්ඩරමුල්ල ශ්‍රි සුදර්ශනාරාම මහා විහාරයේ විහාරාධිපති මාමඩලේ අනෝමාසාර හිමියන් අප සමඟ මෙසේ කීහ.

ශ්‍රි සුදර්ශනාරාම මහා විහාරස්ථානය තියෙන්නේ මේ කඳුගැටය අසල. විහාරස්ථානයට වසර 312ක් වෙනවා. මුලින්ම දෙස් විදෙස් සංචාරකයන් පැමිණියේ පන්සල බලන්න. පසුකාලීනව සංචාරකයන් මෙම ස්ථානය දැකලා ඡයාරූප ගන්න; එහි සිට පරිසරයේ සුන්දරත්වය විඳගන්න; නිවීසැනසිල්ලේ ටික වේලාවක් ගතකරන්න මේ ස්ථානය යොදා ගත්තා. මෙකී ඉඩමේ මායිම් වැටක් ඉදිකිරීම නිසා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සමාජ කථිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ප්‍රදේශයට තියෙන වටිනාම ස්ථානයක් නැතිවීම අපේ රටේ අභාග්‍යයක්. මේ ප්‍රදේශයේ ජනතාව රුපියලක් හරි හම්බ කරගන්නේ මේ ප්‍රදේශයට එන ජනතාව නිසා. වැටකඩුලු ගහලා වලවල් හාරා කරපු විනාශය නිසා ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා යැයි අනෝමාසාර හිමියෝ පවසති.

මේ අලකලංචිය ගැන අපි වැලිගම ප්‍රාදේශීය ලේකම් සුමිත් ශාන්තගෙන් විමසීමක් කළෙමු. මේ ඉඩම පර්චස් 400 වපසරියකින් යුතු ඉඩමක්. 320ක් තියෙන්නේ ශ්‍රිලාංකික අයකුට අනික් පර්චස් 80 තියෙන්නේ විදේශිකයකුට ඇත්තටම මෙම ස්ථානය සුන්දර ස්ථානයක්. සේයාරූ ගැනීමට ප්‍රසිද්ධ ස්ථානයක්. ඉඩම් හිමියා විසින් මායිම් වැටක් ගහලා තියෙනවා. ඔහුට ඉඩමේ නිත්‍යානුකුල අයිතිය තියෙනවා. ඒ සඳහා කාටවත් අභියෝග කරන්න බැහැ. නමුත් වෙරළ සංරක්ෂණ නිතිය යටතේ වෙරළ තිරයේ සිට මිටර් 300ක් ඇතුළත සංවර්ධනය කරනවා නම් ඒ සඳහා අනුමැතිය ලබාගත යුතු වෙනවා. දැන් පුද්ගලික ඉඩමක වැසිකිළියක් හදන්නත් අවසර ගන්න ඕන නේ. මේක අනවසර ඉදිකිරීමක්. ඒ ගැන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිසියට පැමිණිලිකොට තියෙනවා.. මෙම ගැටලුව විසඳීමට විකල්ප කිහිපයක් තියෙනවා. ඉඩම් හිමියන් මගින්ම අනවසර ඉදිකිරීම ඉවත් කිරීම නැත්නම් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීම. නැතහොත් ඉඩම් හිමියන් සහ රජය අතර ඇති කරගන්නා එකඟතා මත සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස දියුණු කිරිම. ඉඩමිහිමියන් සමඟ නාගරික සංවර්ධන අධිකාරිය මගින් යම් එකඟතාවක් ඇති කරගෙන සංවර්ධන ව්‍යාපෘතියක් ඇති කරන්නත් පුළුවන්. ඉඩම් හිමියන්ගේ අයිතියට අභියෝග කරන්න බැහැ. සංචාරක ආකර්ෂණීය ස්ථානයක් නිසා මෙකී ඉඩම තක්සේරු කරලා ඉඩම් හිමියන්ට සාධාරණ වන්දි මුදලක් ගෙවා පවරා ගන්නත් පුළුවන්. මෙහි සංවර්ධන ව්‍යාපෘතියක් ඇතිකරලා පරිපාලන කටයුතු ප්‍රාදේශීය සභාවට පවරලා දෙන්නත් පුළුවන්. පුද්ගලික ඉඩමක් වුණත් ඒ ඉඩම්වල ස්වාභාවික වස්තුවල අයිතිකාරයා රජය. කොහොම වුණත් මේ ගැටලුව අදාළ ඉඩම් හිමියන් සමඟ කතා කරලා සුහද ලෙස විසඳා ගැනීමට අපි උත්සාහ කරනවා යැයිද ප්‍රදේශීය ලේකම්වරයා සඳහන් කළේය. 

වැලිගම ප්‍රදේශිය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මේ සම්බන්ධයෙන් කිවේ මෙවැනි කතාවකි. “මෙක අප බල ප්‍රදේශයේ තියෙන සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක්. මේක ආරක්ෂා කරගැනීම අපේ වගකිමක් හා යුතුකමක්. මෙහි කිසිදු ඉදිකිරිමක් කරන්න අවසර දෙන්නේ නැහැ. මේ ඉඩම පවරා ගැනීමක් කරන්න ඕන. නැතිනම් ඒ පුද්ගලයාට සංචාරක කටයුත්ත කරගෙන යන්න අවස්ථාව දෙන්න ඕන. අධිකරණ මාර්ගයෙන් හරි වැට ඉවත් කිරිමට කටයුතු කරනවා. නාමල් රාජපක්ෂ ඇමතිතුමාත් මට මේ ගැන සොයාබලන්න කියලා කිවා යැයි හෙතෙම පවසයි. වෙරළ සම්පත් හා වෙරළ කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණි හේවගේ මෙසේ කීවේය.

වෙරළ සංරක්ෂක කලාපයට අයත් මිටර් 300ක් ඇතුළත කරන ඕනෑම සංවර්ධන කටයුත්තකදී එය නිවසක් වෙන්න පුළුවන්; වැටක් වෙන්න පුළුවන්; ඒ සියලු සංවර්ධන කාර්යයන් සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් බලපත්‍රයක් ලබාගත යුතු වෙනවා. බලපත්‍රයක් ලබා නොගෙන තිබීම නිසා වෙරළ සංරක්ෂණ පනතේ ප්‍රතිපාදන යටතේ නීතිමය පියවර ගැනිමේ ක්‍රියාවලිය දැනට සිදුවෙමින් පවතිනවා යැයි ද අතිරේක අධ්‍යක්ෂකවරයා පවසයි. දෙස් විදෙස් සංචාරකයන්ගේ අාකර්ෂණය දිනා ඇති මෙකී බිම්කඩ ආරක්ෂා කරගැනීම බලධාරීන්ගේ වගකීම හා යුතුකම වන්නේය. මෙකී ඉඩම පුද්ගලික ඉඩමක් නිසා ඉඩම් හිමියාට ද සාධාරණත්වය ඉටුවිය යුතුය.


Comments