APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතාවයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමට ප්ලැටිනම් ප්‍රමිතිය | සිළුමිණ

APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතාවයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමට ප්ලැටිනම් ප්‍රමිතිය

පශ්චාත් කෝවිඩ් සමය තුළ සිදුකළ ගුවන් ගමන් වලදී මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ගුවන් සේවය දරන උත්සාහය පිළිබඳ සිදුකළ පූර්ණ ස්වාධීන පරීක්ෂාවකින් පසුව ශ්‍රීලංකන් ගුවන් සමාගමට APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතා ප්ලැටිනම් ප්‍රමිතිය හිමිව තිබේ. 
 
මෙම ප්‍රමිති තත්ත්වය සංචාරකයින්ගේ විශ්වාසය නැවත ගොඩනැංවීම සඳහා අවශ්‍ය අවම ප්‍රමිතීන් ඉක්මවා  යාමක් ලෙස  ගුවන් සමාගම් හඳුනාගෙන ඇති අතර මෙය ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා දරන කැපවීම තවදුරටත් සනාථ කිරීමකි.  
 
ගුවන් ගමන් සඳහා මෙම සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිතිය නිර්මාණය කිරීම සඳහා ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සහ SimpliFlying එක්ව කටයුතු කර ඇති අතර ගෝලීය සංචාර නැවත ආරම්භ කිරීම සහ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා පොදු ප්‍රමිතියක් නිර්මාණය කිරීමේ දී ගුවන් සමාගම්වලට ක්‍රියාකාරී භූමිකාවක් ලබා දී කර්මාන්තයට සහාය වීම මෙමගින් අපේක්ෂා කෙරේ.
 
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ සඳහන් කළේය. “අන්තර්ජාතික ස්වාධීන ආරක්ෂක පරීක්ෂණයක් මත පදනම්ව ශ්‍රීලංකන් ගුවන් සමාගමට මෙම නවතම පිළිගැනීම හිමිව තිබේ.ගුවන් තොටුපලවල සහ ගුවන් යානය තුළ දී මගීන්ගේ ආරක්ෂාව, සනීපාරක්ෂාව සහ සමාජ දුරස්ථ ක්‍රියා පටිපාටි වැනි නිවැරදි සෞඛ්‍ය සහ ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සහ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ රාජ්‍ය  ආයතනවල පරීක්ෂණ සහ ප්‍රවේශ අවශ්‍යතා වලට අනුකූල වීම ඒ සඳහා හේතු විය.ශ්‍රී ලංකන් ගුවන් සේවය ගෝලීය වසංගතයක් පවතින අවස්ථාවේ සිදුකරන මෙහෙයුම් වලදී ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රමිති මට්ටමක සිටින අතර එය ශ්‍රී ලංකාවට ආඩම්බරයක්. ” යැයි ද ඒ මහතා පෙන්වා දුන්හ. හෙතෙම තවදුරටත් කියා සිටියේ, “ශ්‍රී ලංකාවේ දේශසීමා ජාත්‍යන්තර සංචාරණ හා සංචාරක කටයුතු සඳහා නැවත විවෘත වන මොහොතක මෙම ප්ලැටිනම් ස්ටෑන්ඩර්ඩ් තත්ත්වය ශ්‍රීලංකන් ගුවන් සේවයට කාලෝචිත සම්මානයක්” බවයි.     
 
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. “කොවිඩ් -19 වසංගතයේ ආරම්භයේ සිටම, ගෝලීය ගුවන් සේවා පිළිවෙත් හා සමානව ගොඩබිම සහ භූමියේදී වඩාත් දැඩි සනීපාරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියා පටිපාටි අපි හඳුන්වා දී ඇත්තෙමු. ජාතික ගුවන් සේවය ලෙස, වාණිජ ගුවන් මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමට සහ මගීන්ගේ යහපැවැත්ම සමඟ මගීන්ගේ විශ්වාසය අලුත් කිරීමට ශ්‍රීලංකන් සැමවිටම උනන්දු වෙනවා ” යැයි ඒ මහතා සඳහන් කළේය. 
 
මෙම ඇගයීම ලබා දීමේ දී  මගී ගමන් තුළ සිදුවන ස්පර්ශක ස්ථාන 58 ක් ආවරණය කර ඇත. බර කිරිමේ හා ස්පර්ශක ස්ථාන වෛද්‍ය විශේෂඥයින් සහ ගුවන් සමාගම්වල මගී අත්දැකීම් විධායකයින්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් සමාලෝචනය කර තිබේ.  මෙම පරීක්ෂාවට මගින් වර්ගීකරණයන් ඇතුළත් වන අතර පරීක්ෂණ, ලුහුබැඳීම්, භූමියේ ක්‍රියා පටිපාටි, ගුවන් ගමන් පියවර සහ සම-සන්නාම හවුල්කාරිත්වයන් ඇතුළත් වේ.
 
“ශ්‍රීලංකන් එයාර්ලයින්ස් කොවිඩ් -19 පාරිභෝගික ආරක්ෂාව සඳහා ගෙන ඇති ඇදහිය නොහැකි පියවර නිසා දකුණු ආසියාවේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලෙස ගුවන් සේවය ස්ථානගත වී තිබේ” යැයි APEX ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ජෝ ලීඩර් මහතා ප්‍රකාශ කළේය. “සිය ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ආරක්ෂිත වැඩසටන්, භූමියේදී සහ ගුවන් ගමන තුළ සිදු කරන අතර එම ක්‍රියාවන් පාරිභෝගික ආරක්ෂාව සඳහා රන් ප්‍රමිතිය ඉක්මවා යෑමක් බවත් ප්ලැටිනම් සහතික සඳහා අවශ්‍ය ප්‍රමිතීන් නිශ්චිතවම ගුවන් සමාගම සපුරා ඇති බවද ඔහු පෙන්වා දුන්හ. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්දේශ කරනු ලබන ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරන බවට වග බලා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය, GMOA - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරයි.

Comments