ලෝකයටම බලාපොරොත්තු කාන්දු කළ අපරාජිත බෙංගාලි සුවඳ ස්ට්‍රයිකර් (දෙපා ලදිමි) | සිළුමිණ

ලෝකයටම බලාපොරොත්තු කාන්දු කළ අපරාජිත බෙංගාලි සුවඳ ස්ට්‍රයිකර් (දෙපා ලදිමි)

 

මේ කෘතිය පුරා ගලායන කතාවේ කියැවෙන්නේ තරුණයකුගේ මානසික ගැටුම්, ඔහු ජීවත්වන සමාජය ගොඩනගා ඇති මතය හා ඇතිවන ගැටුම්. ඒත් අවසානයේ ඔහු ඒ සියලු ගැටුම් පරාජය කරමින් ජයග්‍රහණය කරනවා.

එය බලාපොරොත්තු රැගෙන ආවේය. එකී බලාපොරොත්තු තවදුරටත් ගොඩනංවමින් තිබේ. ඒ කියන්නේ ක්‍රීඩාව වෙනුවෙන් පමණක් නොව සමස්ත සමාජය ගොඩනැගීම වෙනුවෙන් ක්‍රීඩා සාහිත්‍යයට ප්‍රබල බලපෑමක් කළ හැකි බවය.’

 

‘මිනිසා පරාජය කළ හැකියි. ඒත් විනාශ කළ නොහැකියි.’ කියලා මුලින්ම කීවේ ශ්‍රේෂ්ඨ ලේඛක අර්නස්ට් හෙමිංවේය. ඒත් ඒ කතාව යළිත් වරක් අපට ඒත්තු ගන්වන්න අසල්වැසි ඉන්දියාවේ බෙංගාලි ලේඛක මෝති නන්දි සමත් වෙනවා. ඒ හැත්තෑව දසකයේ එක වසරකදි යි. ඒ දේ ඔහු කරන්නෙ “ස්ට්‍රයිකර්” යනුවෙන් ලියා එළිදැක් වූ නවකතාවකිනුයි. ඔහු ඒ කෘතිය ගෙත්තම් කරන්නෙ යොවුන් පාපන්දු ක්‍රීඩකයෙක් වටායි. එම කෘතියට ආනන්ද පුරශ්කාර් සම්මානය හිමිවෙන්නේ ‘මිනිසා පරාජය කළ හැකියි. එහෙත් විනාශ කළ නොහැකියි.’ කියන අර මුලින් කියපු හෙමිංවේ ගේ ප්‍රකාශය සනාථ කරමිනුයි.

නන්දි තමන්ගෙ නවකතාවට ‘ස්ට්‍රයිකර්’ කියන නම දාන්නේ දෙබිඩි අර්ථයකින්. ඒ කියන්නේ උත්ප්‍රාසවත් අයුරින්. බැලූ බැල්මට එන මතුපිට අර්ථයෙන් කියන්නේ ප්‍රහාරකයා කියන එකයි. විශේෂයෙන්ම ආසියානු කලාපයේ ජීවත්වන අප ආර්ථික වශයෙන් පීඩා විඳින ජන කොට්ඨාශයක්. ඒ නිසා මේ කියන ‘ස්ට්‍රයිකර්’ කෘතිය ලියැවෙන්නේ දුප්පත්කමට එරෙහිව පහර දෙමින් තමන්ගේ ජීවිතයේ එකම ඉලක්කය වන පා පන්දු ශූරයෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න කටයුතු කරන ක්‍රීඩකයකු පිළිබඳවයි.

අනිත් අතින් ආසියානු කලාපයේ විශේෂයෙන් ඉන්දියාව වැනි රටවල පා පන්දු ක්‍රීඩා සමාජ විසින් ගෙනයන්නා වූ අසාධාරණ පරිපාලන ක්‍රමවේදයට පහර එල්ල කරන්නත් ‘ස්ට්‍රයිකර්’ කෘතිය මගින් අමතක කරලා නැහැ. එම කෘතිය එක්තරා ආකාරයකට තරග පාවාදීම් සම්බන්ධයෙන් සැක සංකා සමාජගත වුණු මුල් කාලීන අත්දැකීමක් වගේ කියන්නත් පිළිවන්. එහිදී තම පියාගේ අහිමිවුණු ගෞරවය යළි ගොඩනැංවීමත් ‘ස්ට්‍රයිකර්’ කෘතිය තුළ ඇති කථකයා තුළින් ප්‍රකාශ වනවා.

ඒ නිසා තමයි මෙම නවකතාවේ ප්‍රධාන චරිතයට ඔහුගේ ජීවිත ඉරණම දෙපැත්ත කැපෙන පිහියක් වගේ ගොඩනංවන්න බෙංගාලි ලේඛකයා ක්‍රියාකර ඇත්තේ. ඒ නිසා ම ඔහුට සියල්ල හරියටම ඉලක්කයට නිවැරැදිව නිවැරැදි ම වේලාවට එල්ල කළ යුතුව තිබුණා.

එය හරිම ආකාරයට තේරුම් අරගෙන ඒ කෘතිය සිංහල බසට පෙරළන්න සේනාරත්න වීරසිංහ කටයුතු කළේ ක්‍රීඩා පුවත්පතට කොටස් වශයෙන් පළ කළ නවකථාවක් වශයෙනුයි. පසුව කෘතියක් වශයෙන් මුද්‍රණ ද්වාරයෙන් එළිදැක්වූ එම කෘතිය “දෙපා ලදිමි” කියන තියුණු අර්ථ උත්පාදන නමකින් සිංහල බසට නගා තියෙනවා. එය සිංහල ක්‍රීඩා සාහිත්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ලේඛකයකු විසින් සිදුකළ ගෞරවනීය දායකත්වයක්.

මේ කතාවේ ප්‍රධාන චරිතය ගෙතෙන්නේ ප්‍රෙසන් නම් කථකයා වටායි. ප්‍රෙසන් ජීවත්වන්නේ බෙංගාලයේ පැල්පත්වාසියකු වශයෙනු යි. අප මීට පෙර කීවාක් මෙන් ඔහු තමන්ගේ ජීවිතයේ පැති ගණනාවකින් බැට කනවා. ඒත් කතාව අවසානයේ ඒ සියලු පහර මැද ප්‍රහාරකයෙකු බවට ම පත් වෙමින් සිය ඉලක්කය සම්පුර්ණ කරගන්නවා. ඒක හරිම සුන්දරයි කියලා ඔබට ඇතැම්විට හිතෙන්න පුළුවන්. ඒත් මතක තියාගන්න. හැම වසන්තසමයක් ම උදාවෙන්නේ කටුක සිසිර නිද්‍රාවකින් පසුව බව. මේ කෘතිය පුරා ගලායන කතාවේ කියැවෙන්නේ තරුණයකුගේ මානසික ගැටුම්, ඔහු ජීවත්වන සමාජය ගොඩනගා ඇති මතය හා ඇතිවන ගැටුම්. ඒත් අවසානයේ ඔහු ඒ සියලු ගැටුම් පරාජය කරමින් ජයග්‍රහණය කරනවා. ඒක කරන්නේ කොහොමද කියන එක ගැන හැඟීමක් ඇතිකරගන්න, ධෛර්යයක් ඇතිකරගන්න මේවගේ ක්‍රීඩා සාහිත්‍ය කෘතියකින් විශාල පිටිවහලක් පාඨක සමාජයට කාන්දු කරවනවා.

“ප්‍රහාරකය, ප්‍රහාරයක් එල්ල කරන්න. මුළු වැර යොදා විශිෂ්ට ප්‍රහාරයක් එල්ල කරන්න.”

“මම පන්දුව වෙත දෑස් හෙළාගෙන ම කොටි පිම්මක් පැන්නෙමි. පන්දුව මගේ දකුණු නළල් තලාව මත පාත් වන බව මට පෙනිණි. පන්දුවට හිසින් යකුළු පහරක් එල්ල කළ මම මුණින්තලාව බිම ඇද වැටුණෙමි.”

“ක්ෂණයෙන් සියල්ල නිසංසලතාවකට පත් වුණේ ය. තණ තිල්ලෙන් නැගුණු සුවඳ මගේ නාස් පුඩු සිසාරා පැතිරුණේ ය. මම හිස ඔසවා බැලීමි. කළු සුදු තිත් වැටුණු මගේ සුන්දර ලෝකය දැල තුළින් ඉවතට ගන්නා රැන්ගුන් දැල රකින්නා ය. ඒත් සමගම ගලා ආ ජය ඝෝෂාව මගේ ගත සිත විනිවිද යනු දැනුණේ ය.”

කොහොම වුණත් මෙහි එන පසුබිම් කතාව තුළින් ප්‍රෙසන්ගේ ජයග්‍රහණය වසා දමන්න බෑ. එය අනාවරණය වෙන්න ඕනෑ. ඒ මොකද, ප්‍රෙසන් අවසන් තරගයේ අවසන් තත්පරයේ එල්ල කළ අර කියන අලංකාර පාපන්දු ප්‍රහාරය සම්පූර්ණයෙන්ම එල්ල කරන්නෙ අර අපි ඉස්සෙල්ලා කියූ අවලස්සන පසුතලය මතින් වන නිසා.

ඒ නිසා අපට කිවහැක්කේ ‘ස්ට්‍රයිකර්’ එහෙමත් නැතිනම් සිංහල භාෂාවට පරිවර්තනය වුණු ‘දෙපා ලදිමි’ කියන්නේ අධිෂ්ඨානය, ධෛර්යය, විශ්වාසය, සටන් කිරීම පිළිබඳ ජීවිතයකට එකතුකරගන්න කියැවිය යුතු කෘතියක් ම බවයි.

 

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

Comments