වසර 78ක සාඩම්බර මතකය අනුස්මරණය කරමින් ඉදිවූ මාතලේ හොකී විරු සැමරුම් ස්මාරකය | සිළුමිණ

වසර 78ක සාඩම්බර මතකය අනුස්මරණය කරමින් ඉදිවූ මාතලේ හොකී විරු සැමරුම් ස්මාරකය

ශ්‍රී ලංකා යුද හමුදා විශ්‍රාමික හොකී සංගමය මගින් මාතලේ නගරයේ ඉදිකළ හොකී සමරු ස්මාරකය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් පසුගියදා විවෘත කෙරුණේය.

මෙරට හොකී නිජබිම ලෙස ප්‍රකට මාතලේ පුවරයේ එම ක්‍රීඩාව ආරම්භ වී වසර හැත්තෑ අටක් සැපිරීමට සමගාමීව මෙම සමරු ස්මාරකය ඉදිකෙරිණි.

මෙම අවස්ථාවට එක්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ හොකී ක්‍රීඩාවේ නිජබිම තුළ හොකී ස්මාරකයක් ඉදිකිරීම අතිශය වැදගත් බවය.

'මේ ආකාරයේ ස්මාරකයක් මාතලේ ඉදිකළ එක ඉතා වැදගත්. හොකී ක්‍රීඩාවෙන් මාතලේ පුරවරය ලබා ඇති අභිමානයට බොහෝ දෙනෙකු දායකවුණා. ඒ සැමට කළ උපහාරයක් ලෙසයි මා මෙය දකින්නේ. ඒ වගේම එම කටයුත්ත වෙනුවෙන් යුද හමුදාව දායකවීම ගැනත් මම සතුටු වෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කළ යුද හමුදා විශ්‍රාමික හොකී සංගමයට මගේ ස්තුතිය පුදකර සිටිනවා.

මම මාතලේ ඉපදුණු, මාතලේ හැදී වැඩුණු අයෙක්. ඒ නිසා මෙවැනි ස්මාරකයක් මාතලේ ඉදිකිරීමේ වටිනාකම මම දන්නවා. ඒ නිසා මේ කටයුත්තට දායක වූ සියලු දෙනාට මා මගේ ස්තුතිය පුදකරනවා.' යැයි ද පැවසීය.

මේ අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස මාතලේ දිසා සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කොට්ටේගොඩ, මාතලේ දිසා හොකී සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක, ශ්‍රී ලකා යුද හමුදා හොකී සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් මිල්ටන් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් හා මාතලේ දිසාවෙන් බිහිවූ ප්‍රවීණ හොකී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රැසක්ද එක්ව සිටියහ.

ඡායාරූප සහ සටහන-චන්ද්‍ර ශ්‍රී අශෝක බණ්ඩාර හිඳගොඩ

 

Comments