වෙන්නප්පුවෙන් ජ’පුරට පැන්න වාර්තාගත තුන්පිම්ම | සිළුමිණ

වෙන්නප්පුවෙන් ජ’පුරට පැන්න වාර්තාගත තුන්පිම්ම

 

HASINI Prabodha

අධ්‍යාපනයට ක්‍රීඩාව බාධාවක් නොවෙයි

මම දැන් ආසියාවේ අට වැනියා

 

‘වෙන්නප්පුවේ බහුතරයක් පැනීමට දක්ෂ ය. ඇය ද එසේම ය. මේ හසිනි ප්‍රබෝධාගේ එම පැනීමේ සුරුවිරුකම් ගැන කතාව ය.’

දිය බිඳක පහස කාලයකින් නොලද වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේ කේඩෑරි වී ගිය මහා පොළොවේ තණපත් වියැළි ගොස්ය. නීල හරිත තණපත් වෙනුවට දකින දකින මානයේ නෙතු ගැටෙන්නේ දුහුවිලි ය.

කාලයකින් තබා ක්‍රීඩාංගණය ඉදි කළාට ම පසුව හෝ අලුත්වැඩියාවක් නොකළ තරම්ය. එහෙත් මෙකී මහා පොළොව ඇගේ දෙපාවල රිද්මය දරාගන්නේ ආදරයෙනි.

ක්‍රීඩාංගණය හරහා ඉඳහිට හමා යන්නා වූ සිහින් වියැළි සුළං රොද දුහුවිලි අවුස්සනු පෙණේ. එය ඇගේ ගමනට යම් විඩාවක් එක් කරන්නේ ජීවිතයේ නේක දුෂ්කරතා මතුවන ආකාරයට ය. ඈ ඒවා නොතකන්නේ හිමිදිරියේ තණ අගට වට පිනිබිඳු සේය. ඒ හසිනි ප්‍රබෝධාගේ ප්‍රබෝධමත් ගමන ගැන අපට දැනෙන ආකාරයය.

පසුගියදා කොළඹ සුගතදාස පිටියේ නිමාවුණු අනූ අට වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී තුන් පිම්ම කාන්තා ශූරිය බවට පත් වු හසිනි, මේ වනවිට ශ්‍රේණිගත කිරිම්වලට අනුව ආසියාවේ 08 වැනි ස්ථානයේ සහ ලෝක ශ්‍රේණිගත කිරිම්වල 76 වැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 1044ක් හිමි කර ගනිමින් ය. මේ ඇගේ කතාව ය.

හසිනිගේ මලල ක්‍රීඩාවේ ආරම්භය යනු අහම්බයකි. අපට එසේ කියන්නට වෙන්නේ ඈ ලුනුවිල අනුරුද්ධ මැදි මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ කාලයේ දී හදිසියේ ක්‍රීඩාවට එක් වූ හෙයිනි.

එකල අනුරුද්ධ මැදි මහා විද්‍යාලයේ ක්‍රීඩා පුහුණු ගුරුවරිය වූ නිමාලි මහත්මියගේ හා ස්වේච්ඡාවෙන් ක්‍රීඩාවට උපකාර කළ භූගෝල විද්‍යා ගුරුවරයා වූ ජනත් කාංචන මහතාගේ අවධානයට හසිනි ප්‍රබෝධා යොමුවිණි.

ඒ හසිනි ප්‍රබෝධාගේ මිතුරියක වූ පාසල් ක්‍රිඩිකාවක වූ සුපුනී හා පැවැති ඇසුර හේතුවෙන් ය. උස මහත හෂිනි, සුපුනි සමඟ හැල්මේ දිවයන අයුරු දුටු ජනත් කාංචන ගුරුතුමා ඇයට ක්‍රීඩා පුහුණුවට එන්නැයි යෝජනා කළේ ය.

‘ජනත් සර් මුලින්ම මාව මීටර් 100 , 200, උස පැනීම වගේ ඉසව්වලට යොමුකළා.’

හසිනිගේ හැකියාවන් ගැඹුරින් අධ්‍යයනය කළ ජනත් සර්ගේ අදහස වූයේ ඈ තුන් පිම්ම ඉසව්ව ඇරඹිය යුතු බව ය.

‘2013 වසරේ කොට්ඨාශ ජයග්‍රහණයක්වත් නැතුව ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලියට සහභාගි වෙනවා. නව පාසල් වාර්තාවකුත් සමඟ ඒ තරගාවලිය ජයග්‍රහණය කරන්න මට හැකිවෙනවා. එතැනින් පස්සේ මට ක්‍රීඩාව ගැන අලුත් හැඟීමක් ඇතිවුණා කිව්වොත් නිවැරැදියි.’

පනස් පස් වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අවුරුදු විස්සෙන් පහළ බාලිකා තුන් පිම්ම මීටර් 13.20 ක දුරක් සටහන් කළ ඈ එකී වයස් කාණ්ඩයේ විදුෂා ලක්ෂානි සතුව තිබූ මීටර් 13.12 ක වාර්තාව ද අභිබවා ගියා ය.

‘මගේ ක්‍රීඩා පුහුණුවේ දී ගුරුවරු කියපු විදියට මම හැමදේම කළා. ඒ නිසා අඛණ්ඩව දක්ෂතා වර්ධනය කර ගන්න පුළුවන් වුණා.’ ඈ අතීතය සිහිපත් කර පවසන්නී ය.

‘ක්‍රීඩාව කියන්නේ හිතට ශක්තියක් එකතු කරන දෙයක්. ඒත් පුහුණුවීම් කරලා ගෙදර යනකොට හුඟක් මහන්සිය දැනෙනවා. හැබැයි මම අනිවාර්යයෙන් උදේ පාන්දර පාඩම් කරනවා. පාන්දර හතරට තමයි දවස පටන් ගන්නේ. රෑ නවය, දහය වෙනකොට නිදා ගන්නවා.’ ඒ හසිනිගේ ජීවන චර්යාව ගෙවන හැටි ය.

සාමාන්‍ය පෙළ කඩඉම ජය ගන්නා හසිනි උසස් පෙළ හදාරන්නේ වෙන්නප්පුව ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ ය. එහිදී ඇයට විශිෂ්ට මලල ක්‍රීඩා පුහුණුකරුවකු වන පිලිප් රංජිත් මහතා මුණගැසෙන්නේ ය.

‘ජනත් සර්ට ඉස්කෝලේ වැඩත් එක්ක මගේ පුහුණු කටයුතු වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නැති වෙන්න පටන් ගත්තා. ඒ අතරෙ 2015 වසරේ දී මට පිලිප් සර්ව මුණගැහෙනවා. ඔහුම තමයි අපේ ඉස්කෝලේ පුහුණුකරු විදියට කටයුතු කළෙත්.’ ඈ නව පුහුණුකරු යටතට පත්වීම ගැන පැවසූවේ එසේය.

‘මට වඩා කවුරුවත් දුර්වලයි කියලා මම හිතන්න කැමති නෑ. පිලිප් සර් හැම වෙලාවෙම මගේ හිත ශක්තිමත් කරනවා. මොන තරම් බාධක තිබුණත් සර් කියන්නේ හැමදෙයක්ම අමතක කරලා තරගය ගැන විතරක් හිතන්න කියලයි. මමත් මොන බාධක ආවත් ඒවට මුහුණ දෙන්න තරම් හොඳ ආත්ම විශ්වාසයක්, ශක්තියක් ගොඩනගාගෙන තියෙනවා.’ ඈ පවසන්නී ය.

ඇය එය තහවුරු කරන්නේ ක්‍රීඩාවේ යෙදී සිටියදීම ලබාගත් අධ්‍යාපන ජයග්‍රහණ සමඟිනි.

‘අධ්‍යාපනයට ක්‍රීඩාව බාධාවක් නොවෙයි. මම උසස්පෙළට මුහුණ දෙද්දි මාසයක් විතර පුහුණුවීම් නතර කළා. ක්‍රීඩා කරලා, විභාගය සමත් වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට එන්න මට හැකිවුණා.’ ඒ අනුව ඈ 2018 වසරේදී උසස් අධ්‍යාපනයට ඇතුළත් වූවා ය.

‘ඒ වසරේ අග වගේ තමයි මම කියුබානු පුහුණුකරු ළඟට යන්නෙත්. මගේ හොඳම දක්ෂතාව වන මිටර් 13.40 වාර්තා කරන්නෙත් ඔය කාලයේදී යි. 2019 දී ඉතාලියේ තිබුණු ලෝක විවෘත විශ්ව විද්‍යාලීයය තරගාවලියට සහභාගි වෙන්නත් මට අවස්ථාව හිමි වුණා. ඒ අවුරුද්දේ ම තිබුණු සාග් තරගාවලියේ රන් පදක්කමත් මම දිනා ගත්තා.’ ඈ සිය ගමන් මගේ සමරු මතකයන් එලෙස සිහිපත් කරන්නේ අභිමානයෙනි.

එහෙත් ඇයට කියන්නට කනගාටුදායක කතාවක් ද තිබේ.

‘අපිට හරියට පුහුණු වෙන්න පිට්ටනියක් නෑ. ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේ මම දෙපාරක්ම ආබාධවලට ලක්වුණා. 2014 දී මාසයක් කකුලට වෙදකම් කළා. 2015 දී ඒ විදියට මාස තුනක් වෙදකම් කළා.’එයින් කියැවෙන්නේ හසිනිලා වැනි විශිෂ්ට දක්ෂතා දැක්විය හැකි ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ හෙට දවස ගැන රටේ ක්‍රීඩා බලධාරීන් අදට වඩා සැලකිලිමත් විය යුතු බව ය.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments