ගමේ පොළ කුරු­දු­ව­ත්තට ගෙනා අචලා | සිළුමිණ

ගමේ පොළ කුරු­දු­ව­ත්තට ගෙනා අචලා

 

රැකියා පෝලිමේ ඉදන් කාලෙ නාස්ති කරන්න එපා අලුත් අදහස් ඔනෑතරම් තියෙනවා

සමහර කාන්තාවන්ම කාන්තාවන්ගේ ගමන අවහිර කරන්න මඩ ප්‍රහාර එල්ල කරමින් චෝදනා නඟනවා. එවැනි අභියෝග අතර වුවත් ඉවසීමෙන්, කැපවීමෙන් ඉදිරියට යෑම මගේ අපේක්ෂාවයි...

 කොළඹ හත, කුරුඳුවත්ත පොලිසිය ආසන්න ප්‍රදේශයේදී ඔබට 'ගුඩ් මාර්කට්' නම් අපූරු වෙළෙඳසැලක් දැකගත හැකිය. එහි වැඩි වශයෙන් අලෙවි වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල නිෂ්පාදනයි. ඊට අමතරව සෙනසුරාදා දිනවල කොළඹ, තුරඟ තරග පිටියේදී පැවැත්වෙන 'ගුඩ් මාර්කට් ‘පොළ' කි. අතරමැදියන්ගෙන් තොරව පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා එකිනෙකා හමුවන ගුඩ් මාකට් පොළේ අපූරු අත්දැකීම විඳින්නට නම් වරක් හෝ ඔබ එහි යා යුතුමය. මේ වන විට කොළඹ ජීවත්වන බොහෝ විදේශිකයන්ගේ කදිම තෝරාගැනීමක් බවට 'ගුඩ් මාර්කට්' පත්වීම සතුටට කරුණකි.

 

කුමක්ද මේ 'ගුඩ් මාර්කට්' සංකල්පය? ඒ පිළිබඳ විමසන්නට අප කතාබහට එක්කර ගත්තේ ඊට නායකත්වය දෙන අචලා සමරදිවාකර නම් තරුණ ව්‍යවසායිකාවයි.

“අපේ රටේ ජනගහනයෙන් සියයට 52ක් පමණ කාන්තාවන් වුවත් ව්‍යවසායකයන් අතර කාන්තා නියෝජනය තියෙන්නේ සියයට 10කටත් වඩා අඩු ප්‍රතිශතයක්. නමුත් අපි දකිනවා ග්‍රාමීය වශයෙන් ඉතා හොඳ නිෂ්පාදන බිහිවෙනවා. නමුත් ඔවුන්ට ඒවා විකුණගන්න හෝ ඒ ගැන කතාකරන්න වේදිකාවක් නැහැ. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක විදිහට මට ඕන වුණා ඒ වෙනුවෙන් යමක් කරන්න. ඒ අරමුණෙන් තමයි මම මගේ විදේශීය මිතුරියක වන අමන්දා කීසෙල් සමඟ එක්ව 'ගුඩ් මාර්කට්' සංකල්පය ආරම්භ කළේ. මුලින්ම අපි සමඟ සම්බන්ධ වුණේ 32ක් වැනි කුඩා පිරිසක්. ”

එහෙත් මේ වන විට 1500කට වැඩි ගොවීන්, නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන් පිරිසක් 'ගුඩ් මාර්කට්' සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර ඒ තුළින් විසි තිස් දහසකගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීමට හැකි වූ බව අචලා සමරදිවාකර අප සමඟ කීවේ අවිහිංසක ආඩම්බරයකිනි.

2017 වසරේදී කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් නැගී එන තරුණ ව්‍යවසායිකාවට හිමි සම්මානය අචලාට පිරිනැමූ අතර නැගී එන ව්‍යාපාරයට හිමි සම්මානය 'ගුඩ් මාර්කට්' වෙත හිමි විය. එපමණක් නොව දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීමට ලබා දුන් නායකත්වය නිසා අචලා සමරදිවාකර ශ්‍රී ලංකාවේ නැගී එන ව්‍යවසායිකාවට හිමි සම්මානය ඇතුළු ජාතික මට්ටමේ සම්මාන කිහිපයක්ම දිනා ගත්තාය. ඊට අමතරව ඇය අමෙරිකාව, ඉන්දියාව සහ තායිලන්ත ඇතුළු රටවල් ගණනාවක ඇගයීමට ලක්වූවාය. 2013 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා පැමිණි බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හමුවන්නටද 'ගුඩ් මාර්කට්' කණ්ඩායම වෙනුවෙන් අචලාට අවස්ථාව උදා විය. පසුගිය වසරේදී පින්ලන්තය විසින් පැවැත්වූ හරිත ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහනේදී නම් කරනු ලැබූ මෙරට හරිත ව්‍යාපාර දහය අතර පළමු ස්ථානය 'ගුඩ් මාර්කට්' වෙත හිමි විය. මේ වන විට අචලා එම වැඩසටහනේ තානාපතිවරියක ලෙසද කටයුතු කරන්නීය.

'ගුඩ් මාර්කට්' සංකල්පය ක්‍රියාත්මක කිරීමට කොළඹ හතේ කුරුඳුවත්ත තෝරා ගැනීමට විශේෂයෙන් ඉවහල් වූ කරුණු ගැනත් අප ඇගෙන් ඇසුවෙමු.

“කොළඹ ඉන්න ගමේ වසවිස නැති දේවල්වලට කැමති අය වෙනුවෙන් ඔවුන්ට ඒවා හඳුන්වා දීමේ අරමුණින් තමයි කොළඹ මෙය ආරම්භ කළේ. නමුත් අපේ අරමුණ මේ සංකල්පය රට වටේම ගෙනියන්නයි. ඒ තුළින් දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කරන්නයි. මම උත්සාහ කරන්නේ වසවිස නැති කාබනික වගාවන්වල නියුතු වූවන්ගේ සහ පරිසර හිතකාමී නිෂ්පාදකයන්ගේ අයගේ ආකල්ප, කුසලතා දියුණු කරමින් ඔවුන්ගේ ජීවිත මට්ටම ඉහළ නංවාලීමයි. මෙය සමාජ ව්‍යාපාරයක්. ග්‍රාමීය නිෂ්පාදනවලට අවශ්‍ය ප්‍රමිති සහතික ලබා ගැනීමට, ඇසුරුම්කරණය නිසි පරිදි කිරීමට සහ හොඳ සැපයුම් ජාලයක් ගොඩනඟා ගැනීමට අපි නවක ව්‍යවසායකයන්ට මඟපෙන්වනවා. ”

අචලා මාතලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක වන ඇය එංගලන්තයේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියකි. මේ වන විට ඇය සිය ආචාර්ය උපාධියද හදාරමින් සිටින්නීය.

“ මට අවශ්‍ය වුණේ පැය අටට නවයකට එහෙමත් නැත්නම් කාර්යාලීය කාමරයකට සීමා නොවුණු රැකියාවක ‍නොයැදී ලාභ පරමාර්ථය ඉක්මවා ගිය යම් සේවයක නිරත වෙන්නයි. මම අපේ තරුණ පරපුරට කියන්නේ රැකියා විරහිත උපාධිධාරියෙක් වෙලා නොඉඳ ස්වාධීන කර්මාන්තයක යෙදෙන්න. කාලය නිකරුණේ නාස්ති නොකර අපි සමඟ එකතු වෙන්න. අලුත් ව්‍යාපාරික අදහස් ඕනෑතරම් අපි ළඟ තියෙනවා. ඒ තුළින් රට වෙනුවෙන් යමක් කරමු”

අචලා එක් දරු මවක වන අතර දියණිය කායා පස් හැවිරිදිය. බිරියක, මවක, ගෘහණියක මෙන්ම දක්ෂ ව්‍යවසායිකාවක වන අචලා සමදිවාකර සිය සාර්ථකත්වයේ ගෞරවය සිය මවුපියන්ට සහ වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයකු වන තම දයාබර සැමියා හසිඳු මද්දුමගේ වෙත පිරි නමන්නේ බැතිබර සිතිනි.

“ඔහු පිටුපසින් සිට මට දෙන ශක්තිය, සහයෝගය ඉතා විශිෂ්ඨයි. මම කරන්නේ ලාභ උපයන වෘත්තියක් නොවුණත් ඔහු මාව අධෛර්ය කරන්නේ නැහැ. මගේ කැමැත්ත හඳුනාගෙන ඒ වෙනුවෙන් ඔහුට දිය හැකි උපරිම සහයෝගය ලබාදෙනවා. ”

අවසාන වශයෙන් මෙතෙක් පැමිණි ගමනේදී හමුවූ අභියෝග ගැනද ඇය මෙසේ කීවාය.

“එකිනෙකා අතර සමගියක් නැතිවීම, එකිනෙකාට ගෞරව නොකිරීම, නින්දා අපහාස කිරීම වගේ දේවල් නිසා හිත් රිදවීම් ඇතිවෙනවා. සමහර වෙලාවට සමහර කාන්තාවන්ම කාන්තාවන්ගේ ගමන අවහිර කරනවා, විවිධ මඩ ප්‍රහාර එල්ල කරමින් චෝදනා නඟනවා. එවැනි අභියෝග අතර වුවත් ඉවසීමෙන්, කැපවීමෙන් ඉදිරියට යෑම මගේ අපේක්ෂාවයි.”

 

[email protected]

 

Comments