මගෙන් විය යුතු දේ මං හොයන්නේ අනෙකා වෙනුවෙන් | සිළුමිණ

මගෙන් විය යුතු දේ මං හොයන්නේ අනෙකා වෙනුවෙන්

මනුෂ්‍යයෙක් විදිහට හැසිරීම තමයි මගේ කැමැත්ත...

චිත්‍රපටයක් ලැබුණොත් කරනවා. නොලැබුණොත් කරන්න දෙයක් නෑ.

 

රංගනයෙන් ජීවිතය සොයන්නට තිබූ පිපාසාව නිසාම පාසල් අවධියේම රංගනයට එක්වන ඔහු වේදිකාව ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිර්මාණයන්හි ප්‍රශස්ත ඇගයීමට ලක්වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකි. මේ දිනවල නිර්මාණ කිහිපයක් ඔස්සේ යළි බොහෝ දෙනාගේ අවධානය දිනා සිටින ඔහු සම්මානිත රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමි ය.

 

පහුගිය දවස්වල විවේකයෙන් හිටපු බව දැන ගන්න ලැබුණා ?

පහුගිය දවසක කළුතර පයාගල රූගත කිරීමකට සම්බන්ධ වුණා. රූගත කිරීම්වලට සූදානම් වන අතරතුර හදිසියේම ඇති වූ අසනීප තත්ත්වයක් නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහලට මාව යොමු කළා. වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය වගේම හැමදෙනාම මං ගැන හොයල බැලුවා. ඔවුන්ගේ වෙහෙසීම ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. දවස් පහක් විතර මට නතර වෙලා ඉන්න සිද්ධ වුණා.

 

ජෙහාන් රෝහලෙන් එළියට එන්නේ සත්කාරක වැඩකටත් අත ගහලා ?

රෝහලේ නතර වෙලා ඉන්න කාලේ මට කරන්න විශේෂ වැඩක් තිබුණෙ නැහැ. ඒ ලැබුණු කාලය යොදා ගත්තේ පොත පත කියවන්න. ඉතින් මං රෝහලෙන් අහල බැලුවා පුස්තකාලයක් වැනි පොත් එකතුවක් තිබුණ නම් හොඳයි නේද කියලා. එතැනදි මුණ ගැහුණු බොහෝ දෙනෙක් පොත් කියවන්න කැමති අය. රෝහල් කාර්ය මණ්ඩලයට පොතපත මිලදී ගන්න අරමුදලක් තිබුණෙ නැහැ. ඔවුන් ඉල්ලීමක් කළා හැකිනම් පොත් එකතුවක් ලබා දෙන්න කියලා. මේ වැඩේ ගැන මං මුහුණු පොතේ සඳහනක් කළා. බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඒක මට මහත් ගෞරවයක්. පොත් හත්සියයකට ආසන්න සංඛ්‍යාවක් අපි රෝහල වෙත ලබා දුන්නා.

ධර්මසිරි බණ්ඩාරනායක මහත්මා අමිල් ගල්අංග මිත්‍රයා අපි කිහිප දෙනෙක් ඒ අවස්ථාවට සම්බන්ධ වුණා. පොත් පත් වර්ගීකරණය කරලා කෙනකුට කියවන්න අවස්ථාවක් ලබා දෙන්න කටයුතු කළා. මේකට උදව් කරපු මගේ මිත්‍රයන්ට විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ.

 

දැන් සුපුරුදු පරිදි රංගන කටයුතුවල නියැළෙනවද ?

දැන් මං සුපුරුදු පරිදි මගේ වැඩ කටයුතුවල නියැළෙමින් ඉන්නේ. මේ දිනවල නිර්මාණ කීපයක්ම රූගත කෙරෙනවා. ‘පාවෙන යකඩ‘ , ‘මැටි කඩුලු‘, ‘ගමනේ යා‘ මේ දිනවල විකාශනය වෙනවා.

 

මේ ටෙලි නාට්‍යවල ඔබ නිරූපණය කරන්නේ එකිනෙකට වෙනස් චරිත රූගත කිරීමේදී මේ අභියෝගය බාර ගන්නේ කොහොමද?

ඒක සෑහෙන අභියෝගයක්. ටෙලි නාට්‍ය තුනක් එකම කාලවකවානුවක විකාශනය ආරම්භ වන්නේ. එක් ටෙලි නාට්‍යයක මගේ භූමිකාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයෙක්. එකක ගුරුවරයෙක්. අනෙක් ටෙලි නාට්‍යයේ හමුදා සෙබළෙක්. මේ චරිත තුනම ප්‍රධාන භූමිකා. මේ ගැන අධ්‍යක්ෂකවරු සමඟ කතා කරල ඔවුන්ගේ සහාය නිසා ප්‍රශ්න ටික විසඳ ගන්න මට හැකි වුණා.

 

ඔබ චරිතාංග සම්මානනිය නළුවෙක් වුණු ඔබට සිනමාවේ ඇයි මේ අඩු සැලකිලි ?

වේදිකාවද, රූපවාහිනියද, සිනමාවද කියලා මම ලොකුවට හිතන කාරණාවක් නෙවෙයි. රඟපාන්න ලැබෙන චරිතය ලොකුද පොඩිද කියලා මට අදාළ නැහැ. ඒ චරිතයේ මට යමක් කරන්න තියෙනව නම් ඒක මම බාර ගන්නවා. කෙනෙක් මාව තෝරා ගන්නේ මං ගැන විශ්වාසයෙන්. ඒ ගැන ගෞරවය ඇතිවයි මං ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ.

මට චිත්‍රපටයක් ලැබුණොත් මම කරනවා. නොලැබුණොත් කරන්න දෙයක් නෑ. මම නිර්මාණයකට කවදාවත් බලෙන් සම්බන්ධ වෙලා නෑ.

 

ඇතැම් මෙගා රංගන ගැන අදහසත් ඒකමද ?

මම දීර්ඝ ටෙලි නාට්‍යයක රඟපානවා. මට ඒ නාට්‍යයට ආරාධනා කරන්නේ එහි නිෂ්පාදකවරයා හා අධ්‍යක්ෂවරයා අප අතර තිබෙන මිත්‍රත්වය නිසා ඒ නිර්මාණය මට මග හරින්න බෑ. ඒ නාට්‍යය මම කරන්නේ කැමැත්තෙන්. ඒ නාට්‍යයේ මගේ භූමිකාව තුළ මට ලැබුණු වරප්‍රසාදය තමයි සාමාන්‍ය මිනිසුන්ගෙන් ලැබෙන අසීමිත ආදරය. මං බොහෝ වැඩ කටයුතු කරන කෙනෙක් හැම පළාතකම නාට්‍ය වැඩමුළු ආදියට සම්බන්ධ වෙනවා. ‘රංග‘ කියන චරිතය ඒ හැම තැනකදිම හැම දෙනාටම මාව ළං කරන්න හේතුවක් වෙලා තියෙනවා.

වේදිකා නළුවෝ කියන බොහෝ දෙනෙක් අවසානයේදී නතර වෙන්නේ ජනප්‍රිය මාධ්‍ය තුළ. මේ කාරණය ඔබටත් පොදුද?

වේදිකාව අමතක කරන්න අදහසක් නම් නෑ. වේදිකාවට තියෙන ආදරේ නිසාමයි Drama සඟරාව මාසිකව කරගෙන යන්නේ. Theater work ප්‍රකාශනයක් විදිහටයි මෙය එළි දක්වන්නේ. අමිල් ගල්අංග එහි ප්‍රකාශකයා විදිහට කටයුතු කරනවා. නාට්‍ය කලාවේ ඉන්න විශාල පිරිසක් මේ වැඩේට එකතු වෙනවා. ඉදිරියේදී මරාසාද් වේදිකා නාට්‍ය නිෂ්පාදනය අපි ආරම්භ කර තියෙනවා. මහේෂ් කුමාර එය අධ්‍යක්ෂණය කරන්නේ.

 

රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක්, සංගීතවේදියෙක්, නිවේදකයෙක් සහ දැන් සඟරා සංස්කාරකවරයෙක්, ඔබ මේ සියල්ල අත්හදා බලමින් යන ගමනක් ද?

හැම මාධ්‍යයකම මගේ හැසිරීමක් තියෙනවා. අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි. ඒ කාලය තුළ අපිට මොනවද ඉතිරි කරලා යන්න පුළුවන්. මිනිස්සු වෙනුවෙන් මට දෙන්න පුළුවන් හොඳම දේ මොකක්ද සහ මේ මොහොතේ මිනිස්සුන්ට අඩුවක් දැනෙන්නෙ මොකක්ද යන කාරණය තුළ මගෙන් ඉටු විය යුතු දේ තමයි මං මේ කරන්නේ.

අපේ කියවීම හරහා කලාව කියන දේ මං මා තුළ හඳුනගෙන ඉන්නවා. මගෙන් වෙන්න ඕන දේ මං හොයන්නේ අනෙකා වෙනුවෙන්. ඒ තුළ මම අලුත් දේවල් හොයමින් අත්හදාබැලීම් කරයි.

 

නළුවෙක් සහ මනුෂ්‍යයෙක් විදියට ඔබේ අනාගත භූමිකාව දකින්නෙ කොහොමද?

නිර්මාණකරුවෙක් විදිහට හොඳ නිර්මාණ කරන්න අදහසක් තියෙනවා. මනුෂ්‍යයෙක් විදිහට හැසිරෙන්න තමයි මගේ කැමැත්ත. නළුවෙක් වීම සරල කාර්යයක් නෙවෙයි. ඊටත් වඩා අමාරුම කාර්යයක් තමයි හොඳ මනුෂ්‍යයෙක් වීම.

කලාව තුළ දෙයක් හොයන මනුෂ්‍යයෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

ඡායාරූප - තවීෂ අනූපම

 

[email protected]

Comments