කොවිඩ් නොතකා කොටස් වෙළෙ­ඳ­පොළ ජය ගමනේ | සිළුමිණ

කොවිඩ් නොතකා කොටස් වෙළෙ­ඳ­පොළ ජය ගමනේ

ව වසරේ ගත වූ පළමු සති දෙක තුළ කොළඹ කොටස් වෙළෙදපොළ දැවැන්ත වර්ධනයක් අත් කර ගත් බව මාධ්‍ය වාර්තා කර තිබුණි.එම වර්ධනයට බලපෑ හේතු පිළිබදව අප කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක වෙතින් කරුණු විමසූ අතර එහිදී ඔහු දක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සකස් වී තිබේ.

උදා වූ 2021 නව වසර මෙරට ආර්ථිකයේ නව පිබිදීමක් සිදු වන වසරක් විය හැකි බවට ආර්ථික විශ්ලේෂකයන් පළ කළ මත සැබෑ වන සුබ ලකුණු පහළ කරමින් ජනවාරි මුල් දින කීපය තුළදීම කොළඹ කොටස් වෙළෙඳපොළ දැවැන්ත වර්ධනයක් අත් කර ගෙන තිබේ.කොවිඩ් 19 නව කොරෝනා වයිරස් ව්‍යාප්තිය සමඟ ලොව ප්‍රමුඛ පෙළේ රටවල් ගණනාවක් දණින් ඇද වැටී, එම රටවල ආර්ථිකය බංකලොත් තත්ත්වයට ඇද වැටී, ජනතාව පීඩාවට පත්ව තිබෙන වාතාවරණයකදී අප රටට මෙවැනි ආර්ථික ජයග්‍රහණ හිමි කර ගැනීමට හැකි වීම වැදගත්ය.

වයිරස් ව්‍යාප්තිය මැද වුවද අප රට ලැබූ සුවිශේෂ හා කැපී පෙනෙන ජයග්‍රහණයක් ලෙස එය හැඳින්වීම නිවැරදි වේ.

2021 ජනවාරි 12 වැනි දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වල වර්ධනීය තත්ත්වය ඉස්මතු වූ අතර එදින සියලුම කොටස් මිල දර්ශක සියයට 7.5 කින් ඉහළ නැඟ තිබුණි. තවද කොළඹ කොටස් හුවමාරුවෙහි විශාලතම සහ ද්‍රවශීලතාවෙන් ඉහළම කොටස් 20කින් සමන්විත මිල දර්ශකය වන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකයද සියයට 4 ක ප්‍රගතියක් වාර්තා කිරීමට සමත් විය. මීට අමතරව පසුගිය වසර තුළ බිලියන 1.8 ක් ලෙස සටහන් වූ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුමද මේ වන විට බිලියන 7ක පිරිවැටුමක් ලෙස ඉහළ නැඟ තිබේ. එසේම එසේම දේශීය ආයෝජකයන් මෙන්ම තරුණ පරපුරද ඉතාම උද්යෝගයකින් යුතුව කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වල සක්‍රීය ලෙස නිරත වී සිටිනු දැක ගත හැකි අතර දෛනිකව සිදු වන ගනුදෙනු සංඛ්‍යාවද තිස් දහස ඉක්මවා තිබීම විශේෂත්වයක් වේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමට ගත් පියවරත් සමඟ නිරන්තරයෙන් තාක්ෂණයත් සමඟ ගනුදෙනු කරන තරුණ පරපුර ද කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා උනන්දු වන ආකාරයක් දකින්නට ලැබීම සතුටට කරුණකි.

මේ වන විට බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවන ඉතිරි කිරීම් වලදී ගිණුම් හිමියන්ට ලැබෙන පොලී මුදල් අනුපාත අඩු වී තිබීම කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා ජනතාව පෙලඹීමට ප්‍රමුඛ හේතුවක් වී ඇති අතර; තවදුරටත් එලෙස බැංකු පොලී අනුපාත අඩු මට්ටමක පවත්වා ගෙන යාමට රජය කටයුතු කරන්නේ නම් කොටස් වෙළෙඳපොළ හී ආයෝජනය කිරීමට වැඩි පිරිසක් උත්සුක වනු නිසැකය.

සත්‍ය වශයෙන්ම කොළඹ කොටස් වෙළෙදපොළ මේ වන විට ජයග්‍රාහී ගමන් මගක් වෙත අවතීර්ණ වී ඇති බව පැහැදිලි ලෙසම පිළිබිඹු වන අතර කුමන නිර්ණායකයක් ගත්තත්, මිල දර්ශකයක් ගත්තත්, දිනපතා සිදු වන ගනුදෙනු ප්‍රමාණය ගත්තත් දැක ගත හැකිව තිබෙන්නේ වර්ධනීය තත්ත්වයකි. මේ වසරේ ගත වූ පළමු සති දෙක තුළ සිදු වූ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිළිබඳව සමාලෝචනය කර බැලීමේදී මේ වර්ධනීය තත්ත්ව පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වන අතර එහිදී මේ වර්ධනයෙන් 95% කටම දායකත්වය ලබා දී තිබෙන්නේ දේශීය ආයෝජකයන් බවද තහවුරු වී ඇත.

Comments