ජාතියේ නැණ පහන් දැල්වූ සිය­ව­සක් සපු­රන කොළඹ සර­ස­වියේ මානව ශාස්ත්‍ර පීඨය හා විද්‍යා පීඨය | සිළුමිණ

ජාතියේ නැණ පහන් දැල්වූ සිය­ව­සක් සපු­රන කොළඹ සර­ස­වියේ මානව ශාස්ත්‍ර පීඨය හා විද්‍යා පීඨය

මෙරට උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන කොළඹ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා විද්‍යා අධ්‍යපනය සහ විශ්වවිද්‍යාලයීය පුස්තකාලය ආරම්භ කොට ලබන 21 වැනිදාට සියවසක් සම්පූර්ණ වේ. මෙරට මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අධ්‍යාපනයට වසර 100ක් සපිරෙන 2021 ජනවාරි 21 දිනය ඉතා සුවිශේෂී දිනයක් වන්නේ ආරම්භයේ සිටම කොළඹ විශ්වවිද්‍යාලය සැමට උසස් අධ්‍යාපනය ලබාගනු හැකිවීම සඳහා සුවිසල් කාර්යභාරයක් ඉටු කර තිබෙන හෙයිනි. ඒ අතරින් කලා හා විද්‍යා ඉගැන්වීම් හා පර්යේෂණවල පුරෝගාමී ආයතනය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය සුවිශේෂී වන්නේ පසුගිය දශක කිහිපය තුළ ඉගැන්වීමේ ගුණාත්මකභාවය සහ නගර ව්‍යුහයේ ප්‍රමුඛතම අංගයක් ලෙස එය මෙරට ප්‍රජාව සමඟ බද්ධ වූ බුද්ධියේ තෝතැන්නක් බවට පත්ව ඇති නිසාවෙනි.

 

සුවිශේෂී වෙනසකින් යුතු සියවසකින් බිහිවූ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය 20 වැනි සියවසේ මුල් භාගය දක්වා දිව යන්නකි. කොළඹ විශ්වවිද්‍යාලයේ න්‍යෂ්ටිය වර්ෂ 1870දී කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමත් සමඟ ආරම්භ විය. සිලෝන් විශ්වවිද්‍යාල විද්‍යාලය සිසුන් 115 දෙනෙකුගෙන් ආරම්භ වූයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධවය. 1921 ජනවාරි 21 වැනි දින එය ලංකා විශ්වවිද්‍යාල විද්‍යාලය ලෙස නිල වශයෙන් විවෘත වූ අතර එහි පළමු විදුහල්පතිවරයා වන්නේ රොබට් මාසර්ය. ඉන් අනතුරුව එහි පළමු උපකුලපතිවරයා ලෙස සේවය කරන ලද්දේ ශ්‍රීමත් අයිවර් ජෙනිංස්ය.

ශ්‍රීමත් එඩ්වඩ් ඩෙන්හැම්ගේ නිර්දේශය යටතේ විශ්වවිද්‍යාල විද්‍යාලය රෙජිනා වලව්ව නම් පෞද්ගලික මන්දිරයේදී ආරම්භ කරන ලද අතර එය රජය විසින් මිලදී ගැනීමෙන් පසුව විද්‍යාල මන්දිරය(කොලෙජ් හවුස්) ලෙස ප්‍රකට විය. රෙජිනා වලව්ව යනු දානපතියකු වූ ශ්‍රීමත් චාල්ස් හෙන්රි ද සොයිසාගේ පුතකු වන ආතර් ද සොයිසාට අයත් නිවෙසක් වන අතර දැන් එම පරිශ්‍රය ජාතික උරුම ස්ථානයක් ලෙස සැලකේ.1921 මෙම මුල් අවධියේදී, ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි විභාග සඳහා සිසුන් සූදානම් වූ අතර කලා හා විද්‍යා පිළිබඳ පළමු දේශන පැවැත්වූයේ එම විද්‍යාල මන්දිරයේදීය. 1921 සිට 1935 දක්වා කාලය තුළ ලංකාවේ විශ්වවිද්‍යාල විද්‍යාලයේ සිසුන් 337 දෙනෙකු ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගත් අතර එයට කාන්තා උපාධිධාරීන් 25දෙනකු ඇතුළත්ය.

1942 අප්‍රේල් මාසයේදී රාජ්‍ය මණ්ඩලය විසින් ලංකාවේ වෛද්‍ය විද්‍යාලය සහ ලංකා විශ්වවිද්‍යාලය ඒකාබද්ධ කරමින් ලංකාවේ විශ්වවිද්‍යාලය පිහිටුවන ලදී. 1950 දශකයේ මුල් භාගයේදී ලංකාවේ විශ්වවිද්‍යාලය පේරාදෙණිය වෙත මාරු වූ අතර මේ කාලය වන විට පොදුරාජ්‍ය මණ්ඩලයේ විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානයක් ලෙස කීර්තියක් අත්කර ගෙන තිබුණි.

 

කොළඹ විශ්වවිද්‍යාලය ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත්වූයේ 1978 විශ්ව විද්‍යාල පනත යටතේ වන අතර මේ වන විට එය පීඨ 9 ක්, ආයතන 7 ක් සහ මධ්‍යස්ථාන හා ඒකක 8 කින් සමන්විත වේ.

ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්වවිද්‍යාලය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රඥාව කරා යන ගමනේදී එහි සමස්ත වගකීම දරමින් එම විශ්වවිද්‍යාලයේ 18 වැනි උපකුලපති ලෙස කටයුතු කරන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජයරත්නයි.

විශ්වවිද්‍යාලයේ ජීවිත කාලය තුළ මෙම උදාවූ මේ සුවිශේෂී අවස්ථාව ඇය විසින් හඳුන්වන්නේ පසුගිය වසර සියය තුළ විශ්වවිද්‍යාලයේ ජයග්‍රාගී ගමන සැමරීමේ අවස්ථාවක් පමණක් නොව ඒ හමුවේ ඇති දීප්තිමත් අනාගතය ගැන සිතා බැලීමටද ලැබුණු කදිම අවස්ථාවක් ලෙසටයි. එයට විශ්වවිද්‍යාලයේ දක්ෂ කාර්යමණ්ඩලය, සිසුන් සහ ආදි සිසුන්ගේ අධ්‍යයන සාර්ථකත්වය සහ සාඩම්බර ජයග්‍රහණද ඇතුළත් බවද ඇයගේ විශ්වාසයි.

සියවස සපුරන කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය මේ වන විට දෙපාර්තමේන්තු 7කින් සමන්විත වන අතර වාර්ෂිකව සිසුන් 650කට අධික සංඛ්‍යාවක් ඊට ඇතුළත් වේ. විවිධ ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධි පාඨමාලා සඳහා දැනට ලියාපදිංචි වී සිටින පශ්චාත් උපාධි සිසුන් සංඛ්‍යාව 400කට අධික වේ. එහි සියලුම දෙපාර්තමේන්තු විදේශයන්හි සුප්‍රසිද්ධ විශ්වවිද්‍යාල හෝ විද්‍යාත්මක පර්යේෂණ ආයතන සමඟ ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතා ඇති අතර, ජෛව තාක්‍ෂණය, පාරිසරික විද්‍යාව, නැනෝ තාක්‍ෂණය යන ක්ෂේත්‍රවල අන්තර්විනය පර්යේෂණ සඳහා සක්‍රීයව පහසුකම් සපයයි. විද්‍යා පීඨාධිපති ධුරය දරන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් සොන්නාදරයන් ය. ශිෂ්‍යයකු ලෙස කොළඹ සරසවියට ඇතුළත් වූ හෙතෙම එහිම සහකාර කථිකාචාර්වරයකු ලෙස වෘත්තිය ජීවිතය අරඹා මේ වන විට මහාචාර්යවරයකු දක්වා සාර්ථක ගමනක් පැමිණ සිටී.

“ කොළඹ විශ්වවිද්‍යාලයට ඉතා හොඳ තාක්ෂණික අංශයක් තිබෙනවා. කොරෝනා වසංගත අවදානම අපේ රටට පැමිණීමටත් පෙර සිටම අප ඊට මුහුණ දෙන ආකාරය තාක්ෂණික අංශය මඟින් මනාව සැලසුම් කළා. ඒ නිසාම වසංගතය හමුවේ රටම ලොක්ඩවුන් වුණත් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි අධ්‍යයන කටයුතු සිදු කිරීමට හැකිවුණා.

හැම දේශකයකුගේම දේශන ඔන්ලයින් හරහා පවත්වන්න අපට හැකිවුණා. ඒ තුළ මේ වන විට විෂය නිර්දේශයට අදාළ දේශන සියල්ල පවත්වා තිබෙනවා. මේ දිනවල විභාග පැවැත්වීම පිළිබඳව කටයුතු කරමින් සිටිනවා. ඔන්ලයින් අධ්‍යයන කටයුතුවලදී විද්‍යා විෂයයන්වල ප්‍රායෝගික ක්‍රියාකාරකම් පැවැත්වීමේ අසීරුතාවලට මුහුණ නොදෙනවා නොවෙයි. නමුත් ඇතැම් විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව අපි ඉදිරියෙන් සිටින බව කිව හැකියි.”

සියවස සපුරන ශාස්ත්‍ර පීඨය කොළඹ විශ්වවිද්‍යාලයේ විශාලතම පීඨය වන අතර එය අධ්‍යයන දෙපාර්තමේන්තු 11කින් සහ ඒකක 5කින් සමන්විත වන අතර මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාව පිළිබඳ අධ්‍යයන හා පර්යේෂණ ඇතුළත් උපාධි හා පශ්චාත් උපාධි වැඩසටහන් දෙඅංශයෙන්ම සමන්විත වේ. දකුණු ආසියානු කලාපයේ නිර්මාණාත්මක චින්තනය, ඉගැන්වීම, පර්යේෂණ සහ ප්‍රජා සත්කාරයන්හි විශිෂ්ටත්වයේ කේන්ද්‍රස්ථානයක් වීමට තරම් පොහොසත් එම ශාස්ත්‍ර පීඨයේ වත්මන් පීඨාධිපති ලෙස නොබෝදා පත්වූයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලසන්ත මානවඩු ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන හෙතෙම ආචාර්ය මණ්ඩල සාමාජිකයකු ලෙස ඇරඹූ වෘත්තිය ගමනට මේ වන විට දශක හතරකි. දැරිය හැකි සියලු ඉහළ තනතුරු දරමින් මහාචාර්ය ධුරයත් එතැනින් පීඨාධිපති තනතුර දක්වාද පැමිණි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලසන්ත මානවඩු ඒ පිළිබඳ මෙසේ පැවසීය.

“ ශාස්ත්‍ර පීඨය ඉකුත් දශක දෙක තුළ වේගවත් දියුණුවක් ලැබුවා. මෙම විශ්වවිද්‍යාලයේම සිසුවකු ලෙස එය මට විශාල සතුටක්. ගුණාත්මකව වගේම සමහර විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව ප්‍රමාණාත්මකවත් අපේ ශාස්ත්‍ර පීඨය ඉදිරියෙන් සිටිනවා. මෙම පීඨයේ සිසුන් 2500ක් පමණ සිටිනවා. එම ප්‍රමාණය සමහර විශ්වවිද්‍යාලවල සමස්ත සිසු සංඛ්‍යාවටත් වඩා ඉහළ අගයක්. විවිධ ආබාධ සහිත සිසුන්ට පවා කිසිදු වෙනසකින් තොරව අධ්‍යයන කටයුතු කරගැනීමේ විශේෂ පහසුකම් අප පීඨය තුළ සලසා තිබෙනවා. සෑම ශිෂ්‍යයකුටම පීඨය තුළ වයිෆයි සහ පරිගණක පහසුකම් ලබාදී තිබෙනවා. වයිෆයි පහසුකම් පළමුව ලබාදුන්නේත් කොළඹ විශ්වවිද්‍යාලයයි. සාමාජිකයන් 175ක් පමණ වන අපගේ ආචාර්ය මණ්ඩලය සුදුසුකම්වලින් සහ පළපුරුද්දෙන් ඉතා පොහොසත් දක්ෂ කණ්ඩායමක්. ඒ නිසාම ඉතාම පැහැබර සුබවාදී අනාගතයක් අප ඉදිරියේ තිබෙන බව මගේ හැඟීමයි. පෙරට වඩා සිසුන් අතර විනයගරුක සහ යහපත් හැසිරීමක් දක්නට ලැබෙන බවත් විශේෂයෙන් කිව යුතුයි. ඒ සියල්ල තුළ සියවසක සමරන මේ අවස්ථාව ආචාර්ය මණ්ඩලයටත් සිසුන්ටත් ප්‍රීතිමත් අවස්ථාවක් බව කිය යුතුයි.”

පවතින වසංගත තත්ත්වය තුළ මෙම සියවස් සමරුවට සමඟාමීව ශත සංවත්සර වැඩසටහන් මාලාවක් මෙම වසර පුරාම පැවත්වීමට සැලසුම් කර ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් පැවසීය.

ගෙවුණු සියවස තුළ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවත් සහ ස්වාභාවික හා ජීවිත විද්‍යාව සඳහාත් කැපවූ කොළඹ විශ්වවිද්‍යාලයේ කලා හා විද්‍යා පීඨ දෙක සහ විශ්වවිද්‍යාලයීය පුස්තකාලය තුළින් රටට, ලෝකයට විහිදවූ බුද්ධියේ රන් රැස් දහර ඉතා ප්‍රබලය. ඒ රැස් දහරින් රටේ අනාගතය වඩාත් ප්‍රභාවත් වනු ඇත.

 

Comments