දෑස් අඳ මිනි­ස­කුගේ පින් පඩි­යෙන් නිමැවූ බුදු පිළි­මය | සිළුමිණ

දෑස් අඳ මිනි­ස­කුගේ පින් පඩි­යෙන් නිමැවූ බුදු පිළි­මය

මේ සුවිශේෂ කතා ප්‍රවෘත්තිය සිය මාසික පින් පඩියෙන් දෑස් ඇති පිරිසට වැද පුදා පින් රැස්කර ගැනීමට බුදු පිළිමයක් පූජා කළ උතුම් මිනිසකු පිළිබඳව ලියවුණකි. ගුවනින් බණ අසන, මනසින් ලොව දකින, දෙනුවන් නොම පෙනෙන උතුම් මිනිසකු ලෙසින් දශක තුනක සිට වීරකෝන් මේ දිවයිනේ මහ සඟරුවනගේ සිත් දිනාගෙන සිටියේය.

වීරකෝන් පාලින්දනුවර වළකඩ කොස්හේන ප්‍රදේශයේ ගල් ලෙනක ජීවත්ව සිටි ගල් ලෙනේ පියදාසගේ සිවුවන පුත්‍රයාය. ගල්ලෙන පියදාස නම් ඔහුට ධනය වස්තුව දේපළ තර කිරීමේ ආශාවක් තිබුණේ නැත.

වීරකෝන්ට සහෝදර සහෝදරියන් තවත් 07 කු සිටී. ඔවුන් අතරින් තවත් තුන් දෙනෙකුට ද දෑස් නොපෙනේ. උප්පත්තියෙන්ම දෑස් අන්ධ වීම නිසාම වීරකෝන්ගේ පවුලේ මෙම දරු පිරිස වෙත ඇතැම් පිරිසක් බැලුවේ මහ පාපතර පිරිසක් ලෙසටයි.

තමන්ට කියා කිසිදු වත්කමක් නොමැති වීරකෝන් සංසාර ජීවිතය ජය ගැනීමේ බෞද්ධ චින්තනයෙන් පොහොසත්වූ බෝධිසත්ව ගමන් මාර්ගයේ අකම්පිතව ගමන් කරන විරල චරිතයකි.

ඔහු සුදු හඳුන් දරෙන් ප්‍රණීත ලෙස දානය දෑතින්ම උයා බුදු හිමි පුදයි.

වීරකෝන් සිය ඥාතීන් සමඟ පැල් කුටිය ඉදිරිපිට. 
විහාරාධිපති තඹුත්තේගම සීලවිමල හිමි ද වෙති.

වීරකෝන් 08 කු ගෙන් යුතු පවුලේ 04 වැනි දරුවාය. වීරකෝන්ගේ මව කේ. සෝමාවතීය. ඒ වනවිටත් වීරකෝන්ගේ පවුලේ ලොකුම දරුවා වන අමරාවතී ද උප්පත්තියෙන්ම දෑස් අඳව සිටියේය. අමරාවතී ඇතුළු වීරකෝන් ගේ අනෙකුත් සහෝදර සහෝදරියන් මාලනී, නන්දනී, මානෙල් සිරියලතා, ඉන්ද්‍රා මාලනී, රාණි සහ ජයතිලක වෙති.

යන්තමින් කරදඬු උස් වෙද්දී තනිව ජීවත්වූ වීරකෝන් බණ දහමට වඩාත් නැඹුරු විය‍. වීරකෝන් 1990 සිට 2010 දක්වා ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය වූ ධර්මදේශනා මාලා 20,000 කට අධිකව ද ශ්‍රවණය කර ඇති; ධාර්මික සත්‍යවාදී මිනිසෙකි. ඔහු කුලියට ඉඩම්වල වැඩ කිරීම නිසා ලැබෙන මුදලින් කොටසක් වන්දනා ගමන් සඳහා ද ඉතිරි කළේය. ඉතිරි කළ මුදල්වලින් වීරකෝන් වට වන්දනා ගියේය. සොළොස්මස්ථානය, නාගදීපය, කැලණිය, බෙල්ලන්විල, ශ්‍රීපාදස්ථානය, සමාධි ප්‍රතිමාව වැද පුදාගත්තේය. ශ්‍රීපාදස්ථානය වැඳීම සඳහා රත්නපුර හා නල්ලතන්නි මාර්ග ඔස්සේ 17 වරක් ගොස් තිබේ.

වීරකෝන්ට හා හා පුරා කියා පින් පඩිය අතට ලැබුණේ 2003 අවුරුද්දේය. පින්පඩියට ලැබුණු මුදල් වීරකෝන් කොටස් හතරකට වෙන්කර දැස් නොපෙනෙන සොයුරියන් හට බෙදුවේය. දෙමාපියන්ට හා මියගිය ඥාති ජන සමූහයා වෙත පින් අනුමෝදනා සිදුකිරීම සඳහා මහා සංඝරත්නය උදෙසා අට පිරිකර පිරිනමා සාංඝික මහා දානයක් පිරි නැමීම උදෙසා තවත් කො‍ටසක් පින් කැටයක තැන්පත් කළේය‍‍.

කාලයකදී එම පින් කැටය පිරී යද්දී තවත් පින් කැටයකට මුදල් දැම්මේය. පින්කැට හතර පහක්ම මුදලින් පිරී ගිය අතර ඔහු සාංඝික දානය පිළියෙල කොට මහත් ගෞරවාන්විතව බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සඝ සතු කොට ගමේ පන්සලේ භික්ෂුන් වහන්සේලාට පූජා කළේය.

වර්ෂ 2018 දී මාසිකව ලැබුණු පින් පඩියට රුපියල් දෙදහසක් වැඩි විය. ‘මම කුලියට වැඩ කර හොයා ගත්තු මුදල් සහ පින් පඩියේ මුදල්වලින් කෑමට, බෙහෙත්වලට වැය වී ඉතිරි වුණු මුදල් එකතුවී රුපියල් ලක්ෂ දෙකක් තිබුණා. අපේ විහාරාධිකාරි තඹුත්තේගම සීලවිමල පොඩි හාමුදුරුවන් හමුවෙලා ඒ මුදල්වලින් ගමේ අයට දිවා රාත්‍රි පින් රැස් වන පින්කමක් කිරීම අභිප්‍රාය බව කියා සැලකර සිටියා‘ වීරකෝන් පුණ්‍ය සිතුවිලි අවදි කළේ ඒ අයුරිනි. වීරකෝන් උපාසකතුමා වෙත ධර්ම ඥාණය මඟින් ලොව දැකීමට හා ජීවිතය ජය ගැනීම සඳහා උපදෙස් ධර්ම අවවාද ලබාදෙනු ලබන භික්ෂුන් වහන්සේලා අතරින් විශාල කාර්ය භාරයක් සපුරා දෙනු ලබන්නේ තරුණ ශීල විමල හිමියන්ය.

මෙම පින් පඩියෙන් සිය විහාරස්ථානයට විශාල කීර්තියක් ආලෝකයක් ලබා දෙමින් අධිෂ්ඨාන පාරමිතාවෙන් වැඩ සිටින අඩි 10½ උසින් යුතුවූ අති දර්ශනීය බුද්ධ ප්‍රතිමාවක් වැඩම වූයේය. ප්‍රතිමා ශිල්පියා හමුවී අවශ්‍යතාව හෙළි කළ පසු වීරකෝන්ගේ සත් ක්‍රියාවට දායක වෙමින් රුපියල් ලක්ෂ 20 අධික මිල කළ නොහැකි බුද්ධ ප්‍රතිමාව වැයවූ මුදල පමණක් පියවා ගෙන ලබාදීමට ප්‍රතිමා ශිල්පියා කැමැති විය.

2021 ජනවාරි පළමු වැනි දින මෙම බුද්ධ ප්‍රතිමා රාජයාණන් ගේ නේත්‍රා නිරාවරණය කිරීමේ මහා පින්කම සිදු වූයේ බෙලිගල් කෝරලයේ ප්‍රධාන සංඝනායක පුරාවිද්‍යා උපදේශක යටිගල්ඔලුවේ විමලරතන නාහිමියන් වළකඩ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙනි. යටිගල්ඔලුවේ විමලරතන හිමියන් සමඟ දෑස් අන්ධ වීරකෝන් සම්බුද්ධ ප්‍රතිමාවහන්සේ ගේ දෑස් නිරාවරණය කළ අසිරිමත් අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් වෙනුවෙන් පොදුජන පෙරමුණේ අගලවත්ත සංවිධායක වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරළ ද එක්ව සිටියේය.

පින් පඩිය පරිත්‍යාග කරමින් දෑස් අන්ධ වීරකෝන් සිද්ධ කළ මෙම සත් ක්‍රියාව පිළිබඳව ඇස් ඇති සැමගේ දෑස් අරවන මහා පිනක් බැවින් මේ සිදුකළ මහාර්ඝ පින්කමේ බල මහිමයෙන් වීර‍කෝන් පවුලේ සියලු දෙනාගේත් සමස්ත ශ්‍රී ලංකාවාසි ජනතාවගේත් සියලු අපල තුරන්වී සෞභාග්‍ය උදාවේවා යැයි නාහිමියෝ ප්‍රාර්ථනා කළහ.

මේ අතර වීරකෝන් තම ආදරණීය පියාණන් සමඟ කාලයක් ගත කළ ගල් ලෙන් ගුහාව බෞද්ධ කේන්ද්‍රස්ථානයක් බවට පත්වන මොහොත නුදුරු අනාගතයේදී දැක බලා ගැනීමට හැකිවන බව විහාරස්ථදායක සභාව පවසති.

 

Comments