දිවි නොතකා දිවි රැකගත් සුව විරු රිය­දුරා | Page 2 | සිළුමිණ

දිවි නොතකා දිවි රැකගත් සුව විරු රිය­දුරා

නානායක්කාරවසම් ගොඩකන්ද ආරච්චිගේ සුදේෂ් වරුණශාන්ත (34) උණවටුණ රෝහලේ ගිලන්රථ රියදුරකු ලෙස සේවය කරන්නේය. කොරෝනා ආසාදිත රෝගීන් රෝහල් හා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සුදේෂ්ගේ ප්‍රධාන රාජකාරියයි. පසුගිය දිනක සුදේෂ් සිය රිය සහායක දිනේෂ් අපරැක්ක සමඟ කොරෝනා ආසාදිත රෝගීන් පිරිසක් හම්බන්තොට රෝහල වෙත රැගෙන ගොස් පැමිණ උණවටුණ රෝහලට වී සිටියේය. රැ 11 කණිසම පසුවී තිබුණි. සුදේෂ්ගේ ජංගම දුරකථනය නාද වන්නට විය. දුරකථන ඇමතුම සුදිර වෛද්‍යතුමාගෙන්ය.

 

“කොල්ලෝ මේ වැඩේ උඹට විතරයි කරන්න පුළුවන් බැහැ නොකියා වැඩේ කරන්න ඕන” වෛද්‍යතුමා කීවේය.

“මොකක්ද සර් ප්‍රශ්නෙ” සුදේෂ් ඇසුවේය. “ගාල්ල නගරයේ පුද්ගලික රෝහලකට පැමිණි මවකට හා කුඩා දරුවකුට කොරෝනා වයිරසය ආසාදනය වෙලා; බාබාට හුස්ම ගන්න අමාරුයි. අපිට පැයභාගයක විතර කාලයක් තමයි තියෙන්නේ දරුවා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගෙනියන්න ඒ නිසා පැය භාගයක් ඇතුළත දරුවා ගෙනියන්න ඕන. කරාපිටිය රෝහලේවත් ඒ බබා දමන්න ඇදක් නැහැ” සුදිර වෛද්‍යතුමා කීවේය. “හරි සර් මම ඒ අභියෝගය බාර ගන්නම්”. තමන්වෙත පවරන ඔනෑම දෙයකට නැහැ බැහැ නොකියන සුදේෂ් ඒ වගකීම බාර ගත්තේය.

“ඇත්තටම එදා හම්බන්තොට ගිහින් ඇවිත් මහන්සිවෙලා හිටියේ. පස්සේ මම ආරක්ෂිත ඇඳුම් ඇදගෙන විනාඩි කිහිපයක් ඇතුළත ඒ බාබා සහ මවත් ගිලන් රථයට නංවාගෙන විනාඩි 37කින් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රැගෙන ගියා. කොහොම හරි දරුවාගේ ජිවතය බේරාගැනීමට හැකිවුණා. අදටත් ඒ දරුවාගේ තාත්තා මට උදේට කතා කරලා ඒ සිද්ධිය සිහිපත් කරලා ස්තුති කරනවා”. තමන් මුහුණ දුන් ත්‍රාසජනක අත්දැකීමක් විස්තර කරමින් සුදේෂ් අප සමඟ කතාවට වැටුණේය.

අපේ කථානායකයා වන සුදේෂ් අනිකුත් ගිලන් රථ රියදුරන්ට වඩා විශේෂ වු ගිලන්රථ රියදුරෙකි.

මක්නිසාදයත් කොරෝනා වසංගතය ආරම්භ වූ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලයේදී සුදේෂ් විසින් සිය ගිලන් රථයෙන් රෝහල් සදහා රැගෙන ගිය කොරෝනා ආසාදිත හා සැකසහිත රෝගීන් සංඛ්‍යාව 1250කි. ඊට අමතරව පී.සී.ආර් පරික්ෂණ සඳහා සුව වූ රෝගීන් කොරෝනා මධ්‍යස්ථානවල සිට නිවෙස්වලට රැගෙන ඒමත් සුදේෂ් විසින් සිදුකරන්නේය. දකුණු පළාතේ වැඩිම කොවිඩ් හා සැකසහිත රොගීන් සංඛ්‍යාවක් රෝහල් වෙත රැගෙන ගොස් ඇත්තේ සුදේෂ්ය.

මේ කාලයේදී සුදේෂ් විසින් කොරෝනා ආසාදිත රෝගීන් 400ක් පමණ සිය ගිලන් රථයෙන් කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය.

මීපාවල පෝද්දල පදිංචි සුදේෂ් තම රාජකාරිය දේවකාරියක් ලෙස සැලකු ගිලන්රථ රියදුරෙකි. හේ මීපාවල අමරසුරිය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි. එක් දරුපියකු වන සුදේෂ්ගේ බිරිඳ රුවිනි සුනේත්‍රා කරාපිටිය රෝහලේ හතර කාමරයේ රෝහල් සේවිකාවක් ලෙස සේවය කරන්නීය.

මව ඒ සඳලතා කරාපිටිය රෝහලේ සුළු සේවා පාලකවරියකි. පියා විශ්‍රාම ගොස් ඇති අතර ඔහුද ගිලන් රථ සහායකවරයකු ලෙස සේවය කළ අයෙකි. මේ අනුව බලන විට සුදේෂ්ගේ මුළු පවුලම සුවවිරු පවුලකි. සුදේෂ් 2014 වර්ෂයේ දි ගිලන් රථ රියදුරකු ලෙස රැකියාවට එක්වී ඇත. කොරෝනා වසංගතය ආරම්භ වූයේ මාර්තු මාසයේ. කොරෝනා ආසාදිත රෝගීන් රැගෙන යන්න ගිලන් රථ රියදුරන් කැමති වුණේ නැහැ.

ගොඩක් අය බය වුණා; ඒ සඳහා ඉදිරිපත් වුණේ නැහැ. අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජීවරත්න සර් මට කිවා කොල්ලෝ මේ වැඩේ බාරගන්න කියලා. මුලදි බයක් ඇතිවුණා. නමුත් සර්ගේ කීම අනුව මම වැඩේ බාර ගත්තා. මට ආරක්ෂිත ඇඳුම් කට්ටල හම්බු වුණා. වෙනත් රෝහලකින් අලුත් ගිලන් රථයක් ගෙනවිත් දීමට ජිවරත්න සර් කටයුතු කළා. මාර්තු මාසයේ 20 වැනිදින තමයි ගිණිමැල්ලගහ සිට පළමු කොරෝනා රෝගියා ගිලන් රථයෙන් අයි.ඩී. එච් රෝහලට රැගෙන ගියේ. සුදේෂ් කීවේ සිනහවෙමිනි.

සැබවින්ම සුදේෂ් ලා වැනි ගිලන්රථ රියදුරන් කරනු ලබන්නේ භාරදූරකාරියකි. දුරබැහැර ප්‍රදේශවලට කොරෝනා රෝගීන් රැගෙන යන අවස්ථාවලදි ඔවුන් රාත්‍රිය ගත කරන්නේ ගිලන් රථය තුළයි.

හරියකට කෑමක් නැත; නින්දක් නැත. එවැනි ගමනකදී වියහියදම් සඳහා ලැබෙන්නේ රුපියල් 700ක මුදලකි. ඒ මුදල නම් කිසිසේත්ම ප්‍රමාණවත් නැත. සුදේෂ් මෙන්ම ඔහුගේ සහායක දිනේෂ් අපරැක්ක ද තමන්ට ලැබෙන දීමනා ගැන වැඩි අවධානයක් යොමු නොකරති.

ගිලන් රථය තේ කඩයක් ළඟ නතර කරලා තේ එකක්වත් බොන්න විදියක් නැහැ. කඩයකට ගිහින් කෑම කන්න බැහැ. ගිලන් රථය නතර කරනවිටම ඒ අය දන්නවා කොරෝනා රෝගීන් අදින ගිලන් රථයක් කියලා. දුරබැහැර ප්‍රදේශවලට ගියපු දිනවලට රාත්‍රියට ගිලන් රථය නතර කිරිමට විහාරස්ථානයකින් වත් ඉඩක් ලැබෙන්නේ නැහැ.

පොල්ගොල්ලේ ගිය එක් දිනක මමයි ගෝලයයි විහාරස්ථානයක වැලිමළුවේ නිදාගත්තා. ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අපිව ඇගයීමටත් ලක්කරලා තියෙනවා. කොවිඩ් වසංගතයේ හොදට වැඩකරන සෞඛ්‍ය සේවකයන් අගයන්න වැඩපිළිවෙළක් තිබුණා. ඒ ඇගයීමේ දි මට ලකුණු 100ක් 100ම ලැබුණා. දින දෙකක් පවුලේ අය සමඟ යාල සිනමන් හෝටලයට ගොස් විනෝද වෙලා සැහැල්ලුවෙන් ගතකරන්න අවස්ථාව ලැබුණා. ඒ සියලු වියහියදම් දරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින්. ඇත්තටම මේ අවස්ථාවේ දි මාව නිරන්තරයෙන් දිරිමත් කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා, වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ සිංගාරච්චි සර් ඇතුළු සියලු කාර්යමණ්ඩලය මේ අවස්ථාවේ දි සිහිපත් කළයුතු බව සුදේෂ් කීවේය.

කොළඹ අයි.ඩී එච්, නෙවිල් ප්‍රනාන්දු, යාපනය ඉරණවිල, කොළඹ මාළිගාවත්ත, කාත්තන්කුඩි මඩකළපුව වැලිකන්ද, බිදුණුවැව, කඹුරුගමුව හික්කඩුව හම්බන්තොට දර්ගා නගරය ආදී ප්‍රදේශවල පිහිටි රෝහල් සඳහා කොරෝනා ආසාදිත රෝගීන් සුදේෂ් විසින් ගිලන් රථයෙන් ප්‍රවාහනය කොට ඇත්තේය. මෙකී ගිලන් රථ රියදුරු පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය කේ.එච්. ජී. ජීවරත්න කීවේ මෙවැනි කතාවකි.

ඇත්තටම මේ ගිලන් රථ රියදුරු ගැන අපි ගොඩක් ආඩම්බර වෙනවා. කොරෝනා වසංගතය ආරම්භවූ අවස්ථාවේ කොරෝනා රෝගීන් රෝහල් සඳහා ප්‍රවාහනය කරන්න පුළුවන්ද කියලා අපි යෝජනා කළවිට ඔහු ඒ සඳහා කැමති වුණා. මේ ගිලන් රථ රියදුරුගේ අම්මා අපේම සෞඛ්‍ය සේවිකාවක්. ඇයත් මේ සඳහා තම පුතු දිරිමත් කරලා තියෙනවා යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීවේය.

Comments