නැඟෙනහිර පර්යන්තයේ සිදුවන්නේ කුමක්ද? | සිළුමිණ

නැඟෙනහිර පර්යන්තයේ සිදුවන්නේ කුමක්ද?

වරායක වැදගත්ම ස්ථානය පර්යන්තයයි. කොළඹ වරායේ එවැනි පර්යන්ත හතරකි. මෙයින් ජයබහාලුම් පර්යන්තය ගැඹුරින් මීටර් 14. 5කි. කොළඹ වරාය සතු වැඩිම සහ විශාලතම නෞකා මෙහෙයවිය හැකි එකම පර්යන්තය වන්නේ නැඟෙනහිර පර්යන්තය යි. මීටර් 1300ක දිගින් යුතු මෙම පර්යන්තයේ තුනෙන් එකක පමණ වැඩ කටයුතු මේ දක්වා ශ්‍රීලංකා වරාය අධිකාරිය මගින් සම්පූර්ණ කර ඇත. එහි මූලික ඉදිකිරීම් දැනටමත් අවසන් ව ඇත.

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමේ වැඩ පිළිවෙළට විරෝධතාවක් දක්වමින් වරායට අනුබද්ධ වෘත්තීය සමිති 23ක් බහු ජන සංවිධාන, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ වෘත්තියවේදීන් ආගමික නියෝජිතයන් රාශියක් එකතු විය.

පසුගිය යහපාලන රජය යටතේ අදූරදර්ශි දේශපාලනික තීන්දු ගැනීම නිසා මේ පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ නොකොට පෞද්ගලික වැඩ පිළිවෙළක් සැකසුණු බව ඔවුහු පවසති. කිසිදු රාජ්‍ය දේපළක් විජාතිකයන් ට විකුණා නොදමන බවත් විකුණා දැමූ සම්පත් නව රජය යටතේ නැවත පවරා ගන්නා බව මේ රජය බලයට

පත්වීමට පෙර සඳහන් කර ඇති බව වෘත්තිය සමිති නායකයෝ පෙන්වා දෙති. එම පොරොන්දු කඩ කර ඇති බව ද ඔවුහු පවසති. වරායේ නැඟෙනහිර පර්යන්තයෙන් සියයට 49 ඉන්දියානු පුද්ගලික සමාගමක් වන අදානි සමාගමට විකුණා දැමීමට රජය සුදානම් වන බවත් ඔවුහු පවසති. කෙසේ වෙතත් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී බවද ඉන්දියානු අදානි සමාගම එය ලබාදීම සුදුසු බවට යෝජනා වී ඇති බවත් වෘත්තිය සමිති නායකයෝ පවසති. එය ඩොලර් මිලියන 750ක් පමණ වන ආයෝජනයක් බව විෂය බාර ඇමැතිවරයා සඳහන් කර ඇති බවද වෘත්තිය සමිති සඳහන් කරයි. මේ සදහා ජනාධිපතිවරයා මැදිහත් වී ජනතා හඬට සවන් දී යම් විසදුමක් ලබා දෙතැයි ඔවුහු දැඩිව විශ්වාස කරති.

‘නැඟෙනහිර පර්යන්තය විකුණන්නෙත් නැහැ, බදු දෙන්නෙත් නැහැ’

ජනපති අවධාරණය කරයි

කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තයේ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධව සාකච්ඡා කිරීම පිණීස වරාය වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් පසුගිය 13 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා අවධාරණය කෙළේ නැඟෙනහිර පර්යන්තය බදුදීමක් හෝ විකිණීමක් සිදු නොකරන බවයි.

පසුගිය රජය නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසගෙන තිබුණු අතර වත්මන් රජය ඉන්දියාව සමඟ කළ සාකච්ඡාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බව ජනාධිපතිවරයා මෙහිදී වෘත්තීය සමිතිවලට පෙන්වා දුන්නේය.

නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය සැලසුම් කර ඇත්තේ රටේ ස්වෛරීභාවයට හානි නොවන පරිදි මෙන්ම ආදායම් සහ රැකියා උත්පාදනය පිණිස බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

කෙසේ වෙතත් නැඟෙනහිර පර්යන්තයේ සිදු කෙරෙන ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින් 66%කට ඉන්දියාව දායක වන බවද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා රජයට 51%ක අයිතිය හිමි වන සහ සහ 49% ඉන්දීයාවේ 'අදානි' සමාගමටත් හවුල් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම මෙහි සැලසුම බව ජනාධිපතිවරයා පැහැදිලිව පෙන්වා දෙන ලදී. පසුගිය ‘යහපාලන‘ රජය හම්බන්තොට වරාය වසර 99කට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබිණද තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බවද ජනාධිපතිවරයා මෙහිදී වෘත්තීය සමිතිවලට පෙන්වා දුන්නේ මේ රජයේ අරමුණ වන්නේ රටේ සම්පත් විදේශීය සමාගම්වලට අලෙවි කිරීම නොවන බවද පසක් කරමිනි.

ඉන්දියාවේ අරමුණ වෙන එකක්

ශාමල් සුමනරත්ත

ලේකම් වාණිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතිශීලි සේවක සංගමය

නැගෙනහිර පර්යන්තයේ ගැඹුර මීටර 18ක් වෙනවා. මුළු ඉන්දියාවෙම ගැඹුර මීටර 18 වූ වරායක් නැහැ. අපි සියයට තිස්පහක් වෙළද භාගයක් ප්‍රතිඅපනයනය මගින් හිමි කරගෙන තියනවා. මේ වනවිට නැගෙනහිර පර්යන්තයේ සියයට 49 කොටසක් ඉන්දියාවේ අදානි සමාගමට විකුණා දැමිමට කටයුතු කරනවා. එසේ විකුණා දැමුවහොත් සියල්ල අපිට නැතුව යනවා. ආර්ථීක ආගාධයකට අපි වැටෙනවා. ඒ නිසා අපි මේ නැගෙනහිර පර්යන්තය කිසිම රටකට විකිණීමට බදුදීමට නතු නොකර වරාය අධිකාරිය හරහා ක්‍රියාත්මක කරන්න කියලා කියනවා.

මේ ප්‍රශ්නය භූ දේශපාලනික ප්‍රශ්නයක්. චීනය මෙතැන ඉන්න නිසා කලාපිය බලවතා වුණ ඉන්දියාවට එයලොකු ගැටලුවක්. ඒ නිසා ඉන්දියාවට ආරක්ෂාව පිළිබද ගැටලුවක් නිසා තමයි මෙතැන්ට එන්න හදන්නේ. ඉන්දියාව ආයෝජනය කිරිමේ මුවාවෙන් එන්නේ වෙනත් අරමුණකටයි.

-------------------

තනි කැමැත්තට මෙහි කොටස් පවරන්න බෑ

ප්‍රසන්න කළුතරගේ

සභාපති නිදහස් සේවක සංගමය

ඇත්ත වශයෙන්ම ශ්‍රි ලංකා වරාය අධීකාරිය වෘත්තිය සමිති විසි තුනක් එකට එකතුවි නැගෙනහිර පර්යන්තය සියයට සියයක්ම ශ්‍රි ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක විය යුතුයි යන සටන දියත් කළා. ශ්‍රි ලංකා රජයට තනි කොම්පැනියකට මේ කොටස් පවරන්න බැහැ. මම හිතන්නේ නැහැ සදාචාර සම්පන්න රජයට එය කරන්න පුළුවන් කියලා. මේ අපේ සම්පත්. සියයට 49 හෝ සියයට තිස් පහක් හැට පහක් හෝ නොවෙයි ගැටලුව. ලංකාව තුළ පෞද්ගලිකකරණය කළ ආයතනවලට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒ ආයතන මේ වන විට පවතින තත්ත්වය පිළිබදව අපිට මනා වැටහීමක් තියනවා. අපි එයට විරුද්ධයි අපිට ශක්තිය තියනවා නැගෙනහිර පර්යන්තය හදන්න. අපි යෝජනා දීලා තියනවා. මේ පර්යන්තය වෙනුවෙන් ජාතික ව්‍යාපාර අපි ගොඩනැගුවා

 

----------------------

අධිකාරියට මේ පර්යන්තය ගොඩ ගන්න පුළුවන්

නිරෝෂන් ගොරකානගේ

ප්‍රධාන ලේකම් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය

නැඟෙනහිර පර්යන්තය සියයට සියයක් ලංකාවේ වරාය අධිකාරිය යටතේ පවත්වා ගත යුතුයි යන පදනමේ සිටයි අපි මේ සටන දියත් කරන්නේ. ඒ යටතේ සිවිල් සංවිධාන බහුජන සංවිධාන දේශපාලන පක්ෂ වෘත්තියවේදීන් ආගමික නියෝජිතයන්. සියලු දෙනාට අපි ආරාධනා කළා. ඒ සදහා එකම අරමුණක් ඇතිව සියලු ම පක්ෂ නියෝජනය කරන වෘත්තිය සමිති මෙන්ම වෘත්තියවේදින්, විද්වතුන් මේ සඳහා දායකවුණා. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පවරා දිමට පිඹුරුපත් සකසමින් සිටිනවා.

මේ පිළිබඳව අධ්‍යයනය කර කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ලබා දුන් වාර්තාව අනුව මෙම ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යාමටයි රජය කටයුතු කරන්නේ. එම නිසා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට දීමට ආණ්ඩුව පැහැදිලි ස්ථිර තීරණයක් අරගෙන තියනවා. මේ ආයෝජනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 700ක්. අපි මේ තීරණයට විරුද්ධයි.

-----------------

වෘත්තීය සමිති එක්ක මහජනයාත් පෙළ ගැසුණා

 ලාල් බංගමුවගේ

සභාපති වරාය ස්වාධීන සේවක සංගමය

නැඟෙනහිර පර්යන්තය විදේශ රටක සමාගමකට විකිණීමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට සමස්ත ලංකා වෘත්තිය සමිති විසිතුනක් ඒකරාශි වුණා. වරාය වෘත්තිය සමිති විසිතුනක් එකතුවී ජාතික එකමුතුවක් සකස් කරමින් මේ විරෝධතාවය ප්‍රකාශ ඉදිරිපත් කළා. අතිවිශාල විදේශ විනිමයක් උපයන්න පුළුවන් විශාල ධනස්කන්ධයක් පුළුවන් මිටර් දහඅටක ගැඹුරකින් යුතු විශාලතම ජැටියක් විජාතික සමාගමකට දීමට සුදානම් නම් අපි එයට කිසිදු ආකාරයෙන් ඉඩ තියන්නේ නැහැ විශේෂයෙන් ලංකාවේ ආර්ථික උපයන්න පුළුවන් වරායක් විජාතිකකරනය කරනවා නම් අපි විරුද්ධ­‍ ෙවනවා ලංකාවේ ආර්ථික අවපාතයක් සමග ලංකාවට විශාල ආදායමක් ගන්න පුළුවන් මේ වගේ ආර්ථික මර්මස්ථාන විකුණා දමන්නේ නැහැ කියන කාරණාව මතයි මේ ආණ්ඩුව බලයට පත්වන්නේ. දැනට කොළඹ වරායේ තියෙන්නේ ජයබහලු පර්යන්තය පමණයි. ජයබහලු පර්යන්තය විශාල නැව් එන්නට බැරි අබලන් තත්ත්වයකට පත්වි තියනවා. එම නිසා නැඟෙනහිර පර්යන්තය අනිවාර්යෙන්ම සියයට සියයක් වරාය අධිකාරිය යටතේ තිබිය යුතුයි.

--------------

අදානි සමාගමට ඉන්දියාවෙත් විරෝධය

උදේනි දිසානායක.

සභාපති සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරි සංගමය

නැගෙනහිර පර්යන්තය කියන්නේ මේ රටේ ධන උල්පතක්. රන්බිජුලන කිකිලියක්. මේ ආණ්ඩුව හදන්නේ එකවර මේ කිකිලි මරලා බිත්තර ටික ගන්න. ඒත් මෙය අනාගත පරපුරට ලොකු අවාසියක්. දකුණු ආසියාවේ හොදම වරාය අතරින් එකක් කොළඹ වරාය. අගමැතිතුමා කියනවා විකුණන්නේ නැහැ. බදු දෙන්නේ නැහැ කියලා. හැබැයි වරාය ඇමැතිවරයා කියනවා 49% ඉන්දියානු අදානි සමාගමට දෙනවා කියලා 51% ලංකාවට තියාගන්නවා කියලා. අද ලක්ෂ ගණනක් අදානි සමාගමට විරුද්ධව ගොවි කම්කරුවෝ ඉන්දියාවේ සත්‍යග්‍රහ කරනවා. එහෙම සමාගමක් තමයි ලංකාවට ගෙන්නලා මේ වරාය දෙන්න හදන්නේ. අදානි කියන්නේ ඉන්දියාවේ විවේචනයට ලක්වන සමාගමක්. මේ සම්පත අපි රැක ගතයුතුයි කියලා තමයි සියලු දෙනාම එකට එකතු වුණේ වරාය අධිකාරිය විසින්ම මෙය සංවර්ධනය කරලා අවශ්‍ය මුදල් ආණ්ඩුවට සොයලා දෙන්නම් කියලා තිබියදි මේ දේ කරන්න උත්සහා කරන්නේ.

---------------

ආණ්ඩුවට පොරොන්දු අමතක වෙලා

කේ. ඩි. ලාල් කාන්ත

සභාපති ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය

වරාය නැගෙනහිර පර්යන්තයේ සියයට හතළිස් නවයක් නොවෙයි, සියයට එකක් වත් විකුණා දමනවාට අපි විරුද්ධයි. වරාය අධිකාරියේ ඉංජිනේරු සේවා අධිකාරිය විසින් මේ නැඟෙනහිර පර්යන්තය අදියර කිහිපයක් යටතේ ගොඩ නඟනවා. එය ගොඩනැගීම පිළිබඳව ශක්තිමත් වැඩ පිළිවෙළක් පිළිබදව කතා කර තියනවා. රජයේ මුදල් නැතුව ගොඩනගන පැහැදිලි එවැනි වැඩ පිළිවෙළක් පිළිබදව කතා කරලා තිබියදියි මේ විකුණා දැමීමට සුදානම් වන්නේ.

රජය බලයට පත්විමට පෙර කිව්වේ පසුගිය රජය විසින් කළ දේපළ පිටරටට විකුණා දැමීම නවත්වනවා කියලයි. රජයට විශාල ජනවරමක් ලබා දි තියෙනවා. කොයි ආණ්ඩුවක් මේ රටේ සම්පත් විදෙස් රටවලට විකුණා දැමිමට අපි විරුද්ධයි.

-----------------

දොඹකරවලින් ශක්තිය දෙන්න පුළුවන්

ආර්. ටි. ටි. ක්‍රිෂාන්ත

සභාපති වරාය අධිකාරියේ ඉජිනේරු සංගමය

දැනට තිබෙන දොඹකර තුන පාවිචිචි කරලා නැගෙනහිර පර්යන්තයේ ඉතිරි ටික සැලසුම් කරන්නට පුළුවන්. කිසිම විදේශීය සහ දේශීය ආයෝජකයෙකු නැතුව වැඩ නිම කරන්නට පුළුවන්. අපි ආයෝජන සැලසුමක් සකස් කර තියනවා. අපිට ඒ සඳහා ශක්තිය තියනවා. අපිට හැකියාව තියනවා. වර්ෂයකට ඩොලර් බිලියන පනහක් මේ තියන දොඹකර තුනෙන් සොයාගැනිමට හැකියි. එසේ මුදල් සොයා ගැනිමෙන් ඉතිරි මුදල් සපයා ගැනිමට අපිට හැකියි.

ඒ මුදලින් මේ සඳහා ඉතිරි අවශ්‍ය ඇණවුම් කරන්න කියලා අපි ඉල්ලන්නේ. ඒ ඇණවුම් ලබා ගැනිමට වසර දෙකක් පමණ යනවා. මේ නිසා එම කාලය ගැන හිතලා දැනට 2026 දක්වා අපේ සැලසුම් පැහැදිලිව දිලා තියනවා. ඉන් පසුව සම්පුර්ණයෙන්ම මේ පරියන්තය හදා නිම කරලා පර්යන්තයේ කටයුතු නිමා කරන්න අවශ්‍යයි. ඇත්තටම මෙතැන තියෙන්නේ භූ දේශපාලනික ප්‍රශ්නයක්. පසුගිය රජය හම්බන්තොට වරාය ජපානයට විකුණා දැමුවා.

ඡායාරූප - රුවන් ද සිල්වා

 

 

Comments