පාස්කු ප්‍රහා­රය වළක්වා නොගත් වග­කිව යුත්තන් 31දා හෙළිවෙයි! | සිළුමිණ

පාස්කු ප්‍රහා­රය වළක්වා නොගත් වග­කිව යුත්තන් 31දා හෙළිවෙයි!

ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී එය වළක්වා නොගත් ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව මේ වනවිට ඉතිහාසයට එක්වී හමාරය. ඒ 2019 වසරේ ලෝක ප්‍රසිද්ධ පාස්කු ඉරිදා මෙරට සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයන් ය.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් ‘යහපාලන ආණ්ඩුව‘ විසින් පත්කළ තේරීම්කාරක සභාව මෙන්ම වත්මන් ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසමේද හොඳ හොඳ කතා එළියට ආවේය.

බෝලය එහාට මෙහාට පාස් කර හැම විටම තමන් බේරෙන ක්‍රමයක් මෙහිදී දිග හැරෙන්නට විය.

මේ මස 31 වැනිදා වන විට පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම අවසන් කර වැරැදිකරුවන් කවුරුන්දැයි ප්‍රකාශයට පත් කරනු ඇත. මේ වන විට අදාළ කටයුතු අවසන් අදියරේ පවතින අතර තවත් දෙසතියකටත් අඩු කාලයකදී මේ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ සියලු දෙනා සාක්ෂී සහිතව එළියට එනු ඇත.

කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් විරසේකර පසුගිය 6 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් තිස් දෙදෙනකුට එරෙහිව නඩු පැවැරීම සඳහා උධෘත ගොනු නීතිපතිවරයාට යොමු කර ඇති බවයි. මනුෂ්‍ය ඝාතන, තුවාල සිදු කිරීම, දේපළ විනාශ කිරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා උධෘත ගොනු මෙසේ යොමු කර තිබෙන බවද ඇමැතිවරයා කීය.

ඊට අමතරව මෙම විමර්ශනයට අදාළ විමර්ශන ලිපිගොනු අටක් ද නීතිපතිවරයාට බාර දී ඇතැයි කී ඇමැතිවරයා සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වන ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන නඩු පැවරීම් කටයුතු සිදු කරන බව පෙන්වා දුන්නේය.

ප්‍රහාරය සිදු වීමෙන් පසු අත්අඩංගුවට ගත් 246 දෙනකු මේ වන විටත් අත්අඩංගුවේ සිටින අතර එයින් 150කට අධික පිරිසක් වසරකට අධික කාලයක් මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරමින් කරුණු විමර්ශනය කරන ලදී.

විශේෂයෙන්ම රිමාන්ඩ් හා රැඳවුම් නියෝග මත සිටින මේ පිරිස් අතර ත්‍රස්තවාදී පුහුණුකිරීම් මෙන්ම මද්‍රසා පාසල් හරහා අන්තවාදය වැපිරූ පිරිස් ද සිටින බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ සැකකරුවන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ වත්කම් හා දේපළ සම්බන්ධයෙන් ද මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන පවත්වාගෙන යන බවද ඔහු පැවැසීය.කොමිසම විසින් හෙළි කරගත් කරුණු අනුව මෙම ප්‍රහාරය වළක්වා නොගත් අය පිළිබඳව සාක්ෂි රැසක් ඉදිරිපත් වනු ඇතැයි ද ඇමැතිවරයා කීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට යහපාලන ආණ්ඩුව පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී හෙළිදරව් කර නොගත් කරුණු රැසක් ජනාධිපති කොමිසම හෙළිදරව් කරගෙන ඇති බවත් මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව ගැන රජය සෑහීමට පත් නොවන බවත් ඔහු පැවැසීය.

පාස්කු දින ප්‍රහාර මාලාවට හසුව දෙසීය පනහකට අධික පිරිසක් මරණයට පත් වූ අතර තුවාල ලද පිරිස පන්සීයකට අධිකය.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකාව විසින් පුද්ගලයන් තිදෙනකුට විරුද්ධව එරට අධිකරණයකින් අධි චෝදනා ලබා දී තිබේ. ඒ මොහාමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් හා අහමඩ් මිල්හාන් යන තිදෙනාටය. ඔවුන් තිදෙනා අයි.එස්.අයි.එස්. ක්‍රියාකාරිකයන් නිසා ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට ඇමරිකාව සූදානමින් සිටියත් එම සැකකරුවන් ඇමරිකාවට බාර නොදීමට මෙරට බලධාරීන් තීරණය කර ඇති බවට දැන ගන්නට තිබේ.

එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් නමැත්තා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ 2019 වසරේ ජූනි 14 වැනිදාය. ඔවුන්ගෙන් ලබා ගත් වැදගත් තොරතුරු මත ප්‍රහාරය වළක්වා නොගත් අය පිළිබඳව කරුණු රැසක් හෙළි වී තිබේ.

එමෙන්ම, පාස්කු ඉරු දින ප්‍රහාරය සැලසුම් කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයා සමඟ සබඳතා පැවැත්වූ බව පැවසෙන පුද්ගලයෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් ද අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන්දීය ත්‍රස්ත මර්දන බලධාරීන් විසින් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ අතර ඔහු තිස් දෙහැවිරිදි මොහොමඩ් අසරුදීන් නම් අයෙකි. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වන සහරාන් හෂීම් සමඟ ඔහු ෆේස්බුක් ඔස්සේ මිතුරුව සිටි අයකු බව හෙළිව තිබේ

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු ඉන්දියාවේ කොයිම්බතෝර්හි අන්තවාදී තිප්පොළක් පිළිබඳව ලද තොරතුරක් අනුව කළ සොයා බැලීමකින් පසුවය.

අප මේ කතා කෙළේ බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ අය ගැනය. අප දැන් සලකා බැලිය යුතු වන්නේ ප්‍රහාරය එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගත් පුද්ගලයන් කවුරුන්ද යන්න ගැනය.

ඉන්දීය රෝ ඔත්තු සේවය හරහා අවශ්‍ය තරම් තොරතුරු ප්‍රහාරයට පෙර ලැබී තිබුණු බවටත් මෙරට අයිඑස්අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරීන් සිටි බවත්, එහෙත් ඒ සම්බන්ධව දැනුම්වත් කිරීම් හමුවේ පවා නිසි ක්‍රියාමාර්ග නොගත් බවට තොරතුරු මේ වන විට කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.

පාස්කු ප්‍රහාරයට පෙර මෙරට තුළ සිදු වූ අන්තවාදී ක්‍රියාකාරකම් සිද්ධීන් කිහිපයක් ගැන රාජ්‍ය බුද්ධි සේවය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිස් දැනගෙන සිටි බවට මේ වන විට තොරතුරු හෙළිව ඇති අතර ඔවුන්ගෙන් තොරතුරු විමසුවද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.

මේ ප්‍රහාරයේ ඉතා වැදගත්ම හා ප්‍රබල සාක්ෂි ගෙන හැර දක්වන ලද්දේ හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයකු වූ මොහොමඩ් මොහිදීන් අබ්දුල් ගෆූර්ය. ඔහු පැවසුවේ මෙරට ක්‍රියාත්මක අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායම් ගැන ‘යහපාලන‘ රජයේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනකු දැනගෙන සිටියත් ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.

ඔහු පෙන්වා දුන්නේ තමන්ට උසස් පෙළ උගැන්වූ ගුරුවරියක 2016 වසරේ දී දුරකතන ඇමතුමක් ලබා දෙමින් තම 23 හැවිරිදි ආෂික් පුතු අයිඑස් සංවිධානය හා එක්ව කටයුතු කරන බවත් එසේ නොකරන්නැයි ඔහුට අවස්ථා කිහිපයකදී දැනුම් දුන්නත් ඔහු දිගින් දිගටම එම සංවිධානය හා එක්ව කටයුතු කරන බවයි. ඒ සම්බන්ධව දැනුම්වත් කිරීමට තම ඥාතියකු මාර්ගයෙන් එවකට විදේශ කටයුතු ඇමැතිව සිටි මංගල සමරවීර හමුවූ බව හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා පවසා සිටියේය.

අමාත්‍ය මංගල සමරවිර මේ කරුණු අසා සිට ඒ සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකට දැනුම් දුන් බවද කොමිසම හමුවේ ඔහු හෙළි කර තිබුණි. පසුව තමන් අරලියගහ මන්දිරයේදී සාගල රත්නායක හමුවූ බවත් තමන් පැවසූ සියලු තොරතුරු ‍ඔහු සටහන් කරගත් බවද හෙතෙම හෙළි කෙළේය.

ඉක්මනින් පියවරක් ගන්නා බව සාගල රත්නායක තමන්ට දැනුම් දුන් බවත් දින දෙක තුනකින් ඒ සම්බන්ධව තමන්ගෙන් කට උත්තරයක් ගැනීමට නිලධාරින් පැමිණෙතැයි බලා සිටි නමුත් ප්‍රහාරය එල්ල වන තුරුම ඒ ගැන කිසිදු ආකාරයක සොයා බැලීමක් සිදු නොවුණු බව ඔහු අනාවරණය කෙ‍ළේය. ඒ සම්බන්ධව තමන් දැඩි සේ කනගාටුවට පත් වූ බවත් ආෂික් නමැත්තා ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගත් බව තමන් පුවත්පතකින් දුටු බවද ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම වැඩ බලන අධ්‍යක්ෂකවරයෙක් ලෙසද සේවය කර ඇති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් හෆීස් මාසෝ පැවසුවේ රාජ්‍ය බුද්ධි සේවය පසුගිය කාලයේ කාර්යක්ෂමව ක්‍රියාත්මක නොකිරීම නිසා ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නොහැකි වූ බවයි. මේ ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ අන්තවාදී මුස්ලිම් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශවලට හැකිවූයේ බුද්ධි අංශ ලබාදුන් තොරතුරුවලට නිසි පරිදි අවධානය යොමු කළ නිසා බවද මාසෝ මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

2019 අප්‍රේල් 4දා ඉන්දීය ඔත්තු සේවයක් විසින් ප්‍රහාරය පිළිබඳ මුල් තොරතුරු ලද අවස්ථාවේදීම රාජ්‍ය බුද්ධි සේවයේ එවකට සිටි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඒ පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපතිවරයා දැනුම්වත් කිරීම අනිවාර්යය කරුණක් වූ බවද හෙළි කළේය.

එහෙත් ඔහු එසේ නොකර දින පහකට පසුව එනම් අප්‍රේල් 9 වැනිදා පොලිස්පතිවරයා දැනුම්වත් කිරීම වගකීම් නිසිලෙස ඉටු නොකිරීමක් බවද මාසෝ කරුණු අනාවරණය කෙළේය.

ප්‍රහාරය පිළිබඳ මුල්ම තොරතුර ලැබී දින ගණනාවක් යනතුරු පොලිසියේ හා බුද්ධි අංශවල තිබූ දුර්වලතාව මෙන්ම අකර්මණ‍යතාව නිසා මේ ප්‍රහාරය එල්ල වී ඇති බවට මේ වන විට කොමිසම වෙත පවසා ඇති කරුණුවලින් අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම ප්‍රහාරය එල්ල වීමට පෙර දින එනම් 2019 වසරේ අප්‍රේල් මස 20වැනිදා රාත්‍රියේ පවා මුර සංචාර කර ඇත්තේ ප්‍රහාරය සම්බන්ධ තොරතුරු වාර්තාවී තිබීම නිසා බව කොමිසමේ හෙළිවූ කරුණු අතර විය.

එමෙන්ම ප්‍රහාරය එල්ල වූ 21වැනිදාද උදෑසන 7.30ට පමණ ඒ පිළිබඳ තොරතරු ලැබී තිබියදීත් කිසිදු ආකාරයක තොරතුරක් අදාළ පොලිස් ස්ථානවලට නිසි අයුරින් ලබා දී ප්‍රහාරය වළක්වා නොගත් බව මේ වන විට හෙළිවෙමින් ඇත.

හිටපු පොලිස්පතිවරයා ‍වෙත නිසි තොරතුරු ලැබී ඇති බවට ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙති. බුද්ධි අංශයන්හි ඉහළ තනතුරු හොබවන අය දැන් පවසන්නේ තොරතුරු ලැබුණු පසු ඒවා නිසි පරිදි පසු නිලධාරීන් වෙත ගලා නොගිය බවයි. එහෙත් මෙවන් ආරක්ෂිත තොරතුරක් ලැබුණු පසු ආරක්ෂක අංශ විසින් කටයුතු කළ යුතු ආකාරය පැහැදිලිව දක්වා ඇත.

එමෙන්ම එවැනි ක්‍රියාමාර්ග ගත යුතු ආකාරය ද පැහැදිලිවම පෙන්වා දී ඇත. ආරක්ෂක ලේකමවරයා මෙන්ම එතැනින් පහළට සිටින සියලුම නිලධාරීන්ගේ වගකීම් මෙන්ම තොරතුරු හුවමාරුව ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ.

එහෙත් බොහෝ දෙනා ඒ වගකීම පැහැර හැරියා මෙන්ම තවත් අය ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් තම හිතවතුන් බේරා ගැන්මට කටයුතු කළ ආකාරයද දැන් හෙළිව තිබේ.

සියලු කරුණු කාරණා දැන් හෙළි වී තිබේ. කොමිසමේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති, අගමැති මැති ඇමැතිවරුන්ගෙන් මෙන්ම මාධ්‍යවේදීන්ගෙන් පවා මේ වන විට කරුණු විමසා ඇත. දැන් අපට කළ හැක්කේ ලබන 31 වැනිදා වන තෙක් බලා සිට නඩු පැවරෙන්නේ කාටද යන්න විමසා බලා සිටීමය.

එමෙන්ම පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් බවට චෝදනා එල්ල වූ අයගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම මාර්තු මස 8,9, හා 10 තෙදින සිදුකිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

Comments