බුදු සසුන බැබළ වූ තෙසැත්තෑ විය සපු­රන මඩ­වල සීල­වි­මල මා හිමි | Page 2 | සිළුමිණ

බුදු සසුන බැබළ වූ තෙසැත්තෑ විය සපු­රන මඩ­වල සීල­වි­මල මා හිමි

තුගල් පුර පර්වතයේ හැපී හමන සුවඳ මඳ නල වාතයට මුසුවන්නේ සියලු දෙනාගේ සිත් සතන් ප්‍රබෝධවත් කරමිනි. රට දැය සමය පිළිබඳ ළෙන්ගතුකමින් පිරුණු හා එහි උන්නතියට කැපවූ ඇතුගල්පුරයේ උඩදෙණිය වලව්ව සියලු දෙනාගේ සම්භාවනාවට හා ගෞරවාදරයට පාත්‍ර වූවකි. එහි ස්වාමි දියණිය වූ ස්වර්ණලතා කුමාරිහාමි, තම ස්වාමිපුරුෂයා වූ ටිකිරිබණ්ඩා රත්නායක රාලහාමිගේ ආධාර උපකාර ඇතිව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ සුබසිද්ධිය උදෙසා කාන්තා සංගමයක් ආරම්භ කළාය. ඒ මීට දසක හතකට පමණ ඉහත දීය.

 

එම සංගමයේ ආරම්භක සභාපතිවරිය ලෙස උඩදෙණිය වලව්වේ ස්වර්ණලතා කුමාරිහාමි කටයුතු කළ අතර එහි ප්‍රධාන අනුශාසක ධුරය දරන ලද්දේ රත්මුලුකන්ද පුරාණ ගල්ලෙන විහාරාධිපති චිරප්‍රසිද්ධ ධර්මදේශක යන්වහන්සේ නමක් වූ හෙන්ඩියගල සීලරතන නාහිමිපාණන් වහන්සේ විසිනි. එකී සම්බන්ධතාව හේතුවෙන් හෙණ්ඩියගල සීලරතන නාහිමියන්ට උඩදෙණිය වළව්වේ ස්වර්ණලතා කුමාරිහාමිගේ එකම පුතණුවන් වූ ලයනල් බණ්ඩාර රත්නායක කුලකුමරුවාගේ ජන්මපත්‍රය පරීක්‍ෂාවට ලැබුණේ දෛවෝපගත සිදුවීමක් ලෙසටය. සීලරතන නාහිමිපාණන් වහනසේ මෙකී ළදරුවාගේ ජන්ම කේන්ද්‍රයේ ඇති බලවත්කම එක එල්ලේ දුටු අතර මෙම කුලකුමරුවා අනාගතයේ මහා ප්‍රාඥයකු වන බවට නිමිති දැකීමට උන්වහන්සේට වැඩිකාලයක් ගත නොවීය. කේන්ද්‍රයේ ඇති බලවත්කම නිසාම සීලරතන නාහිමිපාණන් වහන්සේ නව හැවිරිදි ලයනල් බණ්ඩාර කුලකුමරුවා පැවිදි කිරීමට ඉල්ලූ අතර තියුණු බුද්ධියකින් යුතු මඩවල කුමාරිහාමි නාහිමිපාණන් වහන්සේගේ සිත නොරිදෙන්නට සිය අකමැත්ත ප්‍රකාශ කළේ අස්වාභාකවික යෝජනාවක් කරමිනි. “පුතා පැවිදි කරන්න දෙන්නම් හැබැයි විශ්වවිද්‍යාලයට යනතෙක් ඔහු කුරුණෑගල මලියදේව විද්‍යාලයේ අධ්‍යාපනය හදාළ යුතුයි” පවසමිනි. මෙය අසීරු යෝජනාවක් වුවද සීලරතන නාහිමිපාණෝ එම අභියෝගය බාරගත්තේ අනාගතයේ දී මෙම කුලකුමරුවා මහා ප්‍රාඥයකු වී බුදුදහම ව්‍යාප්ත කිරීමෙහිලා සුවිශේෂී කටයුත්තක් කරන බවට පෙරනිමිති දුටු නිසාවෙනි.

ලක් ඉතිහාසයේ කිසිදු සාමණේර හිමිනමක් සාම්ප්‍රදායික පාසැල් ක්‍රමයෙන් අධ්‍යාපනය නොලැබූ නමුත් මෙම අභියෝගය ජයගැනීමට හෙණ්ඩියගල නාහිමියන්ට අවශ්‍ය විය. එබැවින් මලියදේව විද්‍යාලයේ උප විද්‍යාලයාධිපති සිය කළ්‍යාණමිත්‍ර රාජකීය පණ්ඩිත දික්වෙල පියනන්ද හිමියන් සමඟ නවක සාමණේර හිමියන් මලියදේව විද්‍යාලයට බඳවාගැනීමට අවශ්‍ය පිඹුරුපත් සකස්කොට උන්වහන්සේද සමඟින් මඩවල වලව්වට වැඩම කළේ ඒ පිළිබඳව කුමාරිහාමිව දැනුම්වත් කිරීමටය.

කුමාරිහාමිගේ අසීරු අභියෝගය සීලරතන හිමියන් ජයගත් බව වැටහුණු ඇයට සිය පුතණුවන් ශාසනයට පිරිනමනවා හැර වෙනත් කළ හැක්කක් නොවීය.

සියල්ල සිදුවන්නේ යහපතටැයි සිතා මඩවල වලව්වේ කුමාරිහාමි සිය නව හැවිරිදි එකම පුතණුවන් ශාසනයට බාර කළ අතර ඔහුගේ දසවැනි ජන්ම දිනය සම්පූර්ණ වන දිනයේ එනම් 1957 ජනවාරි 17 වැනි දින හෙණ්ඩියගල සීලරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මඩවල සීලවිමල නමින් සාමණේර ප්‍රවෘජ්ජා භූමියට පත්වන ලදී.

සීලවිමල පොඩි හාමුදුරුවෝ දික්වෙල පියනන්ද නා හිමියන්ගේ කුටියේ සිටිමින් උන්වහන්සේ සමඟ දිනපතා මලියදේව විද්‍යාලයට අධ්‍යාපනය සඳහා වැඩම කළහ. සියලුම ගුරුවරුන්ගේ හා ශිෂ්‍යයන්ගේ ගෞරව ආදරයට පත් වූ පොඩි හාමුදුරුවෝ ඉතා දක්‍ෂ ලෙස සිය අධ්‍යයන කටයුතු සිදු කළහ. මෙසේ අධ්‍යාපනය හදාරන අතරතුර දික්වෙල පියනන්ද නාහිමියන්ගෙන් පාලි, සංස්කෘත, සිංහල හා බෞද්ධ දර්ශනය හොඳින් හදාළ අතර හෙණ්ඩියගල නා හිමියන්ගෙන් සති අන්තයන්හි දී ත්‍රිපිටකය හැදෑරූවේය. සිල්වත් බවින් හා ගුණවත් බවින් ආඪ්‍යව ඉතා උසස් අන්දමින් සිය පාසැල් අධ්‍යාපනය නිමැවූ මඩවල සීලවිමල හිමිපාණෝ 1966 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී බෞද්ධ දර්ශනය පිළිබඳව ගෞරව උපාධියක් ලබාගත්හ. එයින් නොනැවතුන උන්වහන්සේ බෞද්ධ දර්ශනය පිළිබඳව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත්හ. එමෙන්ම විදේශ ධර්මප්‍රචාර සඳහා වූ විශේෂ පාඨමාලාවක් ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් හදාරා මහරගම ධර්මායතනයේ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කළහ.

ජපානයේ ප්‍රධාන බෞද්ධාගමික නිකාය වන ජෝඩෝ සිංසු නිකායට අයත් භික්‍ෂු, භික්‍ෂුණීන් වහන්සේලා පුහුණු කරන ශාඛාවක් වන ඇමරිකාවේ බර්ක්ලි හි පිහිටි Institute of Buddhist studies වෙතින් ලැබුණු ආරාධනාවක් මත ශාස්ත්‍රපති මඩවල සීලවිමල හිමිපාණෝ 1976 ජූනි මාසයේ දී ඇමරිකාවට වැඩම කළ අතර, උන්වහන්සේ එම ආයතනයේ පුහුණුව ලබන භික්‍ෂු භික්‍ෂුණීන්ට ථේරවාද බුදුදහම ඉගැන්වූහ. ඒ අතරවාරයේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ ද ඉගැන්වීම් සිදුකරන්නට උන්වහන්සේට අවස්ථාව උදා වුණි.

ඇමරිකාවේ ධර්මප්‍රචාරයේ යෙදුණු ථේරවාද හා මහායාන සම්ප්‍රදායන් අතර ඇතිවූ අනවබෝධය නිසා එදා මහායානිකයන් ථේරවාදය හැඳින්වූයේ “හීනයාන” යන අන්වර්ථ නාමයෙනි. එහි ඇති සාවද්‍යබව තහවුරු කළ මඩවල සීලවිමල හිමියන් ඒ වෙනුවට ථේරවාද යන නාමය ස්ථාපිත කිරීමට අතිශය වෙහෙස විය. එමෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස මහායාන ථේරවාද හා වජ්‍රයාන යන සම්ප්‍රදායන් තුනටම නිදහස්ව නිරවුල්ව සිය ධර්මප්‍රචාරක කටයුතුවල නිරතවන්නට ද අවකාශය සැලසුණි. එපමණක් ද නොව ධනය හා සංවිධාන ශක්තිය ඇති ජපන් විහාරස්ථානවල අධිපතිවරු මඩවල සීලවිමල හිමියන් වෙතින් ථේරවාදී දර්ශනය ඉගෙන ගත් අය වූහ. අද වනවිටත් එකී මහායාන හිමිවරුන් අප කෙරෙහි දක්වන්නේ ඉමහත් ආදරයක් හා ගෞරවයකි.

සීලවිමල හිමියන් ඇමරිකාවට පැමිණ මාසයක් පමණ ගතවත්ම මා ද ඇමරිකාවට පැමිණියෙමි. ඒ වනවිට ඇමරිකාවේ එක් ශ්‍රී ලාංකික විහාරස්ථානයක් තිබූ අතර ඒ වොෂින්ටන් විහාරස්ථානයයි. මඩවල සීලවිමල හිමියන්ගේ උපදෙස් හා ආධාර ඇතිව පන්නිල ආනන්ද හිමියන් ද සමඟ මා ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරය ආරම්භ කළේ ඇමරිකාවේ බටහිර ප්‍රදේශයේ බිහිකළ පළමු ථේරවාදී විහාරස්ථානය ලෙසයි. එය 1978 වර්ෂයේ දී ආරම්භ කළ අතර මේවන විට ඇමරිකාව පුරා ශ්‍රී ලංකා විහාරස්ථාන සියයකට ආසන්න සංඛ්‍යාවක් ඇත. එකී බොහෝ විහාරස්ථානවලට අපේ මඩවල සීලවිමල හිමිපාණෝ මුදලින් මෙන්ම සිය අවවාද අනුශාසනා ද ලබා දෙමින් එම විහාරස්ථානයන් හි උන්නතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ද සිදු කරනු ලබන බව පවසන්නේ ඉමහත් සතුටිනි.

සීලවිමල හිමියන්ට ඇමරිකාවේ විහාරස්ථාන තුනක භාරකාරත්වය ලැබුණ ද ඒ සියලුම විහාරස්ථාන වෙනත් දක්‍ෂ භික්‍ෂූන් වහන්සේලාට දීමට තරම් උන්වහන්සේ නිහතමානී වූහ. කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරය දික්වෙල පියනන්ද මාහිමියන් ආරම්භකොට සීලවිමල හිමියන්ට පැවරුවද එය මඩවල පුණ්ණජි හිමියන්ට බාර කළේත් සැන්හුසේ ධර්මපාල බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කොට එය ආචාර්ය එල්ලාවල නන්දිස්සර නාහිමියන්ට බාර දුන්නේත්, බර්ක්ලිහි විහාරස්ථානයක් පිහිටුවීම පෙරේරා තම නිවස සීලවිමල හිමියන්ට පූජාකිරීමට සූදානම් වූ මොහොතේ එය පිළිනොගෙන වෙනත් හිමිනමකට පැවරීමට උපදෙස් දුන්නේත්, පඬුවස්නුවර රත්මුළුකන්ද පුරාණ ගල්ලෙන් රාජ මහාවිහාරයේ නිත්‍යානුකූල අධිපතිභාවය ලැබුණත් එය තම පැවිදි සහෝදර සිද්ධාර්ථ හිමියන්ට පවරා එහි දියුණුවට අතහිත දෙන්නේත් උන්වහන්සේ සතු උදාර ගුණධර්ම මොනවට පසක් කරමිනි.

පුරා අවුරුදු 45 ක් මුළුල්ලේ ඇමරිකන් ජනතාවටත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවටත් සිය කාලය හා ශ්‍රමය කැපකරමින් බෞද්ධ දර්ශනය හා භාවනා උගන්වනු ලබන ආචාර්ය මඩවල සීලවිමල හිමිපාණන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥාවෙන් අනූන මහතෙරනමකි. අද දිනයේ දී උන්වහන්සේ සිය හැත්තෑතුන්වන ජන්ම දිනය පසුකරන අතර අප කළ්‍යාණමිත්‍ර මඩවල සීලවිමල නාහිමිපාණන්ට ලැබූ උපන්දිනය නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

 

⬤ අග්ගමහා පණ්ඩිත, ආචාර්ය වල්පොල පියනන්ද නාහිමි ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක

Comments