මිනීමරා නීතියෙන් බේරී දෙපැයකින් මැරුම් කයි | සිළුමිණ

මිනීමරා නීතියෙන් බේරී දෙපැයකින් මැරුම් කයි

මේ කතාව කිසිවකු නොසිතූ අන්දමට කරුමය පලදී කෙළවර වුවකි. මීට දශක හයකට පමණ පෙර එනම් 1960 ගණන් වලදී බලපිටියේ අම්පේ ගම මැරවරයන් රජ කළ ගමකි. එවකට එහි සෑම නිවසකම පාහේ අවි ගබඩාවක් විය. ඇඳන්, මෙට්ට සහ ඇඳ ඇතිරිලි යට කඩු, කිනිසි, තුවක්කු සහ පිස්තෝල සඟවා තිබිණි. සුළු මතභේදයකදී පවා අවියකින් පිළිතුරු දීමට මැරයෝ පසුබට නොවූහ. මිනීමැරුම් සහ පාතාල කල්ලි ගැටීම් සාමාන්‍ය කරුණක් විය. නමගිය අයි.ආර්.සී.අපරාධකරුවකු ලෙස පතළ වීම එවැන්නකුට ගෙන දුන්නේ බලගතු තත්ත්වයකි. නොයෙකුත් වැරදිවලට හසුවී තිබුණු තරමට ඔහුට ලැබුණු 'බිය මුසු ගරුත්වයද' වැඩි විය.

 

මාළු වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ බලපිටි‌ෙය් බර්ටි මුදලාලි එවැන්නෙක් විය. මාළු වෙළෙදාමෙන් සෑහෙන ධනයක් හම්බ කරගෙන සිටි ඔහු සතුව වෑන් රිය කිහිපයක්ම තිබුණි.

මේ අතර බර්ටි එළොව යැවීමට මාන බලමින් සිටියේ ඔහුගේ පරම සතුරා වූ එඩ්වින්ය. ඔහුද නමගිය අපරාධකරුවෙකි. තම ව්‍යාපාරික කටයුතු වලට බර්ටි මහත් බාධකයක් ලෙස එඩ්වින් සැලකුවේ ඔහුද මාළු වෙළෙඳාමේ යෙදී සිටි බැවිනි. එහෙත් බර්ටි හොඳ ඉවක් තිබූ අයෙකි. එඩ්වින් ගේ තරම දත් බර්ටි සතුරාට කලින් තමා ක්‍රියාත්මක විය යුතු බව වටහා ගත්තේය. ඒ සඳහා ඔහු යෙදුවේ අමුතු උපක්‍රමයකි.

බර්ටි තම නිවසට පැමිණෙන ලෙස එඩ්වින්ට ඇරයුම් කළේ දෙදෙනාම එකම ව්‍යාපාරයක යෙදී සිටන බැවින් "පරණ කෝන්තර අමතක කළ යුතුය." කියමිනි.

මාළු ව්‍යාපාරිකයන් දෙදෙනාගේ 'සුහද' හමුව පැවැතියේ බර්ටිගේ නිවසේය. එහිදී සිනාමුසු මුහුණින් එඩ්වින් පිළිගත් බර්ටි අරක්කු බෝතල් දෙකක් සහ අතුරුපසට ඉස්සන්, කරවල සහ ගාන ලද පොල් සංග්‍රහය සඳහා සූදානම් කළේය. මත් පැන් බොමින් ඉස්සන් සහ කරවල රසවිඳි එඩ්වින්ට හොඳහැටි වෙරි වන්නට වැඩි වේලා ගියේ නැත. බර්ටිද බලා සිටියේ ඒ අවස්ථාව ළඟා වනතුරුය. ඊළඟ මොහොතේ තුවක්කුවක් සහ පොරොවක් අතට ගත් බර්ටි ඒ අවස්ථාවේ එතැන සිටි පියදාස දෙසට තුවක්කුව එල්ල කර වහාම එතැනින් පිටවන ලෙස අණ කළේය.

පසුව පොලිසිය එතැනට පැමිණෙන විට මැරී වැටී සිටි එඩ්වින් ගේ හිස කුඩු පට්ටම්වී තිබුණි. බර්ටිගේ පුතාද පිහි පහරකින් ලත් තුවාලයක් නිසා වේදනාවෙන් කෙඳිරි ගාමින් දඟලමින් සිටියේය. එහෙත් කොතැනකවත් බර්ටි පෙනෙන්නට නොවීය.

ඒ අවස්ථාවේ බර්ටි මුහුදු වෙරළේ සිටි බවට එහි සිටි ධීවරයෝ සාක්කි දුන්හ.

ඒ දිනවල පැතිරුණු කට කතාව වුයේ බර්ටිගේ පුතාට එඩ්වින් පිහියෙන් ඇන්න බවත් පුතා ආත්මාරක්ෂාවට එඩ්වින්ට ප්‍රතිප්‍රහාර දුන් බවත්ය. මහේස්ත්‍රාත් විභාගයේදී සිද්ධිය ඇසින් දුටු කිසිදු සාක්කියක් නොවීය. මිනීමැරුම සිදුවූ ස්ථානයේම ඒ විභාගය පවත්වන ලද අතර ලැබුණු එකම සාක්කිය වුයේ බර්ටිගේ පුතා පැවසු කරුණුය. කෙසේ වෙතත් එඩ්වින්ගේ මරණය සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

දෙදිනකට පසු මැදියම් රැයේ එවකට පළාතේ සහකාර පොලිස් අධිකාරිවරයා වූ රාමචන්ද්‍ර සුන්දරලිංගම්ගේ නිල නිවසේ දොරට යමකු තදින් තට්ටු කරන හඬක් ඇසිණි. නින්දෙන් ඇහැරුණු ඔහු දොර හැර බලනවිට සිටියේ බර්ටිගේ සගයා වූ පියදාසය.

"සර් මට වැදගත් ආරංචියක් කියන්න තියෙනවා" යයි ඔහු කලබලයෙන් සුන්දරලිංගම්ට පැවසීය, "ඒත් මගේ ජීවිතේ අවදානම්"

වහාම පොලිස්ථානයට යන ලෙස පියදාසට කියූ සුන්දරලිංගම් ද විනාඩි කිහිපයක් ඇතුළත පොලිසියට ගියේය. එහිදී බළලා මල්ලෙන් එළියට පැන්නේය. පියදාස පැවසු අන්දමට බර්ටි ඔහුට තුවක්කුව එල්ල කර සිය නිවසින් වහා පිටවන ලෙස අණ කළ නමුත් ඔහු ඉක්මනින් පිටවී නැත. එනිසා මිනීමැරුම ඔහු සියසින් දැක ඇත.

ඉන්පසු බර්ටි කළේ සියතින්ම පුතාට බරපතළ නොවන ලෙස පිහියකින් ඇනීමය. ඔහු එසේ කළේ මුලින් පහර දුන්නේ එඩ්වින් බව 'ඔප්පු' කිරීමටය. පියදාස ගේ සාක්ෂිය අධිකරණ වෛද්‍යවරයාගේ සාක්ෂිය සමඟ සැසඳිණි.

වහාම බර්ටි අත්අඩංගුවට ගැනිණ. නඩු විභාගය පැවති දින බලපිටිය මහේස්ත්‍රාත් උසාවි බිම අතුරු සිදුරු නැතිව සෙනගින් පිරී ගියේය. විත්තිය වෙනුවෙන් පෙනී සිටියේ නීති වෘත්තියේ මෙන්ම දේශපාලනයේද කැපී පෙනුණු අයෙකි.

හදිසියේම අනපේක්ෂිත තත්ත්වයක් උදා විය. එනම් පොලිසියට, නීතිඥයන්ට සහ විනිසුරුට තර්ජනය කරමින් නිර්නාමික ලිපි ලැබීමයි. ඒවායින් කියැවුණේ බර්ටි සහ ඔහුගේ පුතා නිදහස් කිරීමට මඟ පාදන ඕනෑම කෙනකු මරා දමන බවයි. ඒ ලියුම් එවන ලද්දේ එඩ්වින්ගේ සගයන් විසින් බව පැහැදිලි විය.

එහෙත් මිනීමැරුමේ එකම සාක්කිකරු වූ පියදාස ඉදිරිපත් වුයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පැය හතළිස් අටකට පසුව බැවින් එය විත්තියට වාසිදායක විය. ඒ අනුව මූලික සාක්ෂි විභාගයේදී හෙළි වූ කරුණු පදනම් කරගෙන විත්තිකරුවන් දෙදෙනාම නිදහස් කරනු ලැබුහ.

බර්ටි නඩුවෙන් නිදහස් වූයේ එදින පස්වරු හතරටය. ඉන් දෙපැයකට පසු රැස් වී සිටි පිරිස සිය නිවෙස් කරා ගොස් සිටි බැවින් සවස හය පමණ වන විට බර්ටි සිය බිරිඳ විසින් දෙන ලද තේ කෝප්පයක් තොල ගාමින් සිටියේය. ඔහු තේ බී හමාර වූවා පමණී. නිවස ඉදිරිපිට නතර විය. දෙදෙනකු අතේ මෙරට කම්මලකදී තනාගත් රිවෝල්වර තිබුණි. සිදුවන්නේ කුමක්දැයි සිතාගන්නටවත් බර්ටිට වෙලාවක් නොවීය. රිවොල්වර් දෙකින්ම පත්තුවූ වෙඩි වලින් සිරුර සිදුරු වී ඔහු එතැනම මැරී වැටුණි. ඝාතකයෝ පැමිණි වේගයෙන්ම ක්ෂණයකින් ආපසු පලා ගියහ.

මේ වෙඩි තැබීමෙන් මුළු ගමම හෙල්ලුම් කා ගියේය. පොලිසිය සහ නීතිඥයෝද තිගැස්සුණහ.

එවේලේම ඝාතකයන් සොයා පොලිසිය පළාතම පීරන්නට විය. එහෙත් ඔවුන්ට ගැමියන්ගෙන් කිසිදු තොරතුරක් ලබාගත නොහැකි විය. කෙසේවෙතත් සැකකරුවන් කවුරුදැයි පොලිසියට සිතාගත හැකි වූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැඩි දිනක් ගියේ නැත.

එහෙත් චුදිතයන්ට විරුද්ධව පැවති නඩු විභාගයේදී බර්ටි නිදහස් වූ අයුරින්ම නිදහස් වන්නට ඔවුන්ට හැකි විය. නඩුවේදී බර්ටිගේ බිරිඳ පැවසුවේ සිය නිවස ඉදිරිපිට වූ විදුලි ලාම්පු කණුවේ එළියෙන් ඝාතකයන් කවුදැයි ඇය හඳුනාගත් බවයි. ඈ පැවසු අන්දමට වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ලාම්පු එළිය දැල්වී තිබිණි. එහෙත් විත්තියේ නීතිඥයෝ පළාතේ විදුලි බල නිලධාරීන්ගේ සාක්ෂි පදනම් කරගෙන ඔප්පු කළේ ලාම්පු කණුව සිටුවන ලද්දේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව බවයි!

Comments