ලොවෙන් සමුගත් කෘෘඩියා ලංකා‌ෙවනුත් සමුගනියිද? | සිළුමිණ

ලොවෙන් සමුගත් කෘෘඩියා ලංකා‌ෙවනුත් සමුගනියිද?

මහනුවර කොළඹ මධ්‍යම අධිවේගී මාර්ගය තැනීමේදී එහි එක් අදියරයක් වන කඩවත සිට මීරිගම කොටසට අයත් දාරළුව ප්‍රදේශයේ තිබී වසර 110 පැරණි වෘක්ෂයක් 2018 වසරෙදී හමු විය. ඒ සම්බන්ධයෙන් කළ අධ්‍යයනයන්ගෙන් පසුව එම ශාකය ඉවත් නොකර මාර්ගය තැනීමට යෝජනා විය. නමුත් වසර දෙකක් යනතෙක් එම කටයුතු ඇණ හිට තිබිණ. අධිවේගී මාර්ගයේ කටයුතු නැවත ආරම්භ කිරීමත් සමඟ එම වෘක්ෂය අදාළ ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට රැගෙන යෑමට යෝජනා කිරීමත් සමඟ පරිසර සංවිධාන සහ සමාජ මාධ්‍ය ඊට දැඩි විරෝධය පළ කරමින් අදහස් ප්‍රකාශ කරනු පෙනෙන්නට තිබේ.

 

මානව පරිණාමයේ සිට මේ දක්වා ස්වභාවික හා මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ලොව වැසි සත්ත්ව විශේෂ හා ශාක විශේෂ වඳ වී යෑමේ තර්ජනයට ලක් විය. ලොව වඳ වී ඇතැයි සිතූ ඇතැම් ශාක හා සතුන් නැවත වාර්තා වූ අවස්ථා ද නැතුවාම නොවේ. ඊට කදිම නිදසුනක් 2018 වසරේදී මෙරටින් වාර්තා විය. ඒ කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගය සැකසීම සඳහා වෙන් කළ භූමි භාගය පිළිබඳව පරිසර තත්ත්ව වාර්තාවක් සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් පියවර ගැනීමත් සමඟය. එම පරිසර තත්ත්ව වාර්තාව පිළිබඳව සෑහීමට පත් නො වූ මධ්‍යම පරිසර අධිකාරිය එය නැවත අධ්‍යයනය කර කරුණු සොයා බලා වාර්තා කරන ලෙස පරිසරවේදී නිමේෂ් ඩිල්රුවන් ජයසිංහ සහ ප්‍රදීප් රාජ දේවගේ ඇතුළු පිරිසට බාර කළේය. එම අවස්ථාවේදී සිදු කළ පරිසර අධ්‍යයනයේදී හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ විසින් දාරළුව ප්‍රදේශයේ තිබී වසර 110 පැරණි කෘෘඩියා ශාක දෙකක් හඳුනා ගනු ලැබිණි. මුලින් ඔහු ඒ කෲඩියා ශාකය බැව් සැක පහළ කළ අතර, පසුව කළ අධ්‍යයනයේදී එය කෲඩියා සෙලනිකා ශාකය බව සැක හැර තහවුරු කරගත්තේය.

1868 දී මෙම ශාකය කෘෘඩියා සෙලනිකා (Crudia zeylanica)යන විද්‍යාත්මක නාමයෙන් පළමු වරට ලොවට හඳුන්වා දෙනු ලැබූ අතර, පසුව කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් තිබූ මෙම ශාක නියැදියක් වර්ෂ 1911 දී හමුවී වාර්තා කර තිබුණි. මෙම ශාකය ඉංග්‍රීසි බසින් Sri lanka Legume නම් වන අතර, මේ ශාකය සඳහා භාවිතා කළ සිංහල නමක් තවම හමු වී නැත. ඉන් අනතුරුව බොහෝ කාලයක් යන තුරු මෙම ශාකය පිළිබඳව කිසිදු සඳහනක් හෝ හඳුනා ගැනීමක් නොවීම හේතුවෙන් ලෝක සංරක්ෂණ සංගමය විසින් වර්ෂ 2006 ප්‍රකාශයට පත් කළ රතු දත්ත වාර්තාවේ මිහිමතින් සමුගත් [Extinct (EX)] ශාකයක් ලෙස නම් කෙරිණි. මේ වන විට දාරළුව ප්‍රදේශයේ තිබී හමුව ඇති ශාක දෙක දැනට තිබෙන විද්‍යාත්මක දත්ත අනුව අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ලෝකය තුළම මෙම ශාක විශේෂය අතරින් ඉතිරිව ඇත්තේ මෙම ශාක දෙක පමණක් බවය. ජ්‍යෙෂ්ඨ පරිසර සංරක්ෂණවේදියකු සහ පරිසර නීතිඥයකු වන ජගත් ගුණවර්ධන පවසන ආකාරයට මෙම ශාකය විනාශ කිරීම හෝ හානි කිරීම තහනම් කටයුත්තකි.

මෙම ශාකය මේ ස්ථානයෙන් ගලවා වෙනත් ස්ථානයක රෝපණය කිරීමට උපදෙස් දීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාරට කිසිදු අයිතියක් නැති බවත්, එය කළ හැක්කේ මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් වීමෙන් පමණක් බවත් හෙතෙම සඳහන් කරයි. වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 42 වැනි වගන්තිය යටතේ රෝම ඉලක්කමෙන් VIII වන උප ලේඛනයේ සඳහන් වන ආකාරයට කෘෘඩියා සෙලනිකා ( Crudia zeylanica) ශාකය ආරක්ෂිත ශාකයක් ලෙස නම් කර ඇති බවත්, මේ ශාකය මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන එයට කිසියම් හානියක් සිදු වුවහොත් එය දඬුවම් ලැබිය හැකි වරදක් පමණක් නොව ජාතික අපරාධයක් ද වන බව හෙතෙම පවසයි.

කෘෘඩියා සෙලනිකා ශාකය වඳවී ගිය බවට වාර්තා වී නැවත හමු වූ ශාකයකි. දැනට ඇති ගස් කිහිපය අතරින් මල් සහ ඵල දරණ එකම ලොකු ශාකය මෙය වේ. තම වර්ගයා බෝකර ගනිමින් ශාකයේ පැවැත්ම රැඳී පවතින්නේ මේ ශාකය මතය. එනිසා මෙය තවත් එක් ශාකයක් පමණක් ම නොවේ. මේ ශාකය රෝපණය කිරීමට ලබාදීමට අදහස් කරන ආයතනයේ ප්‍රධානියාට විරුද්ධව වනජීවි සංරක්ෂ දේපාර්තමෙන්තුව විසින් සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් නඩු පවරා ඇත. එවැනි පසුබිමක තමන්ගේ නඩුවක වග උත්තරකරුවකු සමඟ ගනුදෙනු කිරීම නිසා සම්බන්ධතා අතර ඝට්ඨනයක් ඇති වේ.

මේ පිළිබඳව පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අවධානය යොමු කර නොතිබුණි. අනෙක් අතට ඔහු විසින් මේ ක්‍රියාමාර්ගය ගැනීමට ප්‍රථම මේ සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකවන උද්භිදවිද්‍යා දෙපාර්ත­‌ෙම්න්තුවෙන් හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදු නොකර, පෞද්ගලික ආයතනයකට පැවරීමට උත්සාහ කිරීම දෝෂ සහගතය. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වඩා සවිස්තරාත්මක වාර්තාවක් සකස් කර පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට ලබාදීමෙන් අනතුරු මාධ්‍ය වෙත කරුණු දැක්වීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවය.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පවසන්නේ "වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට යැවූ ලිපිය මඟින් පවසා ඇත්තේ කෲඩියා ශාකය ඉවත් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වන විශේෂඥ මතය විමසා බලා මේ කටයුත්ත සිදු කරන ලෙස ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ ප්‍රකාශ කර සිටියේ " මධ්‍යම අධිවේගී මාර්ගයත් අපට අවශ්‍යයි. නමුත් මෙතරම් අතිශයින් දුර්ලභ ශාකයක් ලොකු අවදානමක් ගෙන වෙනත් තැනක රෝපණය කිරීමට උත්සාහ ගැනීමට වඩා අදාළ ස්ථානයේම සංරක්ෂණය කිරීමට පියවර ගැනීමයි වඩාත් යෝග්‍යය වන බවයි.

පරිසරවේදී හේමන්ත විතානගේ පවසන්නේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත අනුව මෙය ආරක්ෂිත ශාකයක් බවයි. මේ පනත අනුව මෙවැනි ශාකයක් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් සඳහන් වී නැති වුවත්, එය ආරක්ෂා කිරීමේ වගකීම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී ඇති බවයි.

2018 දී මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකළ පරිසර තත්ත්ව වාර්තාව මඟින් මෙම ශාකය හමුවීමත් සමඟ මේ පිළිබඳව කමිටුවක් පත් කර පරික්ෂා කරබැලීමෙන් අනතුරුව නිගමනය වූයේ මේ මාර්ගය පොඩ්ඩක් එහාට ගෙනයාමෙන් මෙම ශාකයට හානි නොවී මාර්ගයේ ඉදිකිරීම් කළ හැකි බවය.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත අනුව මේ ආකාරයට කිසිදු පුද්ගලික ආයතනයකට මෙවැනි ක්‍රියාවක් සිදු කිරීමට අවසර දිය නොහැකිය. කළ යුත්තේ රජයට අයත් උද්භිද උද්යානය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සංරක්ෂණය පිළිබඳ දැනුම ඇති රාජ්‍ය ආයතන ආයතන එක්ව මෙම ශාකය සංරක්ෂණය සඳහා කිසියම් ක්‍රමවේදයක් සකස් කිරීමය.

Comments