සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - නැතිවී තිබූ ස්වර්ණාභර්ණයක් හමු වේ

මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ඉතා වාසනාවන්ත සතියකි. චන්ද්‍රයා 11 - 12 - 01 - 02 යන ස්ථානවල ගමන් කිරීම ද ආර්ථික ලාභ පිටරට යෝග ව්‍යාපාර ඵල මතු කරනු ඇත. තමා අත්හැර දමා තිබූ ආර්ථික ආදායමක් යළි තමාට විවෘත වන බව පෙනේ. ඒ නිසාම සිතේ සතුට සැනසීම උදාවනු ඇත. තම වත්ත පිටියේ කරන පවිත්‍ර කිරීමකදී තමාට හිමි උරුමයක් නැ‍තහොත් තමාගේ නැතිවූ වටිනා ස්වර්ණාභරණයක් යළි තමාට හිමි වන ලකුණු පෙනේ. දණහිස ආශ්‍රිත ආසාදන ඇතිවේ. ප්‍රවේශම් වන්න.

 

වෘෂභ - ආර්ථිකයේ ප්‍රවර්ධනයක්

වෘෂභ ලග්නයට අනුව මෙම සතියේ ඔබට කලක් ඈත්ව සිටි රැකියාවක දිගටම නියැළීමට අවස්ථාව උදා වේ. ඒ නිසා රැකියාගත අමතර වගකීම් රැසක් දැරීමට සිදු වේ. ඒ නිසාම වේතනයේ සැලකිය යුතු උසස් වීමක් පෙනෙන්නට තිබේ. සිතේ සතුට වැඩිපුර දැනෙනු ඇත. ඒ අතර චන්ද්‍රයා මේ සතියේ ඔබගේ කේන්ද්‍රයට අනුව 10 - 11 - 12 - 01 යන ස්ථාන පසුකර යමින් ඔබව ආර්ථික අතින් වාසනාවන්තයකු කරයි. අන් අයගේ උපකාර මත ඔබට එදිනෙදා අවශ්‍යතා කීපයක් නොමිලයේම ඉෂ්ට සිද්ධ කර ගැනීමටද අවස්ථාව උදා වේ.

 

මිථුන - විවේකී සුවය ලැබේ

මිථුන ලග්නයට අනුව චන්ද්‍රයා මෙන්ම අනෙක් ග්‍රහ ගමන් කීපයක් නිසා මෙම සතිය ඔබගේ සිතට මහත් සැනසුමක් ගෙන දෙන කටයුත්තකට හේතුවේ. අසනීපව සිටි තම මව හෝ පියා ඉන් මිදී සුව අතට හැරීම නිසා මහත් වෙහෙසකින් මිදී විවේකී කාලයකට මුහුණ දීමට ඔබට ඉඩහසර සැලසෙනු ඇත. කෙසේ නමුදු ව්‍යාපාර රැකියා ආර්ථික දියුණුව ද ඇති වේ. තම සහකරු හෝ සහකාරිය එකතු වී කිරීමට සංවිධානය වී තිබූ සැලසුමක් කල් දැමීමට සිදු වේ. එහෙත් එය ඔබට වාසියක් මිස ඉන් අවැඩක් සිදු නොවනු ඇත.

 

කටක - යහපත් මානසික සුවයක්

කටක ලග්නයට අනුව ඔබ මෙම සතිය ආරම්භයත් සමඟ නව නිවසක පදිංචියකට යෑමට සිතයි. ඒ නිසා නව ජීවන ඇරඹුක් ලෙස එය හඳුන්වා දීමට පුළුවන. මෙතෙක් මානසික පීඩනයෙන් යුතුව කල් ගත කළ ඔබට අවශ්‍ය මානසික සුවය ලැබෙන සතියකි. විවාහ අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වේ. ගමින් පිට දුර බැහැර ගමනකට කරුණු යෙදේ. කොයිකා සමඟත් එකට එකතුව විනෝදජනක ලෙස කටයුතු නිමාකර ගත හැකි වැඩිපුර ආගමික කටයුතුවල යෙදීමට සිත යොමු කරන සතියකි. චන්ද්‍රයා 08 - 09 - 10 - 11 හි ගමන් කරයි.

 

සිංහ - කාර්ය බහුල සතියක්

සිංහ ලග්නයට අනුව අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුවත් ඒවා ජය ගැනීමට ඔබට හැකිවනු ඇත. 07 - 08 - 09 - 10 යන ස්ථානවල ගමන් කරන චන්ද්‍රයාගේ ස්වභාවය අනුව කාර්ය බහුල සතියකට ඔබට මුහුණ දීමට සිදු වේ. උත්සව කිහිපයකටද සහභාගී වීමට සිදුවන අතර හොඳ නම දිනා කා අතරත් සතුටින් ගත කිරීමට හැකි වේ. තුනටියේ අපහසුතාවක් නිසා කිසියම් බාධාකාරී ගමනකට මුහුණ දීමට සිදු වුව ද ප්‍රවේශම් වීමෙන් එම බාධකද මඟ හරවා ගත හැකිය.

 

කන්‍යා - සම්මුඛ පරීක්ෂණයෙන් ජය

කන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව බුද්ධිමත් ලෙස කටයුතු කිරීමෙන් ජයග්‍රහණ කීපයක් උදාකර ගත හැකිය. තරග විභාග හා සම්මුඛ පරීක්ෂණාදියෙන් ජය හිමි වේ. තම වෙහෙසේ තරමට ප්‍රතිඵල හිමි වේ. නිවසක් තනන අයකුට ඒ සම්බන්ධ නැවත කඩා දැමීම් කීපයක් නිසා නිරපරාදේ වියදම් ස්වරූපයක් පෙන්වන නිසා ඉතා ප්‍රවේශමෙන් දෙවතාවක් සිතා කටයුතුවල නිරත වීමෙන් වියහැකි පාඩු අවම කරගත හැකිය. පපුවේ සෙම හතිය මුත්‍ර ස්ථානගත ගැටලුවලට මුහුණ දීමට ද ආහාර අරුචිකම් අජීර්ණ නිසාද ශරීරය පීඩාවට පත්වන ලකුණු පවතී.

 

තුලා - ආර්ථික ස්ථාවරත්වය

තුලා ලග්න හිමි ඔබට ඉතා හරවත් අදහස් උදහස් සිතට නැගෙන සතියකි. ඒ අනුව හරවත් කලා නිර්මාණ බිහිවීම ඒ තුළින් අන් අය පිනවීට ඔබට අවස්ථා කීපයක් උදා වීම තුළ බොහෝ දෙනාගේ ආදර ගෞරවයට භාජනය වේ. ඒ තුළින් ආර්ථික ස්ථාවර භාවයද ඔබට උදාකරගත හැකිය. කිසි ලෙසකින්වත් ඔබ ඔබගේ වගකීම් අන් අයට පවරන්න නොසිතන්න. කිසියම් වගකීමකින් තාවකාලිකව හෝ ඔබ නිදහස් වීමට සිතනවා නම් සතිය අග භාගයේදි පසුතැවීමට හේතු වනු ඇත. චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතියේ ගමන් කරනුයේ 05 - 06 - 07 - 08 යන ස්ථානවලයි.

 

වෘශ්චික - අපේක්ෂා සඵලවේ

වෘශ්චික ලග්නට අනුව ඔබට මෙම සතිය පුරාවට සිතට කුමක් හෝ සැක සහිත කරුණක් නිසා කාලය නිකරුණේ කැප කිරීමට සිදුවීමට පුළුවන. විශේෂයෙන් තම නිවසට පැමිණෙන පිටස්තරයකු හෝ ඥාතියකු නැතිනම් ගෘහ සේවක සේවිකාවක නිසා පාඩු විඳීමට සිදු වේ. ඒ නිසා කල්පනාකාරී ලෙස කටයුතු කරන්න. වාහන මිලදී ගැනීමේ ව්‍යාපාරයකට අත ගැසීම ඔබට අහිමිව තිබූ රැකියාවක් යළි අපේක්ෂා කර එය ඉටුකර ගැනීමට උත්සාහ දැරිය යුතු සතියකි. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව 04 - 05 - 06 - 07 යන ස්ථානවල ගමන් කිරීම බොහෝ අපේක්ෂා සඵල කරගත හැකි සතියකි.

 

ධනු ලග්නය - දේපළ හිමිකමක්

ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයාගේ හැසිරීමත් රවි, බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන්ගේ හැසිරිම් රටාව නිසාත් නඩුහබ ජය, දේපළ හිමිකම් ඇති වේ. කිසියම් හිතවතකුගේ නීතිමය ගැටලුවකට හෝ ඒ වෙනුවෙන් ඔබට සාක්ෂි දීමට යෑමට පවා සිදු වේ. ඒ නිසා මෙම සතිය ගෙදරටම වී නිදහසේ කටයුතු කිරීම සුබ වෙයි. තම මිතුරු මිතුරියන් තමා වෙතින් ඈත්වීමක් නිසා කිසියම් සිත් තැවුලකට වුවද මුහුණ දීමට සිදු වේ. සෙම හතිය බහුල කෙරේ. චන්ද්‍රයා ගමන් කරන්නේ 03 - 04 - 05 - 06 යන ස්ථානවල වේ.

 

මකර ලග්නය - ආදායම් මාර්ග කීපයක්

මකර ලග්නයට අනුව චන්ද්‍රයා මෙම සතිය පුරාවට කේන්ද්‍රයේ 02 - 03 - 04 05 යන ස්ථානවල ගමන් කිරීම නිසා ආදායම් මාර්ග කීපයකට ඔබ අතගසනු පෙනේ. ඒවායින් සතුටුදායක ප්‍රතිචාර දක්නට ලැබේ. කුස ආශ්‍රිත රෝග කීපයක් නිසා පීඩා විඳීමට සිදු වුවද නිසි වේලාවට ප්‍රතිකාර ගැනීමෙන් ඒවා අවම කරගත හැකිය. පිටරටට සම්බන්ධ අයකු නිසා ජීවිතය ස්ථාවරත්වයෙන් ගෙනයාමට අවස්ථාව උදා වේ. තම සිතැඟි පරිදි පමණක් කටයුතු නොකරන්න. වැඩිහිටි ඔවදන් මඟ පෙන්වීම අනුව ගියහොත් ඉදිරිය සුබ වේ. සැර උෂ්ණ ආහාර පාන අවම කරන්න.

 

කුම්භ ලග්නය - හුදෙකලා දිවියක්

කුම්භ ලග්නයට අනුව සතියේ මැද භාගයේ අන් අයගෙන් දුරස්ථව හුදෙකලා දිවියක් ගත කිරීමට ඔබට සිදු වේ. මෙතෙක් ගොඩගැහී තිබූ කටයුතු කීපයක් නිරවුල් කර ගැනීමට ඔබට හැකි වේ. තම මවු පාර්ශ්වයේ කෙනෙකුගේ ඇප උපකාර නිසා බොහෝ කටයුතු අවම කර ගැනීමට ඔබට හැකි වේ. උගුරේ අමාරු උරහි‍ෙස් අමාරු පෙන්වයි. ප්‍රවේශම් වන්න. කිසියම් නීති කටයුත්තක් උසාවිය, පොලිසිය ආදී ස්ථානයකට යෑමට හෝ පෙන්වන සතියකි. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව මෙම සතියේ 01 - 02 - 03 - 04 යන ස්ථාවල ගමන් කිරීම සතුටුදායක වේ.

 

මීන ලග්නය - සතුරු බාධක

මීන ලග්නය හිමි ඔබට මෙම සතිය රැකියාගත සතුරු බලපෑමක් නිසා ගැටලු ඇති වේ. ඒ නිසා ඔබ කර කියනදෑ වුවද කල්පනාවෙනි. ඔ‍බගේ හදිසි කෝපය නිසා වුවද තමාට ආර්ථික පාඩු එළඹෙනසේ බලපෑමට පුළුවන. ඒ කෙසේ නමුත් ආර්ථික ලෙස ඔබට යහපත්ය. තම පිය පාර්ශ්වයෙන් උරුමයක් ලැබෙන සතියකි. අන් අයගේ සිත දිනාගෙන කටයුතු කිරීමට ඔබට හැකි වේ. චන්ද්‍රයා මේ සතියේ ඔබ කේන්ද්‍රයට අනුව ගමන් කරන්නේ 12 - 01 - 02 - 03 යන ස්ථානවලයි.

Comments