සිතන්නට යමක් | සිළුමිණ

සිතන්නට යමක්

ගෝඨාභය රාජපක්ෂයන් ඉකුත් ජනාධිපතිවරණයේදි ජනාධිපති ධූරයට පත් වූයේ ඡන්ද දායකයන් හැට නම ලක්ෂයකගේ ඡන්දයෙනි. අනතුරුව පැවති මහා මැතිවරණයෙන් පොදු ජන පෙරමුණට අයත් මන්ත්‍රීවරුන් 145 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජනාධිපතිවරයාට හැකි විය. ඉන් පසු 20 වැනි සංශෝධනය ආණ්ඩුවේ තුනෙන් දෙකක ට වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත කර ගැනීමටද හැකි විය.

එසේ වුවද මෑත කාලයේ මෙරට ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වී ඇති අන්දමට ජනාධිපතිවරයාගේ නියෝගවලට පවා පාලනය නොවන සුපිරි බලවතුන් කීප දෙනෙකු සිටින බවට ඇතැමුන් තුළ සැකයක් පහළ වී තිබේ. ඒ සැකය පහළ වන්නේ ආණ්ඩුවේම කැබිනට් ඇමති ධූර හා රාජ්‍ය ඇමති ධූර උසුලන දේශපාලඥයන් කීප දෙනකු නිසාය.

ඔවුන් අතරින් ප්‍රමුඛයා වන්නේ වත්මන් ආණ්ඩුවේ වෙළඳ ඇමති ධූරය හොබවන ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ය. ඔහු මුලින් ම එම සුපිරි බලවතුන්ගේ අමනෝඥ ක්‍රියා කලාපය පිළිබඳව තම අප්‍රසාදය පළකර තිබුණේ ආණ්ඩුවේ ඇමතිවරුන් පුලන්නන් බවට පත් කරන ඇතැම් නිලධාරීන් වත්මන් රාජ්‍ය සේවයට අරක් ගෙන සිටින බවට පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කරමිනි.

මේ අතර ඔහු මාධ්‍යට ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබු‍ණේ පාර්ලිමේන්තුව තම කාර්යය භාරය නිසි ලෙස ඉටු නොකිරීම නිසා මුදල් අමාත්‍යංශයට අත්තනෝමතිකව කටයුතු කිරීමට හැකිවී තිබෙන බවය. ඔහු චෝදනා කරන්නේ යම් නිලධාරියෙකුටද?

මේ අතර ආණ්ඩුවේ ඇමති ධූර බෙදා වෙන් කිරීම පිළිබඳවද වෙළඳ ඇමතිවරයා තුළ පවතින්නේ බලවත් අප්‍රසාදයකි. ඊට හේතු වී ඇත්තේ තමන් වෙළඳ ඇමති ධූරයට පත් කර තිබුණද එම අමාත්‍යංශයට අයත් විය යුතු වැදගත් ආයතන කිහිපයක්ම තමන්ගෙන් ඉවත්කර තිබීමය. ඔහු සඳහන් කරන අන්දමට ස්ථාන රැසක පිහිටුවා තිබෙන ආර්ථික මධ්‍යස්ථාන, වරලත් ගණකාධිකාරී ආයතන සහ සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව වැනි ආයතනයන් වෙළඳ අමාත්‍යංශයෙන් ඉවත් කර තිබේ.

මේ අතර ඔහු තවත් බරපතළ කරුණක් පිළිබඳව මාධ්‍යයට හෙළිකර තිබුණේය. එනම් පසුගිය අයවැය ලේඛනය සැකසීමේදි වෙළඳ අමාත්‍යංශයට වෙන් කළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව කිසිවකු තමන් ගෙන් කිසිදු විමසීමක් නොකරන ලද බවය. වෙළද ඇමතිවරයාගේ එම ප්‍රකාශය සත්‍යයක් නම් ඒ ගැන බරපතළ ප්‍රශ්නයක් තිබේ. ඔහු කියන අන්දමට මුදල් අමාත්‍යාංශයෙන් ඒ ගැන විමසා ඇත්තේ ඇමතිවරයා වන තමන්ගෙන් නොව එම අමාත්‍යංශයේ ලේකම්වරයාගෙනි.

මේ අතර මෙරට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රවය කිහිපයක්ම මිල පාලනයට යටත් කරමින් ඉකුත් කාලය තුළ ගැසට් නිවේදන දෙක තුනක්ම නිකුත් වී තිබුණේය. එහෙත් ස.තො.ස ඇතුළු කිසිඳු වෙළඳ ආයතනයකින් එම මිල ගණන්වලට ඒ කිසිදු ආහාර ද්‍රව්‍යයක් මිලට ගැනීමට නොහැකි විය. ඒ පිළිබඳව ජනතාවගෙන් කුණු බැණුම් ඇසීමටත්, පුවත්පත් කාටුන් ශිල්පීන්ගේ අපහාස - උපහාසවලට ලක්වීමටත් සිදුවී තිබුණේ වෙළඳ ඇමති ධූරය හෙබවූ ආචාර්ය බන්දුල ගුණවර්ධනටය. ඊට හේතු වූයේ ඒ හැම ගැසට් නිවේදනයක්ම වෙළඳ ඇමතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් වී තිබුණ බැවිනි.

ඔහු එම ගැසට් නිවේදන පිළිබඳව කුමක් පැවසුවද අපටද ඒ ගැන එතුමාගෙන් විමසීමට ප්‍රශ්නයක් තිබේ. එනම් තමන්ගේ අනුදැනුමකින් තොරව ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනයකට‍ ඔහු තම අත්සන යොදන ලද්දේ මොන හේතුවකට ද යන්නය. කෙසේ වෙතත් තමන්ට පාලනය කර ගැනීමට නොහැකි මෙවැනි කරුණු කාරණා කිපයක් නිසා ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ දිනවල පසුවන්නේ කලකිරීමකින් ද?.

එක අතකින් බලන විට එතුමා තුළ ඇති වී තිබෙන කලකිරීම මෙන්ම කෝපයද සාධාරණය. තමන්ගේ ද උපරිම දායකත්වයෙන් පිහිටුවා ගැනුණු ආණ්ඩුවකින් තමන්ටම කැපිලි කෙටිලි සහ මදි පුංචිකම් සිදු වීම ඒ සඳහා මුල් වූ ප්‍රධානතම හේතුවයි.

වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන මෙවැනි මදිපුංචිකම් වලට ගොදුරු වී සිටි එකම ඇමතිවරයා ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් පමණක් නොවේ.

කෙසේ වෙතත් එය එතරම් සුබදායක තත්ත්වයක් නොවේ. එවැන්නකට දැක්විය හැකි හොඳම උදාහරණයක් වන්නේ 2001 දී බලයට පත්වී වසර දෙකහමාරක් වැනි සුළු කාලයක් ඇතුළත චන්ද්‍රිකා ජනාධිපතිනිය විසින් විසුරුවා හැරුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. එදා එම ආණ්ඩුවේ සුපිරි බලවතා වූයේ චරිත රත්වත්තය. ඔහු එකල කොතරම් බලවතකු වූයේදැයි කිවහොත් එම ආණ්ඩුව පවතින තාක්කල් කිසිම පුද්ගලයකු රජයේ හෝ රාජ්‍ය අංශයේ රැකියාවකට බඳවා නොගන්නා ලෙස සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හට විශේෂ චක්‍රලේඛයක් මඟින් උපදෙස් දී තිබුණේය. ඔහුගේ එම ඔලමොට්ටලකම් වල අවසන් ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් හැළී ගිය පාක්ෂිකයන් 2004 මහ මැතිවරණයේදී බුරුතු පිටින් ගොස් එක්සත් ජනතා නිදහස් සංධානයට ඡන්දය ප්‍රකාශ කිරීමය.

එවැනි අමිහිරි සිදුවීම් විටින් විට ප්‍රතිරූපණය වීමට ඇති ඉඩකඩ පිළිබද ව වත්මන් ආණ්ඩුවට සම්බන්ධ සුපිරි බලවතුන් ද සැලකිලිමත් වීම වැදගත් කරුණක් විය හැකි බව අපගේ අදහසයි.

Comments