සෞන්දර්ය මහාචාර්යවරයාගේ කෝටි 4 ‘චිත්‍ර රොබරිය’ | සිළුමිණ

සෞන්දර්ය මහාචාර්යවරයාගේ කෝටි 4 ‘චිත්‍ර රොබරිය’

ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියකු වූ ඩේවිඩ් පේන්ටර් විසින් අඳින ලද රුපියල් මිලියන තිස් හතක් වටිනා චිත්‍ර දහනවයක් ඒ ශිල්පියාගේ අන්තිම කැමැත්තට විරුද්ධව අන්සතු කිරීමත්, තමා සන්තකයේ තබා ගැනීමත් යන චෝදනා මත සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්යවරයකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමේ සිද්ධිය කලකට ඉහත සමාජය කලඹන්නට හේතු විය.

 

වසර 1967 ඔක්තෝම්බර් 17 දින උන්මත්තකයකු විසින් සීගිරි චිත්‍ර වලට මහා විනාශයක් කළදා මුළු රටම ඒ ගැන කම්පා විය. ඒ අතර කුඩා දරුවන් ලෙස එකල සිටි අපට ඒ වේදනාව මනා ලෙස දැනුණි. ඒ උන්මත්තකයකු විසින් සිදු කළ දෙයකි. එහෙත් කොළඹ යුගයේ නූතන මහා ලෝ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියකු වු ශ්‍රි ලාංකික ඩේවිඩ් පේන්ටර් විසින් අදින ලද වටිනා චිත්‍ර සමූහයක් විශ්වාසය කඩකල සෞන්දර්ය මහාචාර්යවරයකු විසින් අන්සතු කළ වංචාවක් සම්බන්ධව 2015 නොවැම්බර් 17 වැනි දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකාර මහාචාර්යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් ඉදිරිපත් කරන ලදි.

1982 අංක 12 පොදු දේපළ පනත් හා 2003 අංක 36 බුද්ධිමය දේපළ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් මඟින් ඉදිරිපත් කොට ඇත්තේ කොට්ටේ බැද්දගානේ පදිංචිව සිටි එවකට 76 වියැති මහාචාර්ය ගොඩමුන්නලාගේ ඇල්බට් ධර්මසිරි ය. ඔහු කලක් ලංකා කලා මණ්ඩලයට අනුබද්ධිත චිත්‍ර අනුමණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද සේවය කළේය.

ලෝක ප්‍රසිද්ධ ශ්‍රී ලාංකිය චිත්‍ර ශිල්පියකු වූ ඩේවිඩ් පේන්ටර්ගේ ලක්ෂ 190ක් පමණ වටිනා චිත්‍ර සමූහයක් කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය පීඨයේ ප්‍රදර්ශනය කරන බව කියමින් විශ්වාසය කඩ කිරීම හේතුකොටගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබු සැකකාර මහාචාර්යවරයාව 2015.11.17 දින නුවරඑළිය එවක මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප හා රුපියල් විසිදහසක මුදල් ඇප මත නිදහස් කර ඇත. ඒ අනුව මහාචාර්යවරයාගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙසත් එය ආගමන විගමන පාලක වරයා වෙත දන්වන ලෙසත් නියෝගයක් ද කර ඇත. සැකකාර මහාචාර්යවරයාගේ නමින් වැල්ලවත්ත ලංකා බැංකු ශාඛාවේ ගිණුමක වාර්තාවක්ද කැඳවීමට එදින නියෝග කරන ලදි.

ලොව සුපතළ මේ අග්‍රගණ්‍ය කලා ශිල්පියා ගැන මෙරට ජනතාවගෙන් කීයෙක් කී දෙනෙක් දන්නේ දැයි සැකයකි. දවසට දෙකට රියැලටි වැඩසටහන් වලින් එන ගායක ගායිකාවන්ගේ නර්තන ශිල්පීන්ගේ දවසට දෙකට ජනප්‍රිය වන ටෙලිනාට්‍ය නළු නිළියන්ගේ වගතුග හොඳින් දන්නා මෙම මෙරටට මහා මෙහෙවරක් කළ චිත්‍ර ශිල්පියා පිළිබඳව බොහෝ විට දන්නේ පාසැල් වලදී හා විශ්වවිද්‍යාල තුළදී චිත්‍ර ශිල්පය පිළිබඳ හදාරන්නන් පමණි. ඩේවිඩ් පේන්ටර් ශිල්පියා කොළඹ යුගයේ මෙරට වර්ණවත් කළ චිත්‍ර ශිල්පීන් අතර එ්. සි. සි. අමරසේකර, ජේ. ඩී. ඒ. පෙරේරා, ජෝජ් කිට්, ආර් සාර්ලිස්, සෝලියස් මෙන්ඩිස්, එල්. ජී. ජී. මංජු ශ්‍රි, ස්ටැන්ලි අබේසිංහ යන චිත්‍ර ශිල්පීන් අතර ඩේවිඩ් පේන්ටර් ද නමක් දිනාගෙන සිටි අයෙකි.

චිත්‍ර ශිල්පියකු ලෙස ඩේවිඩ් පේන්ටර්ගේ ශෛලීන් තුළ ඇති ජීවමාන ගති හා හැඩතල අපේ කම නිසා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ චිත්‍ර විෂයය සඳහා ඩේවිඩ් පේන්ටර්ගේ චිත්‍රද විෂය නිර්දේශයට ඇතුළු කර සිසු දරුවන්ට අධ්‍යයනයට කටයුතු යොදා ඇති බව පෙනේ.

මෙරට දහස් ගණනක් වූ පාසැල් දරුවන් අතර චිත්‍ර විෂය විෂයක් ලෙස හදාරන පිරිස අඩුවීම නිසා මේ වටිනා චිත්‍ර ශිල්පීන් පිළිබඳව ඇති දැනුම හීන වීමට හේතු කාරණා වී ඇති බව කිව යුතුය. ඩේවිඩ් පේන්ටර් චිත්‍ර ශිල්පියකු මෙන්ම සමාජ සේවකයකු ලෙසද කටයුතු කර ඇති නිසා මෙරට පාසැල් අතර නුවරඑළියේ පිහිටි ඩේවිඩ් පේන්ටර් අනුස්මරණ විද්‍යාලය ඔහු නමට නම් කර ඇත. ඒ සමඟම විවිධ හේතු නිසා අසරණ වූ දරුවන්ට සරණ දෙන ළමා නිවාසයක් ද පේන්ටර් ළමා නිවාසය මඟින් අද ද පවත්වාගෙන යන බව කිවයුතු ම ය. ඩේවිඩ් පේන්ටර් සක්‍රිය ලෙස වැඩිකාලයක් ජීවත්ව ඇත්තේ නුවරඑළියේ නිසා ඔහු ගැන කියැවීමක් සිදු කිරීම සුදුසු කටයුත්තකි.

වසර 1900 මාර්තු 05 දින ඉන්දියාවේ ඇල්ලෝරා වල උපත ලද ඩේවිඩ් පේන්ටර් දරුවා ඔහුගේ මාපියන් සමඟ වසර කීපයකට පසු ලංකාවට පැමිණ පදිංචි වූ අයෙකි. කුඩා කාලයේදී එල්ලෝරා වල මූලික අධ්‍යාපනය ලැබු ඩේවිඩ් පේන්ටර්ගේ පියා මිෂනාරිවරයකු නිසාම ආගමික කටයුතු සඳහා මෙන්ම සමාජ සේවා කටයුතු සඳහා ලංකාවට පැමිණ ඇති බව පෙනේ. එසේ පැමිණි ඩේවිඩ් පේන්ටර් මහනුවර ත්‍රිත්ව විදුහලේ සිසුවකු ලෙස අධ්‍යාපනය ලබා ඇති අතර චිත්‍ර විෂය පිළිබඳව මනා දක්ෂතාවක් පෙන්නුම් කිරීම නිසාම වයස අවු 19ක් වු අවදියේදී චිත්‍ර විෂය හැදැරීමට එංගලන්තයට යෑමට ඩේවිඩ් පේන්ටර්ට ශිෂ්‍යත්වයක් හිමි වී ඇත. තරුණ ඩේවිඩ් පේන්ටර් එංගලන්තයට ගොස් එංගලන්ත රාජකීය පාසලක අධ්‍යයන කටයුතු කළ ඩේවිඩ් පේන්ටර්ට එහිදීද ඉතාලියට ගොස් වසර දෙකක් චිත්‍ර හැදෑරීම සඳහා වාසනාව හිමිව ඇති බව වාර්තා වේ. විදෙස්ගතවී සිටි ඩේවිඩ් පේන්ටර් යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 1928 දි දක්ෂ චිත්‍ර ශිල්පියකු ලෙස නමක්ද හිමිකර ගනිමිනි. එංගලන්තයේ සිටි කාලයේදී ඔහු ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක් ද පවත්වා ඇත.

ඩේවිඩ් පේන්ටර්ගේ පියා ආතර් ස්ටීෆන් පේන්ටර් ය. ඔහුගේ මව දකුණේ පදිංචිකාරියක් වූ අනගි වීරසූරිය නම් කාන්තාව විය. තම දෙමාපියන් සමඟ සමාජ සේවයේ යෙදී සිටි ඩේවිඩ් පේන්ටර් 1936 දි යළි විදේශගතව එංගලන්තය ඉතාලිය රෝමය හා ඉන්දියාවට ගොස් චිත්‍ර ශිල්පය පිළිබඳව ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශන කීපයක් සංවිධානය කළ කලාකරුවකි.

ඉන්පසු මෙරටට පැමිණි ඩේවිඩ් පේන්ටර් 1949 දි හෝටන් ප්‍රදේශයේ ස්ථාපිත හේවුඩ් නමින් හැඳින්වූ රජයේ කලායතනයේ චිත්‍ර කලාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස පත්ව එහිම නියෝජ්‍ය අධිපති ලෙසද පත්ව ඇත. 1954 දි ඉන්දියාව බලා ගිය ඩේවිඩ් පේන්ටර් ඉන්දියාවේදි ශ්‍රේෂ්ඨ නායකයන් වූ මහත්මා ගාන්ධිතුමා හා ජවහර්ලාල් නේරුගේද රූප චිත්‍රනයට නැංවීමට සමත්ව ඇත. මෙරට අග්‍රාමාත්‍යව සිටි සර් ජෝන් කොතලාවලගේ ද සර් අයිවර් ජෙනිස්ගේ හා ආර් එල් ස්පිටල් යන අයගේ රූප ද චිත්‍රණයට කටයුතු කළ මෙරට චිත්‍ර ශිල්පියාය.

ඩේවිඩ් පේන්ටර් ජේසූස් වහන්සේගේ ජීවිතේ විවිධ අවස්ථා චිත්‍රණයට නඟා ඇත්තේ දැඩි අධ්‍යාත්මික ලක්ෂණ ඇතුළත් කරමින්ය. තමා අධ්‍යාපනය ලැබූ මහනුවර ත්‍රිත්ව විදුහලේ දෙව් මැදුරේ චිත්‍ර ඊට සාක්ෂි වේ. තම මව දකුණේ පදිංචිකාරියක නිසාම දකුණුකරයට අයත් ආවේණික සිරිත්විරිත් ඩේවිඩ් පේන්ටර්ගේ බොහෝ චිත්‍රවලට වස්තු විෂය වී ඇත. ඒ සමඟම තම දෙමාපියන් සමඟ කලක් ආගමික කටයුතුවල ත්‍රිකුණාමලයේ ගත කළ නිසා වෙරළ ආශ්‍රිතව ධීවර පවුල් වල චර්යා පද්ධති පිළිබඳ විවිධ ආකාරයේ චිත්‍ර වලට හසුව ඇත. ඩේවිඩ් පේන්ටර්ගේ චිත්‍ර වලට වැඩි අගයක් ලැබුණේ 1996 දී තැපැල් දෙපාර්තමේන්තුව විසින් චිත්‍ර දෙකක් මුද්දර කාර්යංශය විසින් නිකුත් කිරීම නිසා ය.

මේ සුවිශේෂ චිත්‍ර ශිල්පියා 1975 ජූලි 05 දින හදෘයාබාදයකින් මියයන විට ඔහුගේ වයස 75කි. ඔහුගේ සිරුර නුවරළියේ ලේඩිමැකලම් මාවතේ සුසාන භුමියේ මිහිදන් කර ඇති අතර අද ද ඔහුගේ නමින් ස්මාරකයක් ඒ ස්ථානයේ දැකිය හැකිය.

ඩේවිඩ් පේන්ටර් නම් මේ සුවිශේෂ චිත්‍ර ශිල්පියාගේ අභාවයෙන් පසු ඔහුගේ පරපුරේ එවන්ජිල් ලෝරින් ඊවා ඩාලින්ගේ උපදෙස් පරිදි පොල්මංකරු වශයෙන් ඩොරින් රෝසි මේරියන් නම් කර 1969.11.30 දින නිතිඥයකු විසින් අන්තිම කැමති පත්‍රයක් ලියා ඇති අතර ඩේවිඩ් පේන්ටර්ගේ චිත්‍ර කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශනයට මහාචාර්ය ඇල්බට් ධර්මසිරි, සේනක බණ්ඩාරනායක, ආචාර්ය ගුණවර්ධන යන අයගේ අධික්ෂණයෙන් එය සිදු කළ යුතු බවට අවසාන කැමති පත්‍රයේ තිබූ බව කියැවේ.

ඒ අනුව නුවරඑළියේ පේන්ටර් අනුස්මරණ ළමා නිවාසයේ පාලකයන් විසින් 2010 දි මහාචාර්ය ඇල්බට් වෙත චිත්‍ර 19ක් බාර දී ඇත. අදාළ මහාචාර්යවරයා විසින් රැගෙන ගිය ඩේවිඩ් පේන්ටර්ගේ චිත්‍ර සමූහය කැලණිය විශ්වවිද්‍යාලයට බාර දී නැති බව එම චිත්‍ර සම්බන්ධව පැමිණිල්ලක් 2015.09.25 දින කොළඹ හෝටන් හි පදිංචිකරුවකු වූ රාමු සරත්චන්ද්‍රජීව යන අය විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණිලි කර ඇත. ඒ අනුව 2015.09.28 දින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අදාළ සිද්ධිය සම්බන්ධව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා පරීක්ෂණයක් අරඹා ඇත. එම විමර්ශන වලදී සැකකාර මහාචාර්යවරයා විසින් රැගෙන ගිය චිත්‍ර 19න් ඇතැම් ඒවා යම් යම් පුද්ගලයන් සතු කර තිබියදී ඉන් 10ක් පමණ සොයාගෙන ඇත‍

අදාළ විශ්වාසය කඩකිරීම හේතුවෙන් 2015.11.17 දින සොයාගත් චිත්‍ර ගැන තොරතුරුද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සොයාගත් චිත්‍ර 18ක් කොළඹ විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨාධිපති වෙත බාර දීමට නියෝග කරන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. අදාළ නඩුව සම්බන්ධව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේදි පවත්වාගෙන ගිය නඩුව පසුව නුවරඑළිය මහා අධිකරණයේ එච් සි / එන් ඊ / 2316 / සි ආර් දීර්ඝ කාලයක් පැවැත්වීමෙන් 2018.08.09 දින එවක මහා අධිකරණ විනිසුරු ශ්‍රිනාත් උදය බණ්ඩාර කරලියද්ද විසින් විත්තිකාර මහාචාර්යවරයාට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් එය වසර 15කට අත්හිටුවීමට නියෝග කර රුපියල් ලක්ෂයක දඩයක්ද ගෙවීමට නියෝග කර ඇත.

එය නොගෙවන්නේ නම් වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද නියම කර ඇති අතර විත්තිකරු විසින් රු 100,000 මුදල ගෙවීම නිසා අදාළ නඩුව අවසන් වු බව වාර්තා වේ. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනිතිඥයකු පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ සුමුදු ප්‍රනාන්දු හා නීතිඥ හර්ෂ නානායක්කාර පෙනී සිට ඇත.

නඩුවට අදාළ ඩේවිඩ් පේන්ටර්ගේ චිත්‍ර තොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට බාර දීමටද මහා අධිකරණ විනිසුරුවරයා තවදුරටත් නියෝග කිරීම නිසා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට බාර දුන් අදාළ චිත්‍ර ඩේවිඩ් පේන්ටර්ගේ 2019 මාර්තු 05 දිනට යෙදුන 119 වන ජන්ම දිනය වෙනුවෙන් මහජන ප්‍රදර්ශනය සඳහා වෙනම කුටියක තැන්පත් කර මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කරන ලදී.

ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී ඩේවිඩ් පේන්ටර් ගැන යළි කියැවීමක් කරන්නට අදහස් කරනු ලැබුයේ සෞන්දර්ය විෂය තුළ මිනිසත්කම පොහොසත් කළ හැකි නිසා සෞන්දර්ය කැටිවූ අපේ උරුම රැක ගැනුමට බුද්ධිමතුන් සේම මෙරට පුරවැසියන්ගේ විශාල වගකීමක් අද දවසේදි පැවරී ඇති නිසාය. මුදල් පසුපස හඹා යෑම නතර කර යළිත් ඔවුනොවුන්ට ගරු කරමින් මනුසත්කම පොහොසත් කරමින් හෙට දවසේදී අපේ උරුම රැකගැනුමට කොයි කා තුළත් සිතුවිලි පිබිදෙනු ඇතැයි සැමගේ අපේක්ෂාව වනු ඇත.

 

Comments