අලින්ට බය නැති අපි කට කතාවලට බය වෙයි ද? | සිළුමිණ

අලින්ට බය නැති අපි කට කතාවලට බය වෙයි ද?

 

NIMALI liyanarachchi

මව් ගුණ ඇසුරේ ආසියාව දිග් විජය කරන්නිය

ඇත්තටම කියනවා නම් එහෙම කියලා මහා ලොකු හීන තිබුණේ නෑ.

ලැබුණු රැකියාවක් කරනවා කියලයි හිතුවේ. හැබැයි ක්‍රීඩාව මගේ ජීවිතය වෙනස් කළා.

‘දවසක් පැල නැති හේනක්’ ගැන දිවංගත නීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්නයන් ලියූ ගේය පද දෙසවන් භාවයන්ගෙන් පුරවන්නේ සංගීතවේදී ගුණදාස කපුගේ ශූරීන්ය. අම්මා සතු නිමා නොවෙන ගුණ කඳ අප්‍රමාණ ය. පිය උණුහුම ගිලිහුණු දා සිට අම්මා ජීවිතය නමැති ‘පැල නැති හේනේ’ ඇයට හා ඇගේ සහෝදර, සහෝදරියන්ට නොසෙල්වුණු සෙවණක් වූවා ය. ඒ පැල නැති හේනේ අම්මාගේ තුරුලෙන් මිදී මීටර් 800 ඉසව්වෙන් ලෝකයේ පනස් හත් වැනියා වූ (වර්තමානය වනවිට 61 වැනියා) ඈ නිමාලි ලියනාරච්චි ය.

මේ දිනවල නුවරඑලියේ පුහුණු-විම් කරන නිමාලි ලියනාරච්චි, 98 වැනි ජාතික ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මිටර් 800 ඉසව්ව විනාඩි 02.03.28 කින් ජය ගනු ලැබීය. එහෙත් ඒ පූර්ණ සුවතාවෙන් නොවේ.

‘මගේ ආබාධය සියයට අනූවක් විතර හොඳයි. තාමත් මම ප්‍රතිකාර ගන්නවා.’ ඇය ක්‍රීඩා හා පැවසූවාය.

නිමාලි තරු බැබළුණු දෙවැනි ජනාධිපති ක්‍රීඩා සම්මාන උලෙළේ අඛණ්ඩව දෙවැනි වරටත් විශිෂ්ට ම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වූයේ ද ඇයම ය.

‘ඇත්තටම දෙවැනි පාරටත් විශිෂ්ට ම ක්‍රීඩිකාවට හිමි සම්මානය ලැබෙයි කියලා නම් හිතුවේ නෑ. මොකද රියෝ ඔලිම්පික් උලෙළට ගිය ගීතානි අක්කත් හිටපු නිසා මම කොහොමත් බලාපොරොත්තු තබාගෙන නොහිටියා කියලා කියන්න පුළුවන්. දෙපාරක් විශිෂ්ටම ක්‍රීඩිකාව වෙයි කියලා මම හිතුවේම නෑ.

දශක දෙකකට වැඩි කාලයක් තිබ්බ මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව යාපනය දෝරේඅප්පා ක්‍රීඩාංගනයේ පැවැති 42 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේදී ඇය බිඳ දමන අතර එකී වාර්තාව මෑතක දී ගයන්තිකා අබේරත්න තවත් ඉදිරියට ගෙන යාමට සමත් වුවා ය. ඒ විනාඩි 02.02.55ක් ලෙසය.මෙය ඉතාමත් හොඳ ප්‍රවනතාවයක් ලෙස දකින නිමාලි,

‘ඇත්තටම හොඳ දෙයක්. මටත් කාලයක් තිස්සේ ම මේ ඉසව්වේ තරගයක් නැති එක ලොකුවට බලපෑවා. ඔය අතර තමයි ගයන්තිකා ඉදිරියට ආවේ. දැන් මට හොඳ තරගයක් තියෙනවා. ඒක මගේ ඉදිරි ගමනටත් අපේ මීටර් 800 ඉසව්වටත් හොඳ කාලයක් සටහන් කරන්න රුකුලක් වෙයි කියලා විශ්වාස කරනවා.’ යැයි කියන්නේ එහෙයිනි.

ජපානයේ පැවැත් වීමට නියමිත ඔලිම්පික් උ‍ලෙළේ මිටර් 800 පරිසාධන මට්ටම විනාඩි 01.59.5ක් ලෙස සටහන් වන විට, ඈ සිටියේ ආබාධයකින් පීඩා විඳිමිණි. ‘පසුගිය කාලයේ මම ආබාධයකට ලක්වෙලා හිටියේ. ඒ නිසා සුපුරුදු දක්ෂතා අතරට එන්න බැරි වුණා. උත්සාහය අතහැරලා නෑ. ලොකු ආත්ම විශ්වාසයක් ඇතිවුණා. ධම්මිකා මැණිකේ අක්කාගේ ශ්‍රී ලංකා වාර්තාවට පවා යන්න පුළුවන් කියලා හිතුණේ ඒ තරගවල ලබපු අත්දැකීම් නිසා තමයි.

අන්තිම අවුරුදු දෙක තුන ගත්තොත් මුලින්ම දිනා ගත් ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ ලෝකඩ පදක්කම විශේෂයි.

අන්තර්ජාතික වශයෙන් මම 2015 දී මුලින්ම ගියෙත් ඒ තරගාවලියට.’

කාලයක් තිස්සේම තමා ආසියානු තරගාවලියේ පදක්කමක් ගැන හීන දුටු බව නිමාලි පවසන්නීය.

මම මේ ක්‍රීඩාවට යොමු වෙලා දසක එකහමාරක් විතර ඇති. මේ කාලය පුරාම තිබ්බෙත් ඒ බලාපොරොත්තුව කිව්වොත් හරි.’ ඈ පවසයි.

ඈ මීටර් 800 ඉසව්වට යොමු විම ද එක්තරා ආකාරයකින් අහඹුවකි.

‘මම පටන් ගත්තේ මීටර් 3000 බාධක දිවීමෙන්. මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව 2008 දී මගේ නමට ලියා ගත්තා. 2009 වෙනකොට පස් වතාවක් මම ඒක අලුත් කළා. ඔය කාලේ ඇතුළත ගැස්ට්‍රයිටිස් තත්ත්වය හැදිලා හුඟක් දුර්වල වුණා. ඒ නිසා තමයි මේ දේ සිද්ධ වුණේ. ඊට පස්සේ 2012 දී සුජිත් සර් තමයි කිව්වෙ අපි ඉසව්ව මාරු කරලා බලමු කියලා. ඒකෙන් පාඩුවක් වුණෙත් නෑ කියලා වෙලාවකට හිතෙනවා.

ගුවන් හමුදාව පවුලක් විදියට එකතු වෙලා උපරිම සහාය දැක්වීම මහඟු කාර්යයක්.’ ඈ සඳහන් කරයි.

‘ගුවන් හමුදාපතිතුමා ඇතුළු ගුවන් හමුදාවම මට උපරිම පහසුකම් සලසා තිබෙනවා. ඒවා වචනයෙන් කියන්න බෑ. තාත්තා ගොවිතැන් කළේ. හදිසි අනතුරකින් 2002 නැති වෙනවා. එතකොට මම ක්‍රීඩා කරන්නෙත් නෑ. 2004 දී තමයි මම ක්‍රීඩාවට යොමු වෙන්නේ. අම්මා තමයි තාත්තා නැතිවුණාට පස්සේ මගෙයි, නංගිගෙයි, අයියලා දෙන්නගෙයි බර සම්පූර්ණයෙන්ම කරට ගත්තේ.

ක්‍රීඩාව තෝරා නොගත්තානම්, මට මගේ අනාගතය ගැන හිතා ගන්නවත් බෑ.

ජීවිතයේ හීන තිබුණද කියලවත් මම දන්නේ නෑ. ඇත්තටම කියනවා නම් එහෙමටම කියලා මහා ලොකු හීන තිබුණේ නෑ. ලැබුණු රැකියාවක් කරනවා කියලයි හිතුවේ. හැබැයි ක්‍රීඩාව මගේ ජීවිතය වෙනස් කළා.’

ක්‍රීඩිකාවක් වීම පිළිබඳ තමන් බොහෝ සතුටු වෙන බව පවසන නිමාලි, ‘ක්‍රීඩාව නිසා කවදාවත් කාගෙන්වත් පුද්ගලිකව කිසිම දෙයක් අරගෙන නෑ. වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා 2013දී මට ගෙයක් හදලා දෙන්න ගියාමත් මම කිව්වේ පුහුණුවිම්වලට පුළුවන් නම් සුරියවැව ග්‍රවුන්ඩ් එකක් හදලා දෙන්න කියලයි. එදා බාගෙට වැඩ ඉවර කරලා තිබ්බ ගෙදර වැඩ ටික ඉවර කරන කොට තමයි කට්ටි කියන්න ගත්තෙ ගුවන් හමුදාවෙන් ගෙයක් දීලා තියෙන කොටත් මම වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා ගෙනුත් ගෙයක් ගන්න යනවා කියලා.හැබැයි මම කට කතාවලට බයත් නෑ.’

නිමාලිට, නිමාලිව හොයලා දුන්නේ ක්‍රීඩාව බවද ඈ පවසයි.

‘ඒක බොරුවක් නෙවෙයි. මේ ගමන පිටිපස්සේ එදා 2004 ඉඳලම හිටියේ සුජිත් සර්. ඒ දවස්වල මට කොළඹින් ගොඩක් ආරාධනා ලැබුණා. මම ඒවා පිටිපස්සේ ගියේ නෑ.

මම මුල අමතක කරපු නැති නිසා අද මෙතැන ඉන්නවා කියලා හිතනවා. මගේ පුහුණුකරු ගුවන් හමුදාව වගේම මාව වචනයකින් හරි දිරිමත් කරන අයත් ආදරයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා.’ ඇය කියන්නේ කෘතවේදිත්වයෙනි.

 

දිනුක මලින්ද හේරත්

Comments