ක්‍රිකට් තිත්ත අබිං කළ හැටි | සිළුමිණ

ක්‍රිකට් තිත්ත අබිං කළ හැටි

 

ක්‍රිකට් පටන් ගනිද්දි අපි ලොකු වැඩ්ඩො නෙවෙයි. හැබැයි අපිට උනන්දුවක් තිබුණා. බන්දුල වර්ණපුරලගෙ, අනුර රණසිංහලගෙ, දුලිප් මෙන්ඩිස්ලගෙ ඉඳන් ක්‍රිකට් ඉස්සරහට යන්න යන්න ඒ කිව්ව ක්‍රීඩාවට මිනිස්සු එකතු වෙන්න පටන් ගත්තා. ඒ ප්‍රමාණයත් එන්න එන්න වැඩි වුණා.

පොඩියට ක්‍රිකට් පටන් ගත්ත අපිට ලොකුවට ලෝකෙට පේන්න දේවල් ගොඩක් කරන්න පුලුවන් වුණේ එහෙමයි. විචාරකයො ඉතාම සුලු පිරිසක් ඇරෙන්න 1996 ලෝක කුසලානය ලංකාව දිනයි කියල කවුද හිතුවෙ ? කපිල් දේව් කිව්වෙ ලංකාවට කවදාවත් ලංකාවෙන් පිට දී ටෙස්ට් තරගාවලියක් දිනන්න බෑ කියලයි. හැබැයි එහෙම කියල වැඩි කාලයක් යන්න ඉස්සරින් අපේ කණ්ඩායම නවසීලන්තයේ දී ඒ දේ කළා. ඇත්තටම අපිට එහෙම කරන්න පුලුවන් වුණේ කොහොමද ?

ඒක ගැන කතා කරද්දි මට අනුව නම් මම උඩින්ම තියන්නෙ අර්ජුනව. ටීම් එකක 'ෆුල් ස්පිරිට්' එක ගන්න අර්ජුන තරම් කැපවෙච්ච නායකයෙක් නෑ කියලයි මට හිතෙන්නෙ. මුරලිට චෝදනා කරපු වෙලාවෙ මුලු ටීම් එකම අරගෙන එළියට යන්න පුලුවන් පිට කොන්ද හයිය නායකත්වයක් ඔහුට තිබුණා.

වරක් සනත් ජයසූරිය කියල තිබුණා මැච් එකක් වෙලාවෙදි ජයසූරිය විකාර පාරක් ගහල අවුට් වෙන්න ගිහින් ඔන්න මෙන්න කියලා බේරෙද්දි අර්ජුන ඩ්‍රෙසිං රූම් එකේ ඉඳන් කුණුහරුප දෙකකුත් කියල 100 ගහල මිසක් මෙහාට එන්න එපා කිව්වා කියලා. ජයසූරිය එදා ඉනිම නැවැත්තුවේ 100 ටත් එහායින්ලු.

මහේල අර්ජුන යටතේ ගහනකොට හොඳට සෙල්ලම් කරමින් ඉඳලා මෝඩ පාරක් ගහලා දැවී ගිය නිසා අර්ජුන ඒකටත් මහේලට බැනලා තිබුණා. ඇත්තටම මට තේරෙන්නෙ අර්ජුන ක්‍රීඩකයන්ගෙන් ගන්න පුලුවන් සියෙන් සියයම ගත්තා. ඒක ඔහුගෙ හැකියාව.

අර්ජුනගෙන් එහාට අරවින්ද, සනත්, කලූ, ගුරා, හෂාන්, මහානාම, චන්දන, ධර්මෙ ඔය කවුරු

වුණත් ගේම අතෑරපු උදවිය නම් නෙවෙයි. එකෙකුට බැරිවෙද්දි අනික් එකා ඔක්කොටම ලෑස්තියි. සනත් කියන්නෙ ලෝකෙම ක්‍රිකට් වෙනස් කරපු එකෙක්. ඉන්දියාවෙ ඒ කාලෙ කිව්වෙ ජයසූරිය වගේ පුතෙක් ඕනැ කියලයි.

එක සැරයක් මහේල කියනව සංගා කියන්නෙ වෙලාවට වැඩ කරන කෙනෙක් නෙවෙයි හැබැයි ග්‍රවුන්ඩ් එකේදි වෙලාවටම වැඩ කරනව කියලා. ඩිල්ෂාන් වයස අවුරුදු 40 වෙලාත් බෝලෙට පනින්නෙ අවුරුදු විස්සක එකෙක් වගේ. මහේල ගේම් එක රීඩ් කරන විදිය හිතාගන්න බෑ. මෙච්චර හොඳට තිබුණු ක්‍රිකට් වලට හෙනහුරා ගහන්නෙ ඇයි?

අර්ජුනල අයින් වෙද්දි අඩුව පුරවන්න (රිප්ලේස් කරන්න) ක්‍රීඩකයන් හැදුණා. හැදුවා. විශේෂම දේ උනන්දුව තිබුණා. හැකියාව (ස්කිල් එක) වැඩි කරගන්න මහන්සි වුණා..තමන්ගෙ තැන රැකගන්න මහන්සි වුණා.. විශේෂයෙන්ම ඩිල්ෂාන් එක පාරක් සාකාච්ඡාවකදි කියනවා තමන්ගේ ස්ථානයට එන්න නම් අලුත් ක්‍රීඩකයෙක් කොච්චර කැපකිරීම් කරන්න ඕනැ ද කියලා. ඒ කැපකිරීම් එක්ක එද්දී දුක දන්න නිසාම ඒ තැන ලේසියෙන් නැති කරගන්න කවුරුවත් කැමති නෑ.හැබැයි දැන් ඉන්න ක්‍රීඩකයන් තුළ ඒක නැති බවක් තමයි මට නම් පේන්න තියෙන්නෙ.

සංගලා, මහේලලාට ලොකු චෝදනාවක් තිබුණා ඔවුන්ගෙන් පස්සේ සුක්කානම බාරගන්න කවුරුත් හැදුවේ නෑ කියලා. එතනදි නම් කියන්න වෙන්නෙ අර මෙන්ඩිස් කිව්ව කතාවම තමා. මොකද එහෙම කියන්නෙ ක්‍රිකට් දන්නෙ නැති අය. චන්දිල, තිරිලා, ඇන්ජිලා, තිසරලා ඔය හැමෝම සංගලා, මහේලලා අස්සෙ හැදුණ අය. ඒත් ප්‍රශ්නෙ වුණේ සංගලා, මහේලලාගෙනුත් එහාට යන්න ඒ ක්‍රීඩකයො තුළ උනන්දුවක් තිබ්බාද කියන එකයි. හැමෝම හිටියෙ හැමදාම සංගා, මහේල,ඩිල්ෂාන් ක්‍රිකට් ගහනවා වගෙයි.

එතකොට වැරැද්ද කාගෙද?. වැරැද්ද බලන අපේ ද? ඇත්තටම වැරැද්ද ගැන කතා කරන්න ගියොත් කෙළවරක් හොයන්න බෑ. ඒත් තමන්ගෙ උපතින් ලැබුණු දක්ෂතාවයෙන් විතරක්ම දෙයක් කරන්න බැරිබව ඔවුන් තේරුම්ගත යුතුයි.

"කෝලි කියනව 2012 කෝලි ෆේල් වුණ නිසා එයා මුලු ජීවන රටාවම වෙනස් කරපු හැටි..ඒකයි කෝලි අද මෙතන ඉන්නේ. ක්‍රීඩකයන්ගේ ප්‍රධාන ඉලක්කය, පච්ච කොටනවා, එකවුන්ට් වෙරිෆයි කරනවා වගේ දේවල් නෙවෙයි. කෝලිත් ටැටූ ගහලා තියෙනවා. හැබැයි කෝලි ගේම් එකත් ගහලා ඉන්නේ. අපේ අය ගේම් එක ගහල නෑ."

අපි ඉඳල හිටල තරග දිනනවා. ඒත් ඒක හැමදාම එළියට අරන් තියාගන්න උනන්දුවක් නෑ. වාස් කියනවා ඔහු ආබාධයකට ලක්වෙලා මැච් එකකට දෙකකට වඩා එළියෙ ඉඳලා නෑ කියලා. ඒ කියන්නෙ වේග පන්දු යවන්නෙක්. හැබැයි අද බෝලෙ ගෑවුනත් ඉන්ජර්ඩ්. පේනවද ගොඩක් ඒවා වෙනස් වෙලා තියෙන හැටි.

අනිත් එක එකමුතුකම ටීම් එකකට අනිවාර්යයෙන් ඕනැ. 2007 දි මාවන් වෙනුවට තරංග ගෙනාපු එකේදි මාවන් මහේල අතර ඇතිවුණ අමනාපය අපි දැනගන්නෙ මහේල අයිනුත් වෙලා ගියාට පස්සෙ. එහෙමයි ක්‍රීඩකයෝ ඒ රහස් රැක්කෙ. හැබැයි දැන් තත්ත්වය වෙනස්.

කවදහරි අපේ දේශීය තරගාවලිය තව තරගකාරී වෙලා එනවානම් මීට වඩා හොඳ දේවල් වේවි. හැබැයි දැනට නම් කියන්න තියෙන්නෙ අපේ ක්‍රිකට් අසූචි ගොඩක් බාල්දු වෙලා කියලයි .

"අර ඉස්සර ගහපු ලස්සන ක්‍රිකට් ආයෙ කාලෙකට අපිට නෑ...."

"ආ තව එකක් මාක්ස් කිව්වා ආගම අබිං කියලත්"

හිරුන හෙට්‍ටිආරච්චි

Comments