කුලී ගෙදර කෝලි පවුලට අකරතැබ්බයක් | Page 2 | සිළුමිණ

කුලී ගෙදර කෝලි පවුලට අකරතැබ්බයක්

මට ඕනෑ වුණේ තාත්තා විශ්‍රාම ලබා සිටින විට ඔහුට සැපවත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය සියලු දේ ලබා දෙන්නයි. එහෙත් මට එය කරන්න බැරි වුණා. මට ඒ ගැන හරිම දුකයි. ඔහු නැති අඩුව මට හැමදාම දැනෙනවා.

චිරාත් කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ නම කියැවෙන විරාට් කෝලි තමයි දැනට ලොව සිටින දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයා. ලෙහෙසියෙන් අතනොහරින්නෙක් වන ඔහු ඉන්දියාවේ ඉන්න කෝලි දුෂ්කර දිවි ගමනක දස ප්‍රයාමයක් වැනි වෙහෙසක් විඳ ක්‍රිකට් ලොව මතු මහලට නැඟ ආ ජීවන චරිතයක්. ඔහුගේ ජීවිතය ඇසුරේ උගත යුතු බොහෝ දේ තිබෙනවා. ‘ක්‍රීඩා’ ඒ ගැන ඔබට කියන්න හිතුවේ ඒ නිසයි. මේ කෝලිගේ කතාවයි.

මෙලොව ජනිත වන ඕනෑම දරුවකුට කිසියම් හෝ හැකියාවක් තිබේ. එය මුල් කාලයේදීම හඳුනාගත යුතු ය. පසුව එය වර්ධනය වීමට උදව් කළ යුතු ය. එමෙන්ම එම හැකියාව නිසි මගට යොමු කළ යුතු ය. ඇතැම්විට එය ක්‍රීඩාවක් වන්නට පිළිවන. එසේත් නැතහොත් කලාවක් විය හැකි ය. නොඑසේ නම් එය වෙනත් ක්ෂේත්‍රයක් වීමටත් පුළුවන.

එහිදී මව්පියන් සතු කාර්යභාරය අතිමහත් ය. එහෙත් ඔවුන් ඒ ගැන උනන්දුවක් නොදක්වන්නට ද ඉඩ තිබේ. එසේ වුවහොත් සිදුවන්නේ දරුවා සතුව ගොඩනැ‍ෙඟමින් ඇති එම හැකියාවන් අහිමි වීමයි.

ජීවිතයේ පසුකලෙක විවිධ ක්ෂෙත්‍රයන්හි දැවැන්තයින් බවට පත් වූ බොහෝ දෙනාට එම සාර්ථකත්වය ලැබීමට ප්‍රමුඛ ලෙස ඉවහල් වූයේ ඔවුන්ගේ ළමා වියේ දී තම මවුපියන් විසින් සිය දූ දරුවන්ගේ හැකියාවන් හඳුනා ගැනීමය.

විරාට් කෝලිත් ඒ අතින් ගත්කල වාසනාවන්තයයෙකි. ඒ ඔහුගේ මව්පියන් වන ප්‍රේම් සහ සරෝජ් තම පවුලේ ‘බඩපිස්සාගේ’ ක්‍රිකට් හැකියාව නිසි පරිදි හඳුනා ගත් බැවිණි.

ඔව් ඒ කතාව හරියටම හරි මම අපේ පවුලේ බාලයා. ඕනෑම ළමයෙක් කුඩා කාලයේ දී කුමන හෝ ක්‍රීඩාවක නිරත වෙනවා. මගේ අක්කයි අයියත් එහෙම කරන්න ඇති. හැබැයි හුඟාක් ළමුන් වගේ ඔවුනුත් දිගටම ක්‍රීඩාවේ නිරත වුණේ නැහැ. ඉතිං මමත් කුඩාකාලේ එහෙම ක්‍රීඩාව ගැන උනන්දු වෙද්දී මගේ මව්පියන්ටත් මේක සාමාන්‍ය දෙයක් කියලා හිතෙන්න තිබුණා. වාසනාවකට එහෙම දෙයක් වුණේ නෑ. මොකද ඔවුන් අක්කාගෙන් සහ අයියාගෙන් නොදැකපු දක්ෂතාවයක් මගෙන් දකින්න ඇති කියා දැන් මම හිතනවා. ඒ නිසා ම ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට අවශ්‍ය සහාය මට ලබා දුන්නා.’ කෝලි පසු කලෙක පවසා තිබුණේය.

කෝලිගේ පවුලට පියාගේ නීතිඥ වෘත්තිය මගින් උපයන ආදායමට අමතරව පවුලේ ව්‍යාපාරයකිනුත් මුදලක් ලැබිණි. ඒ නිසාම අග හිඟයකින් තොරව ජීවිතය ගෙන යෑමට කෝලි පවුලට අවස්ථාව හිමි වූයේය.

කෝලිට මුල්ම ක්‍රිකට් පිත්ත ලැබෙන්නේ ඔහු තෙහැවිරිදි වියේ පසු වද්දීය. ඒ සමඟම පියාට කෝලිගේ එක් ඉල්ලීමකට නිරතුරුවම සවන් දීමට සිදු විය.

‘තාත්තේ මට බෝල් කරන්නකෝ’ ඒ කෝලිගේ නිරතුරු ඉල්ලීම විය. ප්‍රේම් විවේකයක් ලත් සැම විටම සිදු කළේ සිය බාල පුතුගේ අහිංසක ඉල්ලීම ඉටු කිරීමයි.

‘තාත්තා තමයි මගේ ලොකුම උදව්කාරයා වුණේ. දිනපතාම මාව ක්‍රිකට් පුහුණුවට රැගෙන ගියෙත් ඔහුමයි. තාත්තා අද ජීවත් වුණා නම් පුදුම විදිහට සතුටු වෙනවා. නිසැකයි. මට ඕනෑ වුණේ තාත්තා විශ්‍රාම ලබා සිටින විට ඔහුට සැපවත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය සියලු දේ ලබා දෙන්නයි. එහෙත් මට එය කරන්න බැරි වුණා. මට ඒ ගැන හරිම දුකයි. ඔහු නැති අඩුව මට හැමදාම දැනෙනවා.’ කෝලි සිය පියා සම්බන්ධයෙන් වන ඔහුගේ මතකය ආවර්ජනය කරන්නේ ඒ ආකාරයෙනි.

සතුට අත්විඳිමින් සිටි පවුලක් වූ කෝලි පවුලට කණ කොකා හැඬුවේ 2006 වසරේ දෙසැම්බර් මස එක් දිනයක දීය. එය කිසිවෙක් නොපැතූ, නොසිතූ මොහොතක කෝලි පවුල සොයා පැමිණ තිබුණේය. කෝලිගේ පියා වූ ද කෝලි පවුලේ ගෘහ මූලිකයා වූ ද ප්‍රේම් හදිසියේ හටගත් හෘදයාබාදයකට ගොදුරු වෙමින් සිය දිවි ගමන නඅවසන් කළේය. එවිට ඔහුගේ වයස අවුරුදු 54ක් විය. විරාට් කෝලි ඒ වන විට සිය දිවි ගමනේ 18 වැනි වසර පසුකරමින් සිටියේ ය.

‘මට තවමත් මගේ තාත්තා මියගිය රාත්‍රිය මතකයි. ඒක තමයි මගේ ජීවිතයේ අසීරුතම කාලය වුණේ. ඊට පස්සේ දවසේ මට තරගයකට ක්‍රීඩා කරන්න තිබුණා. එදා උදෑසන මම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමේ පුහුණුකරුට කථා කළා. එම තරගයට මම ක්‍රීඩා කරනවා කියලා ඔහුට සහතික වුණා.’ කෝලි පවසයි. එය ඉන්දීය පළමු පෙළ රංජි කුසලාන තරගයක් විණි. එම ඉනිම ගැන පසුව පැහැදිලි කළ යුතු හෙයින් මෙහි පැහැදිලි නොකරන බව කිවයුතුය.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට තිර ලෙස කෝලි තීරණය කළේ තම පියාගේ හදිසි අභාවයෙන් අනතුරුවය. ප්‍රේම් කෝලි මිය යෑමට මසකට පෙර ගිලන් ව සිටියේය. එහෙයින් ඔහු වෛද්‍ය ප්‍රතිකාර ගත්තේ ලෙඩ ඇඳේ සිටම ය.

පවුලේ ගෘහ මූලිකයා වූ සිය පියාගේ හදිසි වියෝව නිසා කෝලි පවුල කබලෙන් ලිපට ඇද වැටුණි. එහෙත් මව සරෝජ් දිරියවන්ත කතකි. ඇයට තම පවුලේ ඇතැම් නෑදෑ හිතමිතුරන්ගෙන් උපකාර ලැබුණි.

‘ඇත්තටම මගේ අම්මා හරිම දිරියවන්ත කාන්තාවක්. ඈ මේ කනගාටුදායක සිදුවීමට මුහුණ දුන්නා. අපි ඒ වන විට ජීවත් වුණේ කුලී නිවසක. ඒ වගේම අපේ ව්‍යාපාරයත් හොඳ මට්ටමක තිබුණේ නැහැ. හරිම අමාරු තත්ත්වයකටයි අපි පත්වුණේ. ඒ වුණත් කොහොම හරි අපිට ගොඩ එන්න හැකි වුණා. ඒ මුල් ගෞරවය හිමි විය යුත්තේ මගේ අම්මාටයි.’ කෝලි පවසයි.

බොහෝ දෙනාට සිය ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධාකාරයේ සුපිරි වීරයෝ සිටිති. කෝලිගේ සුපිරි වීරයා වන්නේ පියා ප්‍රේම් ය. ‘මගේ සුපිරි වීරයා අනිවාර්යයෙන්ම මගේ තාත්තායි. ඉහළම මට්ටමෙන් මේ ක්‍රීඩාවේ නිරතවීමට මට අවශ්‍යතාවයක් තිබුණා. ඒ වුණත් නිසැකවම මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ඉදිරි ජීවිතය ගත කරනවා කියලා තීරණය කළේ තාත්තා නැති වූ විටයි’. කෝලි වැඩි දුරටත් පවසයි.

ලබන සතියට තවත් කොටසක්

 

ප්‍රශාන්ත ඇල්පිටිය

Comments