නගර සභාව සියයට 640කින් කුලිය වැඩි කළා | සිළුමිණ

නගර සභාව සියයට 640කින් කුලිය වැඩි කළා

 

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති

ඉක්බාල් බින් ඉසාක්

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සතයක්වත් ලැබිලා නෑ

ටෙනිස් කියන්නේ රාජකීය ක්‍රීඩාවක් නෙවෙයි

බීඩි ඔතන මිනිහගෙ පුතත් දැන් ටෙනිස් ගහනවා

වසර දහයක් අඛණ්ඩව ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ධූරය හොබවන්නේ ඔහුය. කොළඹ මහ නගර සභාව සමඟ දැවැන්ත අරගලයක යෙදෙමින් සංගම් මූලස්ථානය රැකගැනීමට නායකත්වය දුන්නේ ද ඔහුය. වර්තමාන දේශීය ටෙනිස් ක්‍රීඩාව හා එහි අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු වස් ‘ක්‍රීඩා’ ඔහුව මුණගැසුණේ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථානයේ දී ය.

ඔබ වසර දහයක් රටේ ටෙනිස් සභාපති. යළිත් වරක් ඒ වෙනුවෙන් තරග කරනවා ද?

මගේ ලොකු බලාපොරොත්තුවක් නෑ. නමුත් මට තවත් අවස්ථාවක් තරග කරන්නනම් පුලුවන්.

ඒ කියන්නේ තවත් වාරයකට ටෙනිස් සම්මේලනය බාරගන්න සූදානම් කියන එක ද?

නෑ. මේක තීරණය කරන්නේ කමිටුවක්නෙ. අනුබද්ධ සංගම් කිව්වොත් මට ඉල්ලන්න කියලා මම ඒක කරාවි. නැත්නම් මට ඒ වෙනුවෙන් විශේෂ අපේක්ෂාවක් නෑ.

නගර සභාවයි ටෙනිස් සම්මේලනයයි අතර තිබුණු බල අරගලයෙන් කොළඹ මහනගර සභාව දිනුවාලු නේද?

මෙහෙමයි, ඔවුන් අපේ කුලිය වැඩි කළා. පස්සේ අපිව මෙතැනින් අයින් කරන්නත් සූදානම් වුණා. ඒ නිසා අන්තිමට අපි මුදල් ගෙවලා මෙතැන රැඳෙන්න පරිසරය සකස් කරගත්තා.

ඒ කියන්නෙ කුලිය වැඩි කරලා ගෙවන්න එකඟ වුණා කියන එක නේද?

ඔව්. අපිට එහෙම කරන්න වුණා. නැත්නම් මේ තැන අපිට නැතිවෙනවානෙ.

දැන් මෙතැන ඉන්න ටෙනිස් සම්මේලනය කීයක් ගෙවනව ද?

මාසයකට රුපියල් ලක්ෂ අටක් ගෙවනවා.

ඉස්සර කුලිය කීය ද?

මාසයකට රුපියල් එක්ලක්ෂ විසිපන්දාහයි. පස්සේ හදිස්සියේ නගර සභාව ඒක වැඩිකළා.

ඒ කියන්නේ සියයට හයසිය හතළිහක වැඩිවීමක් විධිහට නේද මේ වැඩිකිරීම කරලා තිබෙන්නේ?

ඔව්. ලොකු ගාණකින් වැඩිකළා. අපි මේ ගැන සාකච්ඡා කරලා අන්තිමට ගෙවන්න තීරණය කළා.

ඒ කියන්නේ දැන් මාසයකට රුපියල් ලක්ෂ අට ගානේ ගෙවනවා?

ඔව්. දැන් අපි ගෙවන්න තිබුණු හිඟ මුදලත් ගෙවලා තියෙන්නේ.

මොකක්ද ඒ හිඟ මුදල?

රුපියල් ලක්ෂ අනූහයක් වගේ මුදලක් අපි නගර සභාවට ගෙව්වා. මොකද ඒ අය කුලී වැඩිකළේ අතීතයට බලපාන ආකාරයටනෙ.

ඒක හරි අසාධාරණයිනෙ?

මොනවා කරන්නද. අන්තිමට අපිට ගෙවන්න සිද්ධ වුණා.

දැන් සල්ලි කොහෙන්ද ලැබුණේ?

අපේ කමිටුවේ ඉන්න සාමාජිකයෝ තමයි සල්ලි දැම්මේ. ඒ සල්ලිවලින් මේ හිඟය ගෙව්වා.

ඇත්තනෙ. ටෙනිස් කියන්නේ සල්ලිකාරයන්ගේ ක්‍රීඩාවක්නෙ නේද?

සල්ලි කාරයන්ගේ ක්‍රීඩාවක් කියලා කියන්න බෑ. මොකද අද අන්තිම අහිංසක මාපියන්ගේ දරුවොත් ටෙනිස් ක්‍රීඩා කරනවා. එතන පන්ති භේදයක් නෑ.

ඒ වුණාට ටෙනිස් ක්‍රීඩාව වෙනුවෙන් වැඩි මුදලක් යොදවන්න වෙනවානේ?

දුප්පත් පවුලකින් එන දක්ෂතා තියෙන ළමයින් ශිෂ්‍යත්ව හම්බ වෙනවා. ඉතින් ඔවුන් දිගින් දිගටම ක්‍රීඩා කරනවා. ඒ නිසයි මම කිව්වේ මේක ධනවතුන්ගේ ක්‍රීඩාවක් පමණක් නොවෙයි කියලා.

ඔබ එහෙම කිව්වට අපි නම් හිතන්නේ සාමාන්‍යයෙන් ඉහළ මධ්‍යම පාංතිකයන්ගේ දරුවෝ තමයි මේ ක්‍රීඩාව කරන්නේ කියලා?

ඒ ඉස්සර. දැන් ගමේ දුප්පත් ළමයත් ටෙනිස් ගහනවා. මම උදාහරණයක් කියන්නම්. මේ රටේ බීඩි ඔතලා ජීවිතය ගැටගහ ගන්න තාත්තාලාගේ දක්ෂ දරුවෝ ටෙනිස් ක්‍රීඩා කරනවා. ඔබ කියන විධිහට සාමාන්‍ය ව්‍යාපාරිකයාගේ දරුවාටත් වඩා අසරණ ළමයි මෙතැන ඉන්නවා. ඒ නිසා මේක ධනවතාගේ ක්‍රීඩාවක් පමණක් නොවෙයි.

ඔය විධිහට බලද්දී ටෙනිස් සම්මේලනයට අන්තර්ජාතික වශයෙන් බරටම ආධාර ලැබෙනවා ඇතිනෙ නේද?

අපිට සල්ලි කියලා දෙයක් ලැබෙන්නෙ නෑ. ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ සාමාජික ගාස්තුව පවා අපේ සාමාජිකයන්ගේ මුදලින් තමයි ගෙවන්නේ. ඒ වගේම තරගාවලි තියන්නේ ක්‍රීඩකයන් බලාගන්නෙ අනුග්‍රාහක සමාගම් වලින් ලබාගන්නා මුදල් වලින්. එහෙම නැතිව කිසිකෙනෙක් අපිට උදව් කරන්නේ නෑ.

ක්‍රීඩා අමාත්‍යාංශය වාර්ෂිකව මුදලක් ලැබෙනවා නේද?

නෑ. අපිට නම් ශතයක්වත් දීලා නෑ.

ඉල්ලලා නැද්ද?

වර්තමාන ක්‍රීඩා ඇමැතිතුමා විසින් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගන්න පුලුවන් ක්‍රීඩාවන්ට උපකාර කරන්න සැලසුමක් හදලා තිබෙනවානෙ. ඒ යටතේ අපි ටෙනිස් සම්මේලනයට ජාත්‍යන්තර වශයෙන් ලබාගත හැකි ජයග්‍රහණ මොනවාද කියන එක ක්‍රීඩා කවුන්සිලයට ලබාදුන්නා. ඔවුන් අපේ සැලසුම්වලට හුඟාක් හොඳ අවධානයක් යොදවලා තිබෙනවා. ඒ නිසා අනාගතයේදී අපට ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය ලැබේවි.

දැන් මොනවටද ඔබලා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදල් ඉල්ලලා තියෙන්නෙ?

අපි මෙතැනදී ජාතික සංචිතයක් පිහිටුවන්න තමයි අපේක්ෂා කරන්නෙ. ජාත්‍යන්තරයට යන්න එය අපට විශාල පිටිවහලක් කරගැනීමට පිළිවන්.

ඔලිම්පික් කමිටුව ඔබේ සංගමයට උපකාර කරනවා ඇතිනෙ?

ඔවුනුත් අපිට ලොකු උපකාරයක් කරලා නෑ.

එතැන ඉන්නේ ටෙනිස් සම්මේලනයේ හිටපු සභාපතිවරු දෙන්නෙක් නේද?

ඔව්. ඒ වුණාට ඒ අයට ටෙනිස් සම්මේලනයට විතරක් උදව් කරන්න බෑනෙ. තව ඔලිම්පික් ක්‍රීඩා රටේ තියෙනවානෙ.

දැන් මේ ටෙනිස් මූලස්ථාන භූමියේ ගොඩනැගිල්ලක් හදලා ක්‍රිඩා සංගම්වලට කුලියට දෙනවා. ව්‍යාපාරික ආයතනවලට කුලියට දෙනවා කියලා යෝජනාවක් තිබුණානෙ. දැන් ඒ වැඩේ මොකද?

තිබුණා. දැන් ඒක කරන්න බෑ.

ඇයි ඒ?

මහ නගර සභාව අපිට ඒකට ඉඩදෙන්නෙ නෑනෙ.

ඒක කාගෙ අදහසක් ද?

මම තමයි යෝජනා කළේ. ටෙනිස් කමිටුවට ඉදිරිපත් කළ යෝජනාවට අනිත් කමිටු සාමාජිකයන්ගෙත් අනුමැතිය ලැබුණා. ඒත් නගර සභාවෙන් සහයෝගයක් නෑ.

ඕවගේ වැඩක් කරන්න සල්ලි තියෙන්න එපායැ?

සල්ලි දාන්න ආයෝජකයෝ ඉන්නවා. ඒත් ඒක කරන්න අවශ්‍ය නෛතික අයිතිවාසිකම් නෑනෙ.

ක්‍රීඩා අමාත්‍යාංශය එක්ක කතාකරලා මේ ඉඩම ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයට පවරා ගන්න සැලසුම් කළේ නැද්ද?

මෙහෙමයි, එතැනදි කොළඹ නගර සභාව දැනගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ටෙනිස් කියන්නේ ලාබ නොලබන රාජ්‍ය නොවන ක්‍රීඩා සංගමයක් බව. අපි අන්තර්ජාතික වශයෙන් වැඩකරනවා. අපේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන් වැඩකරනවා. ඒ තත්ත්වය අපි ක්‍රීඩා අමාත්‍යාංශයටත් දැනුම් දෙනවා.

දැන් ටෙනිස් ක්‍රීඩාව නංවන්න සම්මේලනයක් වශයෙන් මොනවද කරලා තියෙන්නෙ?

අපේ සම්මේලනයට අනුබද්ධව දිස්ත්‍රික් මධ්‍යස්ථාන දොළහක් ක්‍රියාත්මකයි. ලංකාව පුරා විවිධ දිස්ත්‍රික් හා පළාත් ආශ්‍රිතව ක්‍රීඩකයෝ ටෙනිස් ක්‍රීඩාවේ නියැලෙනවා. ඉස්සර වගේ කොළඹ, නුවර විතරක් නෙවෙයි මඩකලපුව වගේ ප්‍රදේශවලත් ටෙනිස් ගහනවා. අපි අඛණ්ඩව ටෙනිස් ව්‍යාප්ත කරන්න වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙන බව කිව යුතුයි.

දැන් ඔය විධිහට කොළඹින් පිටතට යද්දී ක්‍රීඩකයෝ වැඩිදෙනෙක් ක්‍රීඩාව සමඟ සම්බන්ධ වෙනවද?

ඇයි නැත්තේ. සාමාන්‍යයෙන් අපේ ජාතික ශූරතාව නිවේදනය කරද්දී ක්‍රීඩකයෝ දහසකට ආසන්න පිරිසක් තරග වදින්න ලියාපදිංචිවෙනවා. කනිෂ්ඨ තරගාවලි බලපුවහම ළමයි දස දහසකට වැඩි පිරිසක් රට පුරා තරග වදිනවා. මේ වනවිට ක්‍රීඩාව සැලකිය යුතු ආකර්ශනයක් දිනාගෙන තිබෙනවා.

පාසල් මට්ටමින් ටෙනිස් ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න සැලසුමක් තිබෙනව ද?

ඇයි නැත්තෙ. ඒ විධිහට තමයි අපි කොළඹින් පිටතට ටෙනිස් ක්‍රීඩාව අරගෙන යන්නේ. සාමාන්‍යයෙන් කොළඹ පාසල් පහළොවක විතර ටෙනිස් ක්‍රීඩා කරනවා. නමුත් කොළඹින් පිටත් එහෙමයි. උදාහරණයකට මිගමුවේ පාසල් හත අටක ටෙනිස් තිබෙනවා. සමහර පාසල් ඔවුන්ගේම ටෙනිස් ක්‍රීඩාංගණ පවත්වාගෙන යනවා. කුරුණෑගල, බණ්ඩාරවෙල, යාපනය, මඩකලපුව ටෙනිස් හොඳට තිබෙන තැන්. දැන් යළිත් අපි ගාලු ටෙනිස් සමාජයේ වැඩ ආරම්භ කළා.

මොනව වුණත් අපිට ටෙනිස් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට යන්න තවම හරිහමන් අවස්ථාවක් ලැබිලා නෑනෙ?

මෙහෙමයි. එතැනදී සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග නිසා බොහෝ ක්‍රීඩකයන් තමන්ගේ ක්‍රීඩාව අතර මඟ නතර කරනවා. ඒ නිසා හොඳ ක්‍රීඩකයන් බිහිවෙන එක නතරවෙලා තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟත් සාකච්ඡා කරලා ඉන්නෙ. ඒ වගේම ඔබ දන්නවද අද ලෝකයේ ඉන්න ඇතැම් විශිෂ්ට ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ අපේ ක්‍රීඩකයන්ට පැරදිලා තියෙනවා කියලා.

කවුද එහෙම පැරදිලා තියෙන්නෙ?

ජපානය වගේම තවත් රටවල නම ගිය ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ලංකාවේ තරග වදිද්දී අපේ ක්‍රීඩකයන් හමුවේ පැරදිලා තියෙනවා. ඒ කියන්නේ අපේ ක්‍රීඩකයන්ට දක්ෂතාව තිබෙනවා. ඒත් ඒක අඛණ්ඩ කරගන්න අපිට තිබෙනවා බාධාවන්. ඒ නිසයි අපි අන්තර්ජාතිකව පසුබසින්නෙ.

ටෙනිස් සම්මේලනයට බැරි ද ක්‍රීඩකයන්ව ක්‍රීඩාව තුළ රඳවාගෙන අන්තර්ජාතිකව ජයග්‍රහණවලට මෙහෙයවන්න?

අපි උත්සාහ කරනවා. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අධ්‍යාපන ඉලක්ක වලට යද්දී ටෙනිස් ක්‍රීඩාවට සමුදෙන්න ඔවුන් බහුතරයක් උත්සාහ කරනවා. ඒ නිසා මෙතැන අභියෝගයක් තිබෙනවා.

ජාතික ටෙනිස් කණ්ඩායම තෝරද්දී මව්පියන්ගේ බලපෑම නිසා අර්බූද ඇතිවෙන බවක් කියැවෙනවා?

මෙහෙමයි. හැම මාපියෙක්ම හිතන්නේ තමුන්ගේ දරුවා තමයි හොඳම කියලා. ඒත් අපේ තේරීම් කමිටුවක් ඉන්නවා. ඔවුන් දක්ෂතා බලලා තමයි සුදුසුම කණ්ඩායම තෝරා ගන්නෙ. රට නියෝජනය කරන්නෙ සුදුසුම ක්‍රීඩකයන් මිසක් එක එක්කෙනාගේ බලපෑම් වලට තෝරාගන්නා කණ්ඩායම් නෙවෙයි.

අපේ ක්‍රීඩකයන් ටෙනිස් ගහන්නේ ශිෂ්‍යත්ව බලාගෙන විතරයි නේද?

ටෙනිස් ගහද්දී හුඟාක් ශිෂ්‍යත්ව ලැබෙනවා. හුඟාක් අය ලෝකයේ සංවර්ධිත රටවලට ගිහින් වැඩිදුර අධ්‍යාපනයේ නියැලෙන ගමන් ටෙනිස් ක්‍රීඩා කරනවා. හැබැයි ඒක අපිට නවත්වන්න බෑ. මොකද මේක ඒක පුද්ගල ක්‍රීඩාවක් නෙ.

ඒත් ටෙනිස් සම්මේලනයට රටේ ඉහළ සමාජය සමඟ, ධනවත් පන්තිය සමඟ සම්බන්ධකම් තිබෙන නිසා දක්ෂ ක්‍රීඩකයන් කීපදෙනෙක්වත් දීර්ඝ කාලීන වශයෙන් රට ඇතුළේ ක්‍රීඩාව තුළ රැකගන්න සැලසුමක් නැද්ද?

තිබෙනවා. අපි හිතනවා ක්‍රීඩා අමාත්‍යවරයාටත් ක්‍රීඩාව ගැන ආදරයක්, අවශ්‍යතාවයක් තිබෙන නිසා ඉදිරියේදී යහපත් දෙයක් ක්‍රීඩාවට කරන්න හැකිවේවි කියලා. ඒ නිසා තමයි අපි ජාතික සංචිතයක් පිහිටුවන්න ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උපකාර ඉල්ලලා තිබෙන්නේ. අනාගතය යහපත් වේවි කියලා අපි හිතනවා. එවිට ටෙනිස් වලින් අපිටත් ඩේවිස් කුසලානයේ වැඩි දක්ෂතා දක්වන, ලෝකයේ ජනප්‍රිය ටෙනිස් තරග වෙනුවෙන් ක්‍රීඩා කරන වෘත්තීය ක්‍රීඩකයන් බිහිකරගන්න හැකියාව උදාවේවි.

කසුන් ඉරුගල්බණ්ඩාර

ඡායාරූප - ජගත් ඉරෝෂණ

 

Comments