බදුල්ල නිදහස් කුසලාන පාපන්දු තරගාවලියේ ජය රාජ්‍ය සේවා කණ්ඩායමට | සිළුමිණ

බදුල්ල නිදහස් කුසලාන පාපන්දු තරගාවලියේ ජය රාජ්‍ය සේවා කණ්ඩායමට

හැත්තෑ තුන් වැනි ජාතික නිදහස් දින සමරුවට සමගාමීව බදුල්ලේ සංවිධානය කර තිබූ නිදහස් කුසලාන පාපන්දු තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට බදුල්ල "රාජ්‍ය සේවා" කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ. තීරණාත්මක අවසාන මහා තරගයේ දී ආරක්ෂක පෙළ සහ මැද පෙළ එක්ව ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින් මෙවර "නිදහස් කුසලාන" ට හිමිකම් කියන්නට රාජ්‍ය සේවා ක්‍රීඩකයින් සමත්වීම ද කැපී පෙනුණි.

බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේ දී පවත්වන ලද මෙවර තරග මාලාවේ අනුශූරතාව බදුල්ල නිදහස් ක්‍රීඩා සමාජයට හිමි වූ අතර දෙවන අනුශූරතාවයෙන් සෑහීමට පත් වන්නට බදුල්ල වෙළෙද සේවා කණ්ඩායමට සිදු විය.

රාජ්‍ය සේවා කණ්ඩායම සහ නිදහස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර විදුලි ආලෝක ධාරා මධ්‍යයේ ක්‍රියාත්මක කෙරුණු අවසන් මහා තරගයේදී ගෝල් 02 - 01 ක ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් අදාළ කුසලානයට හිමිකම් කියන්නට රාජ්‍යසේවා ක්‍රීඩකයින්ට හැකිවිය.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ගෝල් 02 - 00 ක් ලෙස පෙරමුණ ගත් රාජ්‍ය සේවා පිල තරඟය සඳහා නියමිත කාලය නිමාවන තෙක් ද එම තත්ත්වය ආරක්ෂා කර ගැනීමට සමත් වීම ද විශේෂත්වයකි .

ජයග්‍රාහී පිල වෙනුවෙන් මනා පන්දු පාලනයක නිරත වූ තරිඳු ධනංජය සහ මොහොමඩ් සාරික් බැගින් ගෝල 01 වාර්තා කර ගනිමින් අදාළ ජයග්‍රහණය තහවුරු කළහ . පරාජිත පිල වෙනුවෙන් සටහන් වූ එකම ගෝලය මොහොමඩ් මූනාස් ගේ පාදයෙන් වාර්තා විය .

මෙම තරඟය තරංග පුෂ්පකුමාර මහතා විසින් විනිශ්චය කරන ලදී.

මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තරිඳු ධනංජය ( රාජ්‍ය සේවා ) සම්මාන ලැබූ අතර ආරක්ෂක පෙළ ශක්තිමත් කළ මොහොමඩ් රිනාස් ( රාජ්‍ය සේවා ) දක්ෂතම දැල රකින්නා ලෙස තිළිණ ලැබීය.

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ පූර්ණ මගපෙන්වීම අනුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කරන ක්‍රීඩා නිලධාරීන්ගේ එකමුතුව සමග එක්ව ශෂී සුරංග වීරරත්න පදනම මගින් මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.

වසර කිහිපයක් තිස්සේ නිද්‍රාශීලී ස්වරූපයක් ගෙන තිබූ බදුල්ල "නිදහස් කුසලාන" පාපන්දු තරගාවලියට ඒ අනුව පණ පෙවීමත් සමගම ඌව පළාතේ පාපන්දු කෙළිබිමේ පුනර්ජීවනයක් ඇතිවූ බව ප්‍රදර්ශනය විය. මෙවර තරගාවලිය පුරා ක්‍රීඩකයින් තුළ තිබුණ ප්‍රබෝධය මෙන්ම ක්‍රීඩාලෝලීන්ගේ උද්‍යෝගය එයට කදිම උදාහරණයකි.

අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයින් මෙන්ම විනිශ්චකරුවන් රැසක් රටට දායාද කර ඇති බදුලු පුරවරයේ "පාපන්දු සලකුණ" අනාගතයට රැගෙන යාම සඳහා සංවිධායකයින් මෙම තරඟාවලිය තුළින් ගත් උත්සාහය ප්‍රශංසනීය ය.

මෙම තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම සඳහා තිළිණ ප්‍රදානය නියෝජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

සපුමල් වීදිය බණ්ඩාර

Comments