රිච්මන්ඩ් ශූරයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියෙන් | සිළුමිණ

රිච්මන්ඩ් ශූරයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියෙන්

 

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් පළමු වරට සංවිධානය කරනු ලැබූ රිච්මන්ඩ් ශූරයින්ගේ ලීග් (Richmond Champions League T20) පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ට්‍රිග්ස් පිල පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී සමත්විය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් බිහිවූ වයස අවුරුදු 25ට අඩු අන්තර්ජාතික මට්ටමේ, ජාතික මට්ටමේ සහ පළමු පෙළ අන්තර් සමාජ අත්දැකීම් සහිත ක්‍රීඩකයින්ගෙන් මෙන්ම වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සැමුවෙල්ස්, ට්‍රිග්ස් සහ හාට්ලිස් යන කණ්ඩායම් තුන මෙම තරගාවලියට එක්වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කළ වනිඳු හසරංග ද සිල්වා, කමිඳු මෙන්ඩිස් සහ අබුඩාබි පන්දුවාර 10 තරගාවලිය නියෝජනය කළ ධනංජය ලක්ෂාන් ට මෙම තරගාවලියට සහභාගි වීමට අවස්ථාව නොලැබුණු නමුත්, ශ්‍රී ලංකා ‘ඒ’ පිල නියෝජනය කළ චරිත් අසලංක, තිලංග උදේශන, සඳුන් මෙන්ඩිස්, තවීෂ අභිෂේක්, දිලුම් සුදීර, අම්ෂි ද සිල්වා ආදි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිල නියෝජනය කළ ක්‍රීඩකයන් ද, සිතාර ගිම්හාන්, හසිත මධුෂාන්, චමෝද් පියුමාල්, චාමිකර හේවගේ, අවිඳු තීක්ෂණ, ආදිත්‍ය සිරිවර්ධන, දිමුත් සඳරුවන් ආදි අන්තර් සමාජ පළමු පෙළ ක්‍රීඩකයන් ඇතුළු ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටිය තුළ ජාතික මට්ටමේ සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියේදී ඒ ඒ කණ්ඩායම් නියෝජනය කළහ.

අවිඳු තීක්ෂණ හාට්ලීස් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, චරිත් අසලංක ට්‍රිග්ස් කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේය. සැමුවෙලස් පිල මෙහෙයවීමේ අවස්ථාව සිතාර ගිම්හානට හිමිව තිබුණි.

එක් කණ්ඩායමකට තවත් එක් කණ්ඩායමක් සමඟ දෙවතාවක් බැගින් තරග 4කට සහභාගී වීමට අවස්ථාව හිමිව තිබුණු අතර, සහභාගි වූ තරග 4න් තරග 3ක් ජයගෙන පළමු වටයේ ලකුණු සටහනේ පෙරමුණ ගත් ට්‍රිග්ස් පිල අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

තරගාවලියේ පළමු වටයේදී සහභාගිවූ තරග 4න් තරග 2ක් ජයගත් සැමුවෙල්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ පළමු වටයේ ලකුණු සටහනේ දෙවැනි තැන හිමිකර ගනිමිනි.

තරගාවලියේදී දක්ෂ පිතිහරඹයක් දියත් කළ ට්‍රිග්ස් පිලේ නායක චරිත් අසලංක තම අත්දැකීම් බහුලත්වය ද පරිණත බවද ප්‍රදර්ශනය කරමින් ශතක 2ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු මෙන්ම තරගාවලියේ වීරයා ලෙස ද සම්මාන ලැබීය.

දක්ෂ පන්දු යැවීමක නිරතවුණු හාට්ලිස් පිලේ අවිඳු තීක්ෂණ ට්‍රිග්ස් පිලට එරෙහිව පළමු වටයේ තරගයකදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළේය.

අවසන් තරගයේදී ප්‍රතිවාදී සැමුවෙල්ස් පිල ලකුණු 19කින් පරදවමින් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට ට්‍රිග්ස් පිල සමත්විය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති මෙන්ම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තරගාවලියේ පළමු වටය

තරග අංක 1 - හාට්ලීස් - සැමුවෙල් හාට්ලිස්: 173/5 (පන්දුවාර 20) ආදිත්‍ය සිරිවර්ධන 81, විනුජ කිරිඇල්ල 39, කල්ප නෙත්සර 20/2, විෂාර ප්‍රනාන්දු 31/2 සැමුවෙල් පිල : 143 (පන්දුවාර 19.1) සිතාර ගිම්හාන් 83, තිලංග උදීෂන 21/3, අවිඳු තීක්ෂණ 28/2, තරින්ද නිර්මාල් 33/2, කවිඳු නිර්මාණ 35/2 හාට්ලීස් පිලට ලකුණු 30ක ජයක්.

2 වැනි තරගය හාට්ලීස් - ට්‍රිග්ස් හාට්ලිස්: 111/6 (පන්දුවාර 20) භානුක මනෝහර 55, විනුජ කිරිඇල්ල 29, අම්ෂි ද සිල්වා 16/2, චමත් වික්‍රමසිංහ 18/2 ට්‍රිග්ස්: 40/3 (පන්දුවාර 4.2) චරිත් අසලංක නොදැවී 23, අවිඳු තීක්ෂණ 3/2 ට්‍රිග්ස් පිලට පැරබෝලා ක්‍රමයට ලකුණු 3ක ජයක්.

3 වැනි තරගය ට්‍රිග්ස් - සැමුවෙල්ස් ට්‍රිග්ස්: 178/5 (පන්දුවාර 20) චරිත් අසලංක නොදැවී 115, චමත් වික්‍රමසිංහ 20, අවිඳු තීක්ෂණ 3/24 සැමුවෙලස් පිල : 113/8 (පන්දුවාර 20) චාමිකර හේවගේ 36, ජනිත් කෞශල්‍ය 26, සිතාර ගිම්හාන් 16, තිසර භානුක 14/2, අම්ෂි ද සිල්වා 18/2, රවිෂ්ක විජේසිරි 21/2 ට්‍රිග්ස් පිලට ලකුණු 65ක ජයක්.

4 වැනි තරගය හාට්ලීස් - ට්‍රිග්ස් ට්‍රිග්ස්: 154 (පන්දුවාර 20) චරිත් අසලංක 101, හංසමාන ද සිල්වා 18, අම්ෂි ද සිල්වා 12, අවිඳු තීක්ෂණ 15/4 හාට්ලිස්: 136/5 (පන්දුවාර 20) දිමුත් සඳරුවන් 31, භානුක මනෝහර 27, කවිඳු නිර්මාණ 25, තිසර භානුක 20/2 ට්‍රිග්ස් පිලට ලකුණු 18ක ජයක්.

5 වැනි තරගය හාට්ලීස් - සැමුවෙල්ස් හාට්ලිස්: 69 (පන්දුවාර 17) දිමුත් සඳරුවන් 27, නාලක ජයවර්ධන 15/3, දිළුම් සුදීර 14/2, කල්ප නෙත්සර 15/2 සැමුවෙල්ස්: 35/2 (පන්දුවාර 5) විෂාර ප්‍රනාන්දු නොදැවී 17 සැමුවෙල්ස් පිලට පැරබෝලා ක්‍රමයට කඩුලු 8ක ජයක්.

6 වැනි තරගය සැමුවෙල්ස් - ට්‍රිග්ස් ට්‍රිග්ස්: 116/8 (පන්දුවාර 20) චමත් වික්‍රමසිංහ 50, සඳුන් මෙන්ඩිස් 21, දිළුම් සුදීර චරිත් 11/4, තවීෂ අභිෂේක් 12/2 සැමුවෙල්ස්: 117/4 (පන්දුවාර 17.3) සිතාර ගිම්හාන් නොදැවී 67, දිළුම් සුදීර නොදැවී 30, අම්ෂි ද සිල්වා 22/2 සැමුවෙල්ස් පිලට කඩුලු 6ක ජයක්.

6 වැනි තරගය සැමුවෙල්ස් - ට්‍රිග්ස් ට්‍රිග්ස්: 116/8 (පන්දුවාර 20) චමත් වික්‍රමසිංහ 50, සඳුන් මෙන්ඩිස් 21, දිළුම් සුදීර චරිත් 11/4, තවීෂ අභිෂේක් 12/2 සැමුවෙල්ස්: 117/4 (පන්දුවාර 17.3) සිතාර ගිම්හාන් නොදැවී 67, දිළුම් සුදීර නොදැවී 30, අම්ෂි ද සිල්වා 22/2 සැමුවෙල්ස් පිලට කඩුලු 6ක ජයක්.

අවසන් තරගය ට්‍රිග්ස් - සැමුවෙල්ස් ට්‍රිග්ස්: 150/5 (පන්දුවාර 20) චමත් වික්‍රමසිංහ නොදැවී 53, රවිෂ්ක විජේසිරි 48, චරිත් අසලංක 32, නාලක ජයවර්ධන 15/2 සැමුවෙල්ස්: 131/8 (පන්දුවාර 20) තවීෂ අභිෂේක් 43, සිතාර ගිම්හාන් 35, ජනෙත් කෞශල්‍ය 21, අම්ෂි ද සිල්වා 18/3, චමත් වික්‍රමසිංහ 20/2 ට්‍රිග්ස් පිලට ලකුණු 19ක ජයක්.

අවසන් තරගයේ වීරයා - රවිෂ්ක විජේසිරි (ට්‍රිග්ස් පිල)

තරගාවලියේ දක්ෂතම නැගී එන ක්‍රීඩකයා - චමත් වික්‍රමසිංහ (ට්‍රිග්ස් පිල)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා - චරිත් අසලංක (ට්‍රිග්ස් පිල)

 

ඉෂානි යද්දෙහි

 

ඡායාරූප - ඉෂාන් පමෝද්

Comments