ලෝක කුසලාන රිදී ජුබිලියේ රත්තරන් මතකයක් | සිළුමිණ

ලෝක කුසලාන රිදී ජුබිලියේ රත්තරන් මතකයක්

 

අද නැති එදා තිබූ මෑඩ් මැක්ස් දුටු කණ්ඩායම් විප්ලවය

‘අහිමිවන විට බොහෝ දේ හිමිව තිබුණු කාලයට වඩා මිහිරි ය, ආදරණීය ය, අමතක කළ නොහැකි ය. එය ද එසේමය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ හිණිපෙතට ශ්‍රී ලංකාව රැගෙන ගියේ 1996 වසරේදී ය. ඒ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි. එකී විස්මිත ප්‍රාතිහාර්ය සිදුව මේ ආරම්භ වන්නේ විසිපස්වැනි වසරය. මේ එකී ජයග්‍රාහී පෙළහර ආරම්භ වූ ආකාරය ගැනය.

අස්ගිරි සැණකෙලිය...! " Pull again...For a six...Cheers everywhere..These SriLankans are loving this hitting from Jayasuriya and Kaluwitharana.." යාන්තම් පන්දුවාර 7ක් ලබද්දීම ලකුණු පුවරුව කඩුල්ලක්වත් නොදැවී 80 ක් ලෙස දැක්වෙන්නේ නම් හුරේ දමනවා හැර කුමක් කරන්නද ? අස්ගිරියේ එකම සැණකෙළියකි... " තණතීරුව පිතිකරුවන්ට හිතකරයි.. හැබැයි වේග පන්දුයවන්නන්ට මුල් පැය දෙකක් පමණ සෑහෙන්න වාසියක් ගන්න පුලුවන් වෙයි " අස්ගිරි තණතීරුවට එබී බැලූ බන්දුල වර්ණපුර රූපවාහිනියට අදහස් දක්වන්නේ එසේය. එදෙස ඕනෑ කමින් බලා සිටි කෙන්යානු කණ්ඩායම වෙලාවේ හැටියට බුද්ධිමත් නමුත් එකල ක්‍රිකට් පිටිය උඩු යටිකුරු වූ තීරණයක් ගැනීමට පෙළඹුනි. " ටොස් එක අරන් බෝල් කරමු. කෙන්යානු නායකයා කාසියේ වාසිය ලබාගත්තේය.. " We are gonna ball first.." එය ඇසූ පමණින් අර්ජුනගේ මුහුණේ සිහින් සිනහවක්

ඇඳී ගියේ ඇයි දැයි පසුව සියල්ලන්ටම වැටහෙන්නට ඇත...! කතාව දිගහැරෙන්නේ මින් වසර 24කට පෙර එනම් 1996 විල්ස් ලෝක කුසලානය අතරතුරේදීය. ඉන්දියාව පරාජය කොට අමුතු ගැම්මක් ගත් පෙරළිකාර ශ්‍රී ලංකාවට ජයක් සොයමින් සිටි කෙන්යාව මුණගැසෙන්නේ මහනුවර අස්ගිරි ක්‍රීඩංගණයේදීය. දිනය හරියටම 1996 මාර්තු 06 වනදාය. කෙන්යානු ආරාධනයෙන් පන්දුවට පහරදෙන්නට පිටියට එන්නේ එකල ලෝක ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කරමින් සිටි යුගලයක්ය. සාමාන්‍යයෙන් ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් එකෙකු ප්‍රහාරයක් එල්ල කරද්දී අනෙකා කඩුල්ලේ සිටිම සිරිත වුවද මොවුන් දෙදෙනාට පන්දුවාරයකට හතරේ දෙකක් නොගැහුවොත් කෑවෙ නෑ වගේය. අලංකාර Straight-Drive පහරකින් වැඩ ඇල්ලූ යුගලය කෙන්යානු පන්දු යවන්නන්ට ඇරඹුමේ සිටම පහරදෙන්නේ අනුකම්පා විරහිතවය. පන්දුවාර 6ක් යාමට මත්තෙන් ලකුණු පුවරුව බලූ කෙන්යානු නායකයාට හීන් දාඩිය දමන්නට විය." 70..ක් !.. කෝ යකො අර තියෙනව කිව්ව ම⁣ඟුලේ සහාය? "සැබැවින්ම මොන සහයක් තිබ්බත් පන්දුව නිරන්තරව හතරේ සීමාව සොයා යන විට මොන ජගතාටත් කරගන්ට දෙයක් නැත. ලකුණු පුවරුව 83දී ජයසූරිය ලකුණු 44 (පන්දු 27) කට දැවී යන්නේ එකී ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ඇතුළත් කරගනිමිනි. එයින් ලකුණු 5කට පසු කලූ ලකුණු 33කට (පන්දු 18) දැවී යන්නේ හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමගිනි. දෙවන කඩුල්ල දැවී ගිය පසු අසංක ගුරුසිංහට එකතු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මෙතෙක් බිහිවූ දඩබ්බරම දකුණත් පිතිකරුවාය. කෙන්යානු කණ්ඩායම අරවින්දව පිලිගන්නේ කෙටි පන්දු කිහිපයකිනි. තමන් කළේ අම්බ ගොන් වැඩක් කියා කෙන්යානු පිලට වැටහෙන

විට අරවින්ද පුල් පහරවල් කීපයක් එල්ල කර අවසන්ය. එතැන් පටන් ගුරුසිංහ සංසුන්ව ඉනිම ගෙනගියද ඉල්ලගෙන ෆෝම් කරගත් මෑඩ් මැක්ස් ගෙන් නම් කෙන්යාවට ගැලවිල්ලක් නැතිවිය. එක්තරා විටෙක ගුරා-අරා යුගල කිසිදා නොදැවී යන්නන් මෙන් ක්‍රීඩා කරන්නට විය. තුන්වන කඩුල්ලට දැවැන්ත ලකුණු 183ක සබඳතාවයක් එක්කිරීමෙන් පසු ගුරුසිංහ ලකුණු 84කට (පන්දු 104) දැවී යන්නේ හතරේ පහර 7ක් හා හයේ පහර 3 ක් ද තම පිත්තෙන් කැටයම් කරමිනි. ඉනිම නිමවන්නට පන්දුවාර 10ක් තිබියදී පිටියට එන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් බිහිකළ හොඳම නායකත්වයේ හා හොඳම බඩේ හිමිකාරයාය. අරවින්දට ශතකය කරා යන්නට අවස්ථාව දුන් අර්ජුන අනෙක් අන්තයෙන් ලකුණු උදුරන්න⁣ට විය. එකළ ඉනිම නිමාකරන්නාගේ ක්‍රියාවලිය හොඳින්ම දැන සිටි අර්ජුන කවදාවත් තමන්ගේ ඇඟ එයට හරස්කර ගත්තේ නැත. අර්ජුනගේ මෙන් ඇඟ තිබූ අනෙක් උන්ට බැරි වූ බොහෝ දේ අර්ජුන කළේ තමන්ගැන තිබූ විශ්වාසය හා දැඩි උනන්දුව නිසාමය.දැන් එළඹෙන්නේ හොඳම අවස්ථාවය. 43න් වන පන්දුවාරයේ අවසන් පන්දුවට එක ලකුණක් ලැබූ අරවින්ද ද සිල්වා පිත්ත ඉහළට ඔසවන්නේ තම මංගල ලෝක කුසලාන ශතකය සැමරීමටය. පසු කලෙක සංගා ඩිල්ෂාන් මහේලලා ලෝක කුසලානවල ශතක පිට පිට ලබද්දී එකළ ටෙස්ට් වරම්

වත් නොමැති රටෙන් බිහිවූ සුවිශේෂීම දකුණත් පිතිකරුවා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ලෝක කුසලාන ශතකය වාර්තා

කරන්නේ එදාය. සීයක් ගසා නික්ම යාමෙන් ඵලක් නැත. වහාම අර්ජුනගේ මූඩ් එකට වෙනස්වූ අරවින්ද එක්වරම ඇස් උඩ ඉන්දවන ප්‍රහාරයක නිරත වන්නේ ඉනිම වේගයෙන් ඉහළ දමමිනි. 49වන පන්දුවාරයේ දී අරවින්ද ලකුණු 145කට දැවී යන්නේය. පන්දු 115ක් පමණක් වැයවූ එකී ඉනිමට හතරේ පහර 14ක් හා හයේ පහර 5ක් ඇතුළත් විය. නොදැවී ඉනිම අවසන් කළ අර්ජුන පන්දු 40කදී ලකුණු 75ක් ලබන්නේ අවසන් පන්දුවට හතරේ පහරක්ද ලබාගනිමිනි. පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා ඉනිම දැක්වුණේ කඩුළු 5කට ලකුණු 398ක් ලෙසිනි..තව ලකුණු 2ක් එහා මෙහා වූවානම් එකළ හීනයක්වූ 400 සීමාව පසුකරන්නටද හැකියාව තිබුණි. එකී ලකුණු 398ට වාර්තා වූයේ එකළ ලොව ඉහළම ලකුණු වාර්තාව ලෙසය. විශේෂත්වය වූයේ එදා අපි බිඳ දැමුවේ කොදෙව්වන්විසින් අපටම එරෙහිව තබා තිබූ ලකුණු 360 වාර්තාව වීමය. පිලිතුරු ඉනිම සඳහා පිටියට ආ කෙන්යානු පිළ දැඩි පීඩනය හමුවේ ඉවසලිවන්තව ක්‍රීඩා කළ නමුත් ඔවුන්ට පන්දුවාර 50 අවසානයේ කඩුළු 7කට ලබාගත හැකි වූයේ ලකුණු 254ක් පමණි. මෙහිදී ටිකෝලෝ ලකුණු 96ක් රැස්කිරීම කෙන්යානු පිල පැත්තෙන් කැපී පෙණුනි. ශ්‍රී ලංකාව මෙම තරඟය ලකුණු 144කින් ජයගත් අතර තරඟාවලියේ අපරාජිතව රැඳෙන්නට සමත්විය. තරඟයේ වීරයා අරවින්ද ද සිල්වාය. අරවින්ද ද සිල්වා හෙවත් 'මෑඩ් මැක්ස්' විසින් එකී ඉනිම හා ලෝක කුසලානය පිළිබඳව පසු කළෙක කියූ. අදටත් වලංගු වන කතාවකින් ලිපිය අවසන් කරන්නෙමි. "ඒ ඉනිම මගේ තනි

ඉනිමක් නෙමෙයි. ගුරුසිංහ අර්ජුන දෙන්න ලොකු සහායක් දුන්නා.

තනියම ඒ වගේ ඉනිමක් කරන්න හරි අමාරුයි. මුළු ලෝක කුසලානය පුරාවටම අපිට ජය ගෙනාවෙ එකම එක දෙයයි. ඒ තමයි ටීම් වර්ක් එක.

චමිඳු ගිහන්ත

facebook -ලුසිෆර්

 

Comments