වෘත්තීය ක්‍රීඩකයෝ බිහිවූ හැටි | සිළුමිණ

වෘත්තීය ක්‍රීඩකයෝ බිහිවූ හැටි

 

‘ගැමි මිනිසාගේ ක්‍රීඩාත්මක අභ්‍යාස වලින් පොහොසත් වූ ජීවිතය ගැන ලියන්නට පටන් ගත්පසු ඉන් ප්‍රමුදිත වූ ක්‍රීඩා ප්‍රේමීහු බොහෝ හමුවූහ. ඔවුන්ගේ රසවින්දනයට මෙන්ම ජීවිතය තුළ ක්‍රීඩාව සොයා යන්නට සරල ජීවන ස්වභාවය අවබෝධ කරගනු පිණිස මෙම කෙටි ලිපි සරණිය උපස්ථම්භක කරගන්නැයි අපි සෑම ක්‍රීඩාලෝලියකුට ම ආරාධනා කරමු.’

අනිත් ගැමියන් වගේ ම පොළොවත් සමග හැපෙමින් වගා කටයුතු කරන අතර විනෝදයට ක්‍රීඩා කටයුතුවලත් යෙදෙනවා. ක්‍රීඩාව ගැන කතා කරනකොට, විශේෂයෙන් ම ජන ක්‍රීඩාව ගත්තම එය ගැමියන්ගේ ඕනෑ එපාකම් වලට අනුව හදාගත්ත නීති රීති, ක්‍රීඩා විලාසයන් මත තීරණය වන දෙයක්. තවදුරටත් විස්තර කරනවා නම් එය ඔවුන්ගේ ජීවන භාවිතාවක්. ක්‍රීඩාවක් නිෂ්පාදනය කරල ඒ වෙනුවෙන් ඔට්ටු තියන්න ක්‍රීඩකයො නිෂ්පාදනය කරන තත්වයක් එතැන නෑ. ඒ අයට චක්ගුඩු පනින්න, වල කජු ගහන්න එහෙම නැත්නම් කොට්ට පොර ගහන්න වෙන ම ක්‍රීඩා පිටි ඕන වුණේ නෑ. ඒ ක්‍රීඩාවෙත් තරගයක් තිබුණා. ඔවුන් හොඳ ක්‍රීඩා රසිකයන් හැටියට විනෝද වුණා. ඒත් ජනක්‍රීඩාව ඇතුළෙ කවදාවත් වෘත්තීය ක්‍රීඩකයන් බිහි වුණේ නෑ.

වෘත්තීය ක්‍රීඩකයො කියන්නෙ නිෂ්පාදනයක්. ඒක විවිධ අරමුණු වෙනුවෙන් සිදු කරන නිෂ්පාදනයක්. ග්‍රීක රෝම යුගයේ දීත් වෘත්තීය ක්‍රීඩකයෝ හිටියා. රෝමයේ හිටපු “මයිලො” කියන්නේ එහෙම කෙනෙක්. සමාජ බලයට, රාජකීය ගෞරවය වෙනුවෙන් ඒ අය තමන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය නඩත්තු කර ගත්තා. ඔලිම්පික් ජයග්‍රහණවලට එදා දුන්නේ ඔලිව් කොළ ඔටුන්නක්. ඒ ඔටුන්නේ එබ්බවූ මැණික්, රත්තරන් තිබුණෙ නෑ. ඒත් ඒ ඔලිව් කොළ අතර සමාජ බලය ගෞරවය නොඅඩුව තිබුණා.

ඒත් ජන ක්‍රීඩකයො එහෙම වෙනම කණ්ඩායමක් වුණේ නෑ. අවුරුද්ද පුරාම මහන්සි වෙලා වැඩ කරන ඒ අය ඒ අතර ලබන විවේක කාලය විනෝදයෙන් ගත කරන්න තමයි ජන ක්‍රීඩාවල යෙදුණෙ. නැරඹුවෙත් ඒ අයම යි. ක්‍රීඩා කළෙත් ඒ අයම යි. ජන නාට්‍යවල තිබෙන්නෙත් මෙවැනි ම තත්වයක්. එය ඔවුන්ගේ ජීවන භාවිතාවක් වුණා. තමන්ගේ ජීවිතයේ නිරෝගිකම, සෞඛ්‍ය සම්පන්න බව රැක දුන් ජීවන භාවිතාවක් බවට ජන ක්‍රීඩාව පත් වන්නේ ඒ නිසා යි.

මේ අතර ආගමික අරමුණු වෙනුවෙන් නිර්මාණය වුණ ක්‍රීඩා විශේෂයක් ද අපේ ගැමි සමාජයේ තිබෙනවා. ඊට හොඳම උදාහරණය තමයි, අං කෙළිය. එතැනදී නම් අර කිව්ව විදිහට හැමෝම ක්‍රීඩා කළේ නෑ. ඒකටම පේ වෙලා හිටපු පිරිසක් තමයි ඒ දේ කළේ. ඒ කටයුතු කරන කාලයේ දී ඒ අයව රක්ෂා කරන එක ගැමියන්ගේ වගකීමක් ද වුණා. ඒ නිසා එතන නම් යම් වෘත්තීය පැවැත්මක් දකින්න ලැබුණා. ඒත් අද මට්ටමෙන් නෙවෙයි. ඒ අයත් සාමාන්‍ය කාලවල දී අනිත් ගැමියන් වගේ ම තමන්ගේ වගා කටයුතුවල යෙදුණා. කොහොම වුණත් මෙතන තියෙන මුලික කාරණාව තමයි, ජන ක්‍රීඩාව යනු ගැමි ජීවිතයට ම අයත් ජීවන භාවිතාවක්ය කියන එක. එතනින් එහාට ආගම හා සංස්කෘතික අවශ්‍යතා විසින් වෙනම ක්‍රීඩා ශිල්පීන් වගේ ම නිර්මාණ ශිල්පීන් බිහි කළේ ඒ දේ තුළ හුදු ජීවන භාවිතාවක්ය කියන එක. නමුත් දෙවියන්ගේ ඇසුරක් සමග එන කොහොඹා කංකාරියෙන් උපන් උඩරට නැටුම් කලාව අරගෙන බලන්න. එතනදී අං කෙළිය කියන්නේ සාමාන්‍ය ගැමියන්ට අයත් දේව වතාවතක්. අකිත් අතට උඩරට නැටුම කලාවක් මිසක් ක්‍රීඩාවක් වෙන්නේ කොහොමද කියළ ඔබට එකවරට ම හිතේවි. නමුත් බොහෝ අය දන්නෙ නෑ එ කලාවේ පාදම ක්‍රීඩාවක්ය කියන එක. ඒ කලා විභූෂණය හැදිලා තියෙන්නෙ ශක්තිමත් න්‍රීඩා කෞශල්‍යයක් තුළ යි. ඒ නැට්ටුවා හැම වෙලේ සිය කලා කෞශල්‍යය වෙනුවෙන් ජව සම්පන්න ශාරීරික යෝග්‍යතාව වගේම පුහුණුව ආරක්ෂා කරගන්න ඕනෑ. ඒ නිසා තමයි මේ නැටුම් ශිල්පීන්ට රාජ නියෝගය මත, වෙනම ගම්වර ලබා දී වෘත්තීය ආරක්ෂණයක් ලබා දී තිබුණෙ. නමුත් පොදු ජීවිතයේ දී ඒ අයත් සාමාන්‍ය විදිහටම ජීවත් වුණා. ඒත් රෝම ග්‍රීක සංස්කෘතියේ දෙවියන් ඇසුරු කළ ක්‍රීඩාව තිබුණේ මීට වෙනස්ම තැනක යි. ඒ නිසා තමයි “මයිලෝට අඬන්න සිදු වුණේ.

මොකක් ද මේ මයිලෝ කතාව

(ලබන සතියට)

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

Comments