දැන ගියොත් කත­ර­ගම, නොදැන ගියොත් අත­ර­මග | සිළුමිණ

දැන ගියොත් කත­ර­ගම, නොදැන ගියොත් අත­ර­මග

දික්කසාද වැඩිවීමට හේතු මෙන්න!

ශ්‍රී ලංකාවේ දිනකට පවුල් 400ක් දික්කසාද වෙයි
 

පවුල් බිඳවැටීම් පිළිබඳ සැලකුමේදි විවාහකයන් සමාජ මාධ්‍යයන් ඔස්සේ අනියම් සබඳතාවන් ගොඩනඟා ගැන්ම වර්තමානයේ වඩාත් සුලබව දක්නට ලැබෙන්නකි. අනෙක් අතට පුද්ගලයන් තුළ ඇති අසීමිත අපේක්ෂාවන් මත, අධි සුඛෝපභෝගී දිවි පෙවෙතක් වෙනුවෙන් වූ පරිභෝජන රටාවක් වෙනුවෙන් ණය වී හෝ වාහන, ගෘහ භාණ්ඩ ආදී දේ අත්පත් කර ගැන්මට පෙලඹීමෙන් කල් යාමේදී ණය බර හේතුවෙන් ඇතිවන පීඩනය පවුල් දෙදරා බිඳ වැටීම කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරන අන්දම පිළිබඳව ඇතැම්විට කිසිවෙකු නොසිතුවා විය හැකිය.

දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ යන කියමන විවාහය යන්නට ද අදාළ වූවකි. දුකේදීත්, සැපේදීත්, මරණයෙන් වෙන්වන තුරුත් එක්ව වසන්නට ගිවිස ගත්තද; වර්තමානයේදී විවාහ ජීවිත කෙටි කලකින් බිඳ වැටීමේ ප්‍රවණතාවය සමාජයෙහි බිඳ වැටීමක් කෙරෙහි බලපෑම් කරනු ලබන, මතුපිටින් නොපෙනන, එහෙත් ප්‍රබල කාරණාවක් බවට පත්වී ඇති බව පෙනෙයි.

“කේන්දරේ බලලා, පොරොන්දම් ගළපලා, පෝරුවේ නැග, අෂ්ටක කියා කළ කසාදය කෙටි කලකින් කැඩී බිඳී යාම කනගාටුවට කරුණකි. එහෙත්; ජ්‍යෝතිෂ්‍යෙව්දීන්ට අනුව පොරොන්දම් වලින් 100%ක් විවාහ තීරණය නොකරන අතර කේන්දරය යනු සියල්ලම තීරණය කළ හැකි වූවක් නොවේ.

විවාහය යන්න තුළ ඇති වගකීම්; යුතුකම්, කැපකිරීම් පිළිබඳ අවබෝධයකින් තොරව එය ඇතැම් චිත්‍රපටයක පෙන්වන අන්දමේ “සුන්දර සිහිනයක්“ යන මුළාවීමම, එම විවාහයෙහි ‘මරණ සලකුණු‘ පෙන්නුම් කරන්නකි.

විවාහ බිඳ වැටීම් ගැන මඟුල් පින්තූර ගන්න ඡායාරූප ශිල්පීන් පවසන්නෙ පුදුම හිතෙන කතාවක්. වෙඩින් ෆොටෝ ඇල්බම් එක බාරදෙන්න මනාල ජෝඩුව හම්බවෙන්න යන කොටත් සමහරු වෙන්වෙලා; “ඩිවෝස් ෆයිල්“ කරලත් ඉවරයි.

මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර පවසන අන්දමට වර්තමානයේ විවාහ සංස්ථාවෙහි එවැනි දෙදරායාම් සිදුවන්නේ මංගල යහනෙහි උණුසුම වියැකී යන්නටත් ප්‍රථමයෙනි.

“ඇත්තටම විවාහ සංස්ථාව දෙදරා ගිහින් ද?“

ඇතැමුන් තුළ මේ පිළිබඳව කුකුසක් පැවතුණත් මෙම තත්වය පිළිබඳව ආචාර්ය උපාලි සේදර විසින් ‘ශ්‍රී ලංකාවෙහි දිනකට පවුල් හාරසියයක් දික්කසාද වන බවට කරන ලද ප්‍රකාශය බොහෝ දෙනෙකුගේ ඇස් අරවන්නක් වූ බැව් නම් නිසැකය.

එසේ වුවද, මෙම පුවත සමාජ සේවා අමාත්‍යාංශ වාර්තාවෙන් අසන්නට ලැබුණේ 2014 වසරේදීය. එහෙත්, එයට වගකිවයුතු කිසිවකුගේ අවධානය යොමු වූයේ නැත.

අප රටේ 76% දෙනෙකු විවාහ වන්නේ අවුරුදු 20 - 30 අතරදියි. එමෙන්ම බොහෝ විට දික්කසාද වන්නේ විවාහ වී පළමු වසර තුන අතර වූ කාලය තුළදියි. ආචාර්ය උපාලි සේදර අනාවරණය කරනුයේ වර්තමානයේ විවාහය යන්නට ලැබී ඇති වටිනාකම පිළිබඳ කටුක යථාර්ථය හුවා දක්වමිනි.

අනෙක් අතට දික්කසාදයන් වැඩිම වශයෙන් වාර්තා වන්නේ ලංකාවේ ජනගහනයෙන් 40%ක් සිටින බස්නාහිර පළාතෙන් වන අතර; මේ වන විට රටෙහි වාර්තාවන දික්කසාද නඩු (Devorce cases)සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහසක් පමණ (250,000) වීම තුළින්ම ‘අසතුටින් දිවිගෙවන‘ පවුල් සංඛ්‍යාව අධික බැව් නම් පැහැදිලිය.

පවුල් සංස්ථාවෙහි බිඳ වැටීම යන්න මේ වන විට ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන සමාජ ගැටලුවකි. කැලණිය විශ්ව විද්‍යාලයෙහි මහාචාර්ය කරුණාතිලක විසින් කරන ලද සමීක්ෂණයකට අනුව ලෝකයේ අනෙකුත් රටවල් දෙස බැලුවත් සෑම පවුල් තුනකින් එකක් ‘දික්කසාදය‘ සඳහා වැඩි අවදානමක් දරන බැව් පෙනෙයි.

කෙසේ වුවද වර්තමානයේදී විවාහයට ඇතුළත් වන ඇතැමුන් එසේ විවාහ වනුයේ ඒ පිළිබඳ අවබෝධයකින් තොරව බැව් විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස දහඅට වසරක සේවයේ නිරතව සිටින එස්.එම්.එස්. පෙරේරා මහතා පවසන්නේ තම අත්දැකීම්වලට අනුවය.

“කසාද බඳින්න වැඩිපුර එන්නෙ බොහෝවිට අවුරුදු දහනවය, විස්සෙ, විසිපහේ තරුණ පිරිස්. ඒත් ඒ අතර යාන්තම් දහඅට පිරෙද්දි එන අය වගේම, අවුරුදු දහසයෙදි ගැබ්බර වූ දැරිවියන් ද සිටින අවස්ථා තිබෙනවා.“

විවාහයකදී විවාහ අපේක්ෂිත යුවළගේ පූර්ණ කැමැත්ත ඒ සඳහා අත්‍යවශ්‍යය. එහෙත්, දෙමාපියන්ට හොරෙන් පැනගොස්, නැවත හසුවීමෙන් පසු පොලිසියට රැගෙන යාමෙන් පසු විවාහය ලියාපදිංචි කොට විවාහ සහතිකය පොලිසියට පෙන්වීමට උපදෙස් ලැබීම හේතුවෙන් විවාහ වන්නන් මෙන්ම; මරන්නට අරන් යන හරක් මෙන් කට්ටි පැනීමට ඉඩ නොදී විවාහ වීම සඳහා ඇතැමුන් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගෙන ගොස් එම විවාහ ලියාපදිංචි කරන තෙක්, පොලිස් නිලධාරින් රැඳී සිටින අවස්ථාවන් පිළිබඳව ද ඔහුට අත්දැකීම් ඇත. මේ තුළින් පෙන්වන යථාර්ථය නම්, බලපෑම් හේතුවෙන් ‘නොබැඳ කර හරින්නට‘ නොහැකි කම හේතුවෙන්, අකමැත්තෙන් සිදුකරන මෙවැනි විවාහයන්හිදී, විවාහ අපේක්ෂිත යුවළ අතර ඇතිවන බහින් බස්වීම්, සණ්ඩු දබරයන්, මෙවැනි විවාහයන් ලත් තැනම ලොප් වන සලකුණු මොනවට පෙන්නුම් කරන බවකි.

 

 කල්ගත වන විට තම අවශ්‍යතා පිළිබඳව බිරිඳගේ නොසැලකිලිමත්කම, අපිරිසිදුකම, අපිළිවෙළ, තොර තෝංචියක් නැතිව මැසිවිලි නැඟීම ගැන විවාහ බිඳ වැටීමට හේතූන් ලෙස ඇතැම් පුරුෂයන් තම භාර්යාවන් දෙසට ඇඟිලි දිගු කරද්දී, ඇතැම් භාර්යාවන් අසන්නේ එළිවූ මොහොතේ පටන් බැණුම්, ගෙරවුම්, අපහාස වලට මුහුණ දී යහනේදී සබඳතාවක් ඇතිකර ගැන්මට තරම් මානසික සූදානමක් ඇතිකර ගන්නේ කෙලෙසින්ද යනුවෙනි.

 

මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර පවසන අන්දමට දැන්, දැන් විවාහ බිඳ වැටීම් කොතරම් වේගයෙන් සිදුවන්නේ දැයි පැවසුවහොත් කලා ලෝකයේ නළු නිළියන්ගේ විවාහ ජීවිත අභියෝගයට ලක්වන අතර දික්කසාදයන්ගෙන් කෙළවර වන මෙම අත්දැකීම් ඇතැමුන් තනිව, නිහඬව විඳ දරා ගනිද්දී, සමහරෙක තම ජංගම දුරකථනය හරහා එසැණින් තම දික්කසාදය පිළිබඳව ‘මුහුණු‘ පොතට හා සමාජ මාධ්‍යයන්හි ප්‍රසිද්ධියට පත්කරති.

සමාජය දෙස අප ආපසු හැරී බැලුවහොත් වඩාත් පැහැදිලි වන කරුණක් නම්, අතීතයෙහි පැවති සංවෘත සංස්කෘතියෙහි පවුල් වලද මෙවැනි ගැටලුන් ඕනෑ තරම් තිබුණද විවාහ සංස්ථාව බිඳ නොවැටී රැක ගැන්මෙහි අවශ්‍යතාවය මත ඔවුන් ගෙතුළ වන සිදුවීම් පිටතට යාමට ඉඩ නොදී නිහඬව දරා සිටි බවකි.

විවාහයක් බිඳ වැටීම අඹු සැමි යුවළකට පමණක් නොව, දෙපාර්ශ­්වයෙහිම ඥාතීන්ට පවා අපකීර්තියක් ලෙස සැලකීම තුළ පවුල් ආරවුල් විසඳා ගැන්මට උසාවි ගාණේ ගොස්, ‘දික්කසාදය‘ තෙක් දුරදිග ගිය සිදුවීම් අද මෙන්ම එදා සුලබ වූයේ නැත.

කෙසේ වුවද මේ වන විට දිනකට දික්කසාද හාරසියයක් සිදුවන බව ඇසීම එක්තරා අන්දමක ‘කම්පනයක්‘ ඇති කරවන සුළු ප්‍රවෘත්තියක් බවට පත්වෙද්දී, මෙම දික්කසාද පිළිබඳ මෙතක් නොදුටු පැත්තක් මතු කර දක්වන නීතිඥ සජීවනී අබේකෝන් පවසන්නේ අප රටෙහි උසාවි එකසිය ගණනක් තිබෙන අතර සාමාන්‍යයෙන් එක් දිස්ත්‍රික් උසාවියක දිනකට දික්කසාද නඩු පහක් පමණ පැවරෙන බවත් ඒ අනුව බැලුවහොත් දිනකට දික්කසාද වන සංඛ්‍යාව හාරසියය ඉක්මවනු විනා අඩුවීමක් නම් සිදු නොවිය හැකි බවකි.

එහෙත් ඇය මතු කරන වැදගත් තර්කය නම් සමාජයක පවුල් සංස්ථාව තුළ ඇති බිඳ වැටීම් හා පවුල් ආරවුල් දික්කසාද වලින් මැනීමට නොහැකි බවයි.

දික්කසාදය යන්න යමෙකු තුළ තැති ගැන්මක්, කම්පනයක් ඇතිකරවන මුත් පවුල් තුළ ඇති අඬදබර ගෘහස්ථ හිංසනය නොසලකා හැරීම් ඕනෑම පවුලක සිදුවිය හැකි සිදුවීම් ලෙස සැලකීමට බොහෝ දෙනෙකු පුරුදුව සිටිති. එහෙත් එම පවුල තුළ ඇති අවුල් සහගත තත්වය කිසියම් දිනෙක ඔවුන් ‘දික්කසාද පෝලිමට‘ තල්ලු කර දමන්නට හේතු විය හැකි බැව් මොහොතකට නොසිතුවා වන්නට පුළුවන. රටේ ජනගහනයෙන් රැකියා නියුක්ත කාන්තාවන් 35%ක් පමණ වන අතර සේවා වියුක්ති විවාහක කතුන් බොහෝ විට යැපෙනුයේ තම ස්වාමි පුරුෂයාගෙනි. මෙවැනි ඇතැම් පවුල්වල පුරුෂයන් තම බිරිඳ හා දරුවන් නඩත්තු කිරීම පැහැර හැරි විටදී, සැමියාගෙන් නඩත්තු ඉල්ලා නඩු පැවරීම සිදුවන අතර එයින් පැහැදිලි වන්නේ එම අඹුසැමියන් දික්කසාදය තෙක් දුර නොගියද, පවුල් තුළ ආරවුලක් පවතින බවකි.

නීතිඥ සජීවනී අබේකෝන් පවසන අන්දමට හිංසනය වැළැක්වීම පනත යටතෙහි තමන්ට සිදුවන හිංසනයන් පිළිබඳව ස්වාමි පුරුෂයන්ට ද නඩු පැවරිය හැකියි. එහෙත් අප රටෙහි වැඩිපුර ගෘහස්ථ හිංසය පිළිබඳව නඩු තම ස්වාමි පුරුෂයාගෙන් සිදුවන කායික හිංසනය ඉවසා ගත නොහැකිව භාර්යාවන් විසින් පවරනු ලබන නඩු වන අතර, මෙම තත්ත්වයන්ගෙන් ද පෙන්නුම් කරනුයේ එවන් පවුල්වල පවත්නා ‘ආරවුල්‘ බව පැහැදිලිය.

විවාහය තුළ රැඳුනද, කායිකව මෙන්ම මානසිකව වෙන්වී සිටින අඹු සැමියන්ගේ පවුල් ආරවුල් මෙහිදී වාර්තා නොවන තරම්ය. කෙසේ වුවද, බිඳ වැටුණු පවුල් (Broken Families) වැනි විවිධ පුවල් ආරවුල් පිළිබඳ නඩු සංඛ්‍යාවන් දෙස බලද්දී ඒ උසාවිවල ඉඩම් හා බූදල් නඩුවලට වඩා ඉහළ ගොස් ඇති බැව් පෙනේ.

පවුල් සංස්ථාව යන්න මෙවැනි බිඳ වැටීමකට ලක්වී තිබියදී, අප කළ යුත්තේ සංඛ්‍යා ලේඛන දෙස බැලීමට වඩා විවාහ බිඳ වැටීම් මෙතරම් වේගයෙන් සිදුවීමට බලපෑ හේතූන් පිළිබඳ සොයා බැලීමය.

දික්කසාදය සඳහා යොමුවූ වැඩිදෙනෙකුම පාහේ පාසැල් අධ්‍යාපනය එමෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා ලැබූවන්ය. එහෙයින් අපගේ අධ්‍යාපන ක්‍රමයෙහි කොතැනක හෝ ගැටලු සහගත තත්වයක් ඇතැයි සිතීම වැරැද්දක් වන්නට නුපුළුවන.

ආචාර්ය උපාලි සේදර පවසන අන්දමට තරුණ දරුවන් පසුගිය කාලය තුළ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයට යොමුවීම තුළ දෙමාපියන් දරුවන්ට පවසන එකම දේ පාඩම් කරන්න පමණක් වන අතර, ළමුන්ගේ ජීවන කුසලතා ඇතිකරලීම සිදුනොවීම මෙන්ම ඔවුනට තම පවුල සමඟ ගත කිරීමට ද ලැබෙනුයේ ඉතාමත් අඩු කාලයකි. පාසලෙන් ටියුෂන් පන්තියට යන දරුවා එතැනින් නිවසට පැමිණි පසු නැවතත් හිඳ ගන්නේ පාඩම් කරන්නයි.

අවම වශයෙන් තම දෙමාපියන්ගේ ජීවිත ගැනවත් නොදන්නා මෙම දරුවන් පවුලට හැඩගැසීම නිසි අන්දමින් සිදු නොවන්නාක් මෙන්ම ළමුන්ගේ චිත්තවේගී සංවර්ධනයක් ද දැකිය නොහැකිය. අනෙක් අතට පවුලක දරුවන් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට පමණක් සීමා වීම රණ්ඩු වන්නට, යාළු වන්නට, බෙදා ගැන්මට දරුවනට ඇති ඉඩකඩ සීමා වීමෙන් දරා ගැනීම, ඉවසීම වැනි ගුණාංග නුහුරු දරුවන් ඇතැම්විට තමන්ට දෙමාපියන් විසින් උපදෙස් ලබා දුන් විටෙක පවා ඊට ප්‍රතිචාර දක්වන්නේ නොරිස්සුම පෙන්වන්නට ‘දඩාස්‘ හඬින් දොර වසා දැමීම වැනි දෙයකිනි. ඔවුන් පවුල තුළ, සමාජය තුළ ඇති ප්‍රශ්නවලට මුහුණ දීමට හැඩගැහෙන්නේ නැත. ජීවන කුසලතා, හසුරු කුසලතා නොමැතිවීම හේතුවෙන් තම ඇඳුමක් සෝදා ගැන්මට, පොත් මේසය පිළිවෙළෙට තබාගැන්ම, ගේ දොර පිරිසිදු කිරීමට මේවාට දරුවන්ට දැනුමක් නැත.

එවැනි දරුවකු ‘විවාහය‘ නැමති ජීවිතයේ මල්ඵල හටගන්නා සමයට ඇතුළු වීමෙහිදී ජීවිතය හරි හැටි ගෙනයාමට නොදත්කම හේතුවෙන් විශාල ගැටලුන්ට මුහුණ පෑම පුදුම විය යුතු කරුණක් නොවෙයි.

දික්කසාදය සම්බන්ධ කටයුතු කරන උපදේශනයෙහි නියුතු නිලධාරිනියක් වරක් පවසා තිබූ අන්දමට ඇගේ අත්දැකීමට අනුව දික්කසාදය ඉල්ලා නඩු පවරන්නට වැඩිපුරම පැමිණෙන්නේ පුරුෂයන්ය. එලෙස දික්කසාදය ඉල්ලූ එක් තරුණ සැමියකු පවසා තිබුණේ අපූරු කතාවකි.

“අපේ දෙමවුපියො අපි ගෙවල්වල ඉද්දි හොඳ රහට උයලා අපිට කන්න දුන්නා. නමුත් අද එහෙම දෙයක් නැහැ. කසාදයක් බැන්දට මොකද? තුන්වේලම කන්නෙ කඩෙන්“

තවත් විවාහක පිරිමියෙකු පවසා තිබුණේ ඊට නොදෙවනි කතාවකි. “අපේ ඇඳ මතක ඇති කාලෙකින් අස්කරල නැහැ. උදේ පාන්දර වැඩට යනව, රෑට ගෙදර ඇවිත් ඇඳ උඩ ඉඳගෙන කාල, එතනම නිදා ගන්නව. අඩු ගාණෙ ඇඳ ඇතිරිල්ලක් මතක ඇති දවසකින් මාරු කරල නැහැ.“

‘පවුල‘ යන ඒකකය තුළ, නිවසේ වැඩ කටයුතු සඳහා දරුවන් තම දෙමාපියන්ට සහය ලබා දිය යුතු වුවද, මේ තුළින් පෙනෙනුයේ පවුල තුළ සහයෝගයෙන් යුතුව ජීවත් වීමට ඔවුන් තුළ ඇති නොහැකියාවයි.

එහෙත්, දරුවන් තුළ ඇති නොදැනුවත්කම පිළිබඳ වැරැද්ද තනිකරම ඔවුන් පිට පැටවීම සාධාරණ නොවේ.

මෙම විශ්වයෙහි ඇති බලවත්ම ආයතනය ‘පවුල‘ වන අතර, යමෙකු ආපදාවකට මුහුණ පෑ විට ඔහුට ඇති ලොකුම ශක්තිය වන්නේ ද ‘පවුල‘ ය.

එහෙත් වර්තමානයේදී කනගාටුදායක අන්දමින් සමාජයේ වෙසෙන දරුවන්ට මෙම ‘පවුල‘ තුළින් ඇති විය යුතු ශක්තිය නැති වී යාම තුළ එය සමාජ ධර­්මතා බිඳ වැටීම කෙරෙහිද බලපා ඇත. විශේෂයෙන් තරගකාරී අධ්‍යාපනය තුළ දරුවන්ට මෙන්ම ඔවුන්ගේ මවුවරුන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ අන් දරුවන් පරදා ඉස්මතුවීමය. දෙමාපියන් වැඩි දෙනෙකුට අවශ්‍ය වනුයේ තම දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙකු කිරීමට මිස ජීවන කුසලතා, හසුරු කුසලතා අත්පත් කරගත්, සාර්ධර්ම අගයන දරුවකු දක්නට නොවන බැව් ආචාර්ය උපාලි සේදරගේ අදහසයි.

පවුල් බිඳවැටීම් පිළිබඳ සැලකුමේදි විවාහකයන් සමාජ මාධ්‍යයන් ඔස්සේ අනියම් සබඳතාවන් ගොඩනඟා ගැන්ම වර්තමානයේ වඩාත් සුලබව දක්නට ලැබෙන්නකි. අනෙක් අතට පුද්ගලයන් තුළ ඇති අසීමිත අපේක්ෂාවන් මත, අධි සුඛෝපභෝගී දිවි පෙවෙතක් වෙනුවෙන් වූ පරිභෝජන රටාවක් වෙනුවෙන් ණය වී හෝ වාහන, ගෘහ භාණ්ඩ ආදී දේ අත්පත් කර ගැන්මට පෙලඹීමෙන් කල් යාමේදී ණය බර හේතුවෙන් ඇතිවන පීඩනය පවුල් දෙදරා බිඳ වටීම කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරන අන්දම පිළිබඳව ඇතැම්විට කිසිවෙකු නොසිතුවා විය හැකිය.

විවාහ බිඳ වැටීමට බලපාන විවිධ හේතූන් අතර සහකරුවන්ගේ නොගැළපීම, දෙදෙනාම ආර්ථිකයට දායක වන පවුල්වල රැකියාව නිමවා නිවසට පැමිණෙන සැමියා මිතුරන් සමඟ මත් පැන් තොල ගාමින් සතුටු සාමිචියෙහි යෙදෙද්දී දරුවන්ගේ කටයුතු, ඉවුම් පිහුම් වැනි කටයුතු රැසක බරින් මිරිකුනු බිරිඳ දැඩි වෙහෙසකර තත්වයකට පත්වෙද්දී, එම වෙහෙස, කලකිරීම තුළ විවාහය අමුතු තැනකට තල්ලුවන්නේ ඉබේමයි. මෙවැනි තත්වයක් තුළ කුටුම්භය රැකගෙන, දරුවන් හදාගෙන මේ ගමන යා යුතුයි යන ධර්මතාවය රැකගෙන යාමට වඩා දක්නට හැක්කේ කුටුම්භය බිඳ වැටීමක් යයි මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර ගේ අදහසයි.

ඈත ගම් පළාත් ගැන සැලකූවිට කසිප්පු, මත්පැන් ආදියට ඇබ්බැහි වූ පිරිමින්ගේ කෘශ වූ සිරුරු, තැම්බුණු මුහුණු හරියට ඔවුන් ජීවයක් නොමැතිව ජීවත්වන්නවුන් මෙන් වන අතර මෙවැනි පවුල්වල බිඳ වැටීම් ගැන තවත් අටුවා ටීකා ඇවැසි නැත.

‘බැඳගත්ත බෙරේ ගහන්න ඕනේ‘ යැයි පවසා ඇතැමුන් බොහෝවිට දික්කසාදය අනුමත නොකළද, ‘බෙරේ පැළුනට පස්සෙ බැඳගෙන ඉඳල වැඩක් තියනවා දැයි‘ සිතන ඇතැමුන් බිඳුනු විවාහය තුළ රැඳී සිටීමට වඩා දික්කසාදයකින් විවාහ අවලංගු කර දැමීමට කල්පනා කරති.

අතීතයේදී තාත්තාට බිය ලැජ්ජාව හේතුවෙන් සියල්ල නිහඬව දරා සිටියද, අනෙක් අතට සමාජ වෙනස්වීම තුළ ඇය අධ්‍යාපනික වශයෙන් ඉහළ සාධනීය තත්වයන් අත්පත් කරගෙන සිටින අතර, ඔවුන් වර්තමානයේදී තම පෞරුෂය, ආත්මාභිමානය පිළිබඳ සිතීම හේතුවෙන් තවදුරටත් නිහඬව විඳ දරා සිටින්නේ නැත.

එමෙන්ම ලිංගික කාර්යය පිළිබඳ අඹු සැමියන් අතර නිසි සන්නිවේදනයක් නොවීම මෙන්ම ලිංගික වශයෙන් පීඩා කිරීම්, අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් සඳහා තම භාර්යාවන් යොදවා ගැනීම වැනි දෑ ද පවුල් අවුල් වීමට බලපා ඇති කරුණු අතර වන බැව් නීතිඥ සජීවනී අබේකෝන් අදහස් දක්වන්නීය.

කල්ගත වන විට තම අවශ්‍යතා පිළිබඳව බිරිඳගේ නොසැලකිලිමත්කම, අපිරිසිදුකම, අපිළිවෙළ, තොර තෝංචියක් නැතිව මැසිවිලි නැඟීම ගැන විවාහ බිඳ වැටීමට හේතූන් ලෙස ඇතැම් පුරුෂයන් තම භාර්යාවන් දෙසට ඇඟිලි දිගු කරද්දී, ඇතැම් භාර්යාවන් අසන්නේ එළිවූ මොහොතේ පටන් බැණුම්, ගෙරවුම්, අපහාස වලට මුහුණ දී නිදියහනේදී ලිංගික සබඳතාවක් ඇතිකර ගැන්මට තරම් මානසික සූදානමක් ඇතිකර ගන්නේ කෙලෙසින්ද යනුවෙනි. විවාහය තුළ ගැටලු පැන නැඟී තිබියදී එම ගැටලු නොලිහා ඉදිරියට යාම දුෂ්කර වුවද, කොතරම් ‘පවුල් උපදේශන සේවා‘ තිබුණ ද තම පවුලේ ආරවුල ලිහා ගන්නට සිතා එවැනි සේවාවක පිහිට ලබා ගැන්මට සිතන්නේ ඉතාමත් සුළු සංඛ්‍යාවකි.

ඇතැම්විට තම විවාහ කඩා වැටීමට ලක්වී ඇති බවත්, එම විවාහය තුළ රැඳී සිටීම ප්‍රතිඵල රහිත බව හොඳින් අවබෝධ කර ගත්තද, අනෙක් පාර්ශ්වයෙන් පළි ගැන්මේ අපේක්ෂාව හේතුවෙන් එම ගැටලුව ලිහන්නට දික්කසාදයකට එකඟ නොවීමට හිතනවුන් හේතුවෙන් බිඳුණු විවාහයක් තුළ ඔවුන් සදාකාලික සතුරන් බවට පත්වෙති.

ඇමරිකාව, නෝර්වේ වැනි රටවල දික්කසාද පිළිබඳ ප්‍රතිශතය 36%ක් පමණ වුවත් එවැනි සමාජයක දික්කසාද වීම බරපතළ ගැටලුවක් නොවන්නේ, දික්කසාදය වූවන්ට දෙවෙනි, තෙවෙනි විවාහ කර ගැන්මට හැකි සංස්කෘතියක් එම සමාජයන්හි පවතින බැවිනි.

එහෙත් අප රටෙහි දෙවෙනි විවාහයකට යෑම පහසු වූවක් නොවන අතර, එය සෑහෙන කාලයක් ගතවන අනුමාන සහගත තත්වයකි. එහෙයින් එවැනි අවස්ථාවන්හිදී දික්කසාද වූවන් අසරණ වන අතර, එකී පීඩනය වඩාත් දැරීමට සිදුවනුයේ දික්කසාදය වූවන්ගේ වයස්ගත දෙමාපියන්ටය. ආචාර්ය උපාලි සේදර පවසන්නේ අධ්‍යාපන ක්‍රමය තුළ ළමයාට තම පවුල පිළිබඳව මෙන්ම අන් අයට ගරු කිරීම, හසුරු කුසලතා ඇති කර ගැන්මට උගැන්වීම නොකළහොත් ඔහු ලබන අධ්‍යාපනය ප්‍රතිඵල රහිත විය හැකි බවකි.

පවුල් සංස්ථාව දෙදරා යාම තුළ සමාජයක් ගරා වැටීමට ලක්වන බැවින් තම අධ්‍යාපන ක්‍රමය තුළ ‘සතුටු පවුල්‘ යන්න ඇතුළත් කර තිබෙනුයේ එම බිඳ වැටීමේ අවදානමින් වළකා ගැන්මටය. ඒ කෙසේ වුවත් කක්කුට්ටා ඇදයට යන අතර, කක්කුටු පැටවුන් කෙළින් යැවීමට උත්සාහ දැරීම නිරර්ථකය. දරුවන් බොහෝවිට උගනින්නේ වැඩිහිටියන්ගෙනි.

එහෙයින් පවුල තුළ බිරිඳ හා සැමියා උනුනුන්ට දක්වන සැලකිල්ල, ගෞරවය, අවධානය, කථා විලාශය වැනි මේ සියල්ල දරුවන් නිතැතින්ම උගනිත බැව් අමතක නොකළ යුත්තකි.

Comments