
(නො)දුටු සිහිනය
අඳුරත් නිදියන මොහොතේ
තුන් යම අලුයම සිහිනේ
මටම නොතේරෙන සිහිනය
ආයෙත් දුටුවා ....යෞවනයම දොර මුල්ලේ
අතීතයම ගෙයි සාලේ
කළ යුතුකම් වක්කඩයේ
හරි වේගෙන්
ලොව කැරකෙනවා....
සෙවණැල්ලයි පසුපස්සේ
අවුරුදු යයි හැටට හැටේ
ආපස්සට ගිය දින ගන්නට
හරි හයියෙන්
මහපොළව කැරකුවා...
කවුරුන් කොපමණ හිටියත්
මටවත් මා නොමැති වෙලේ
ගියහැම ගෙන්වනු කුමටයි
මගේ හිත මට සැරකෙරුවා..
සැමදේ අස්ථිර ලෝකේ
විමසා කුමටද සිහිනේ
අලුත් දිනක් පැමිණේදැයි
අනේ ඇත්තට සැක සිතුණා..
• ප්‍රියානි. පී. රණසිංහ
අපේ ගෙදර
ඔබේ විසල් මාළිගයේ
පුංචිම කුටියටත් වඩා
හරිම පුංචි අපේ ගෙදර
දවසක ඔබ එන්න හොඳේ.
ඔබෙ සැප වාහනය ගන්න
පාරක්වත් නැහැ හරියට
ඒක පාර අයිනෙ තැනක
නවත්තලා එන්න වේවි.
ඔබෙ ලස්සන සපත්තුවල
උඳුපියලිය තණපත්
අපෙ මිදුලේ ඇති
දිය මඩ දූවිලි තවරා
කැත කරන්න
ඉඩ තියෙනව...
අතු ඉති හුළඟට වැස්සට
තාප්පයට ඉහළින් පැන
අනුන්ගෙ වතුවලට වැටී
ගසක් පවා බැණුම් අසන
පොඩි ඉඩමක...
අපේ ගෙදර බලා ගන්න
නිවාඩුවක් ලැබුණොත් ඔබ
නිකමට මෙන් එහේ එන්න....
• කේ.පී.ඩබ්ලිව්
ප්‍රියන්ත ජයලත්.
ගිනි සහ හිම..
ලෝකය වැනසී යන්නේ
ගින්නෙන් යැයි අයෙක් කියති
හිම සිසිලෙන් වැනසේ යැයි
කියනා තව පිරිසක් වෙති...
සිත් තුළ ගිනි සේ දැවෙනා
ක්‍රෝධය ,තණ්හා,ආශා
ගැන මෙතුවක් අත්විඳි දේ
පසක් කරයි මා හට -එය
ඒ ගින්නෙන් වැනසෙන බව...
ඉනුත් නොසෑහී ලෝකය
දෙවරක් වැනසී යා නම්
සැඟැවුණු සීතල වෛරය
තැවුල් රිදුම් නොහැඟෙන සේ
උදාසීන නොරිදෙන සිත්
සෑහෙයි හොඳටම හෙමිහිට
ගැඹුරට ,ඉහළට මිදෙමින්
ග්ලැසියර වී වනසන්නට
ලෝකය හිම යායක් යට...!
ඇමෙරිකානු ජාතික කවියා ලෙස සැලකෙන Robert Frost (1874-1963) විසින් 1920 දී පළ කළ Fire and Ice කවියේ සිංහලානුවාදය .
පළමූ ලෝක යුද්ධය ආසන්නයේ දී ලියැවුණු මෙය ලෝක විනාශය පිළිබඳ කතා කරයි. යුද ගිනි උපදින්නේද මිනිස් සිත් තුළින්මය. එනිසාම සිත් තුළ උපදින උණුසුම් හෝ සීතල සිතිවිලි ලෝකය වනසන්නට හේතු විය හැකි බව කවියා දකියි . භෞතිකව සිදු වන ලෝක විනාශය ට එහා ගිය ගැඹුරු දහමක් පිළිබඳව මින් කියැවෙයි.
කුමුදිනී වේලාරත්න
පිරිමි හිත්
තලාවක ගොරෝසුව මරන්න ම බැරි තැනක
ලියැලුනේ කොහොම දෝ ලතාවක මුල් පුරුක
හෙණ ඇදෙන ගිරි පවුර මත ඇදුන ලේ දමක
තෙත කිරට සිදනු බැරි , මට නුඹට කිසි දිනක
පිරිමි හිත මැද එබුන තුන් කුලේ ප්‍රේමයට
කප්පරක් ඉඩ තියේ අවැසි තැන මතුවෙන්ට
හිස් අහස සිබ ගලෙක තුරුලතට මැදිවෙන්ට
ලියතුඩක් පාරමී පුරන්නැති ගව් දුරට
දැඩි බවින් ඔද වඩන ඔහු හදේ සිතිවිල්ල
තුන් වරක් තුන් විටෙක පසා වෙයි වී මෙල්ල
මවු, බිරිද , දූ නමින් හිතේ මැද ළතැවිල්ල
ළඟදී උණුවේ හිතත් නොදෙඩුවත් වැලපිල්ල
• අමාදි සංජනා දසනායක
ඔබ සොයන්නෙමි
දූවිලි රැදුණ ගිනියම් අහස යටට...
වරින් වර ඔබ එයි අලුත් හුස්මක්ව...
සිප ගන්න සිතුණත් වැලඳගෙන ඔබව..
හඳුනන්නත් බැරිවෙයි ඔබට දැන් මාව...
ලා දලුත් පිරුණු තුරු ලතා අතර
රහසෙ තුරුලු වුණ වාර අනන්තය..
ගසාගෙන ගියත් කාලයේ සුළඟට
තාමත් ඔබ මගෙ හිතට සමීපය..
අවසාන නැවතුම කොතනද නොදැන
අපේ සබන්ධකම් රකින්න අසීරුය...
දාහක් දෙනා සිටියත් පෙනෙන්නට
ඔබව සෙවීම නතර නොවෙයි හෙටද....
• සඳරුවන් කරුණාතිලක
පුර සඳ පාමුල
කණමැදිරි එළියකි පවතින
නිවී නිවී යළි දැල්වෙන
සියක් තරු මල් සොඳුරු පුරහද
අසල සැගවී පවතින
නමුත් තත්පරයකුදු වැඩකින්
තොරව ඉවතට නොමලන
පුංචි තනි තරුවක් දිටිමි
එක රෑක පුරහද නැතිවුණ
අමාවක උව සිනාසෙන
තරු පොකුරු මට ඵල නැත කිසිත්
අහස් ගැබ කිසි කෙනෙක් නොදකින
පුංචි තරුවකි මහ මෙරක්
දිනක අහසම එළිය කරවන
මහා තරුවක් වන තුරුත්
පුංචි තරුවම ලුහු බදිම්
පුර සඳම පාමුල වැතිරුණත්
• පියුමි මදුභාෂිණි
කඳුළෙන් උපන් ගැහැනිය
මරා දමන මිනිසත්කම දැක දැක ම
සරාගික ම මරු අබියස කෙළින් සිට
දරා නිබඳ දුක් දොම්නස් සැඬ පහර
පෙරා ගත්තෙ කෝ මැයි ඔය ඉවසීම..
පිදුරු වෙවී ගිය ගැමිකම දැන හැඳින
මිතුරු කළා සිනමාවට පියාපත
ඉතුැරු කළා ලේ නෑකම් කලාවට
අතුරු කතා තව මොටදෑ ස්වර්ණාට..
සිතේ තිබුණු දුක අඹරා සයිමන් ද
වතේ ඇඳුණු දම්සිරිගේ සිතුවම් ද
අතේ තිබී දුන් ගානයි රඟපෑම
පතේ බෙදා ගත් බත දුන්නේ දුකට...
කින්නරාව කිඳුරා නැති පැල්පතක
බින්න බහින්නට දුන්නේ නෑ යකුට
කන්න නැතත් ගේ හරියක වේලකට
දන්න දේ තමයි දහදිය වැපිරීම...
අගල්වලට නොවැටී යන බව සසර
දවල් රෑත් ගෙයි ඇතුළත එළිය කළ
දවුල් ගසා පවසන්න ද නෙක වරුණ
විසල් කරළියෙහි නම තැබු විට මුලට
• ආරියපාල රත්නායක
අහසත් හැඬුවා
සීතලට ගුලි ගැහුණු
අඳුරු සෙවණැලි එක්ක
තෙතම තෙත පිණි කඳුළ
ගලන ඒ මඟ තොටක
සුපුරුදුම උණුසුමක්
ළෙන්ගතුම සෙනෙහසක
මඟ හැරුණ එක දිනෙක
පා වුණා සුසුම් පොද
මලානික සිතක් තුළ
දියාරුම හීනයක
නිදන් ගත නිධානය
මිය ගියා නොසිතුයුර
ලැබුණු අත් තටු එක්ක
පියඹලා දුර ඈත
නිමක් නැති අනන්තෙක
සැඟවිලා තිතක් ලෙස
සැඟව ගිය ප්‍රේමයක
මලගමේ මතක බණ
කියා නිමවන විටෙක
හඬා වැටුණා අහස
• තුෂාරි ජයසිංහ
උපැස් යුවළ
ඔබ පැළැන්දූ
අපූරු උපැස් යුවළ
ගලවා තබමි පසෙකa
බලමි දෑසින්
මෙතෙක් නුදුටු දෑ දෙස
• සංජය ප්‍රියදර්ශන
අප බාලෙ පැතු සිහින
ගැට පිච්ච මල් පොකුරු දිග කොණ්ඩෙ දවටා
ගඳපාන මල් කළඹ මගෙ දෑතෙ රන්දා
සේපාලික මල් ඉඟි බිඟි කරද්දි
ඔබ මාගෙමයි කිව්වා....
පැතු අයුරු දෙදෙනාම ප්‍රේමෙන් වෙළා
අවුරුද්ද අවුරුද්ද ගෙවිලා ගියා
අප අතර අඬදබර වැස්සක් ගෙනා
මගෙ මිතුරි ඔබේ හදට එබිකම් කළා...
..................................................
මට අහිමි රන් මුදුව ඇගෙ සුරතෙ පලඳා
සුදු රෝස මල් කළඹ ඇගෙ දෑතෙ රන්දා
සිහින විසිරී මගෙ හද අඬද්දි
ඔබ මගෙන් වෙන් වූවා....
අප බාලෙ පැතු සිහින පොඩිකර දමා
මගෙ ලෝකෙ සඳ ඈත නොපෙනී ගියා
හද මාගෙ තනි වේවි ජීවිතෙ සදා
හැමදාම මම ඔබට ආදරෙ නිසා
• ශ්‍යාමලී ඇල්විටිගල
අනිත්‍ය
හැරෙන හැරෙන අත නැවෙන
පොල් අතු කොයිද සම බර
වැටුන විට අත්තක් බිමට
ගොක් අතු සිනාසෙයි
රගය නොම දැන...
බැබළි බැබළි දිස්නෙ දුන්නට
ලිපට අළු වී
පොළවට පස් වන දාට
කැටයම් ගැලවී
මෝස්තර ලෙහෙන කොට
ආ මඟ දුර වෙයි
ආපසු හැරෙන්නට...
• සචී ජයතිලක
වැලන්ටයින්
තෑගි කිසිවක්ම එපා මට මේ සැරේ
හැකිනම් විතරක් කියා දියන් මට
කැඩෙන හිත් හදන මන්තරේ
ආලවන්තකම් කොහෙත්ම නෑ
දැන්නම් නුඹ කෙරේ
වාසගම තිබුණොත් ඇති මට
කට වහන්න මගෙ සනුහරේ
• ඒ.ඒ. බදුර්නිශා
පහම සීයයි
තවමත් අක්කණ්ඩි
මං උඹේ පාරෙම
යනවා ඔරු කඳට
සීපද කිය කිය ඒ
සුදු නෙලුම් අරගෙන
තාමත් වැවේ නෙලුම්
පිපිනෙවා නෑ ලස්සන
හබල් පාරට මාළුවෝ
නුඹෙ රුව මවනවා
අඳුරෙම
කීයක් වටිද? මගේ හදවත
අක්කණ්ඩි උඹ හින්දා
විකුනුණා සීයට
අතේ තිබ්බ මල් මිට
උඹට මතකද? අපේ නංගිව
අකුරු හොයනවා දැන් තනියම
සුදු ගවුම මං ඈට තෑගි කෙරුවා
අප්පච්චි මැරුණු දවසෙම
ගන්නකො "මේ පහම සීයයි"
ඔන්න එතකොට රව රව
"උඹත් ගිලෙන්නද? හදන්නේ"
අහනවා මගෙන් සොරබොර වැව
• නදූෂ මදුරංග
නන්දාටත් වඩා....
නන්දාටත් වඩා බරපතළව
අල්මාරියට ලියුම් විසි කළ
ටැල්කම් පුයර ඉස ඉස ඒවාට
නිරතුරු සුවඳ පැතිරුව
කෙසඟ අතක රැදි වළල්ලක් මෙන්
සියලු රහස් දනිමි මම...
ඔබ ඉකිබිඳින වේලාව
ඔබ දුම්බොන වේලාව
මාව මඟ හරින හෝරාව
පරණ කඳුළු වේළන්නට
කණ්ණාඩිය පිසින ඡායාව
සියලු දේ මායාකර්මයක් සේ
පෙනෙනවා මට....
අල්මාරියේ ලූ
පසුව පුලුස්සා
අමතක කර දැමූවා යැයි සිතූ
නන්දා ලැබූ ලිපිය වාගේ
හැමදේම පවතින්නේ
නොපිටට ම නේද?....
මම; අර රන් වළල්ල
කෙසඟ අත; ඒ මගේ අත
ඔබ
කියවා; නොකියවූවා සේ හැසිරෙන ලියුම.
ආහ්!!! ඒ පියල්ගේ අත් අකුරු.....
• කාංචනා අමිලානි
ඔබේ කවි නිර්මාණ
පහත ලිපිනයට එවන්න
කවි සිළුමිණ,
ලේක්හවුස්, කොළඹ 10.
විද්‍යුත් තැපෑල - [email protected]