පාඨක විනිශ්චය යනු අවසාන නිගමනය ද? | සිළුමිණ

පාඨක විනිශ්චය යනු අවසාන නිගමනය ද?

 

කෘතිය: පුත්තා වස්තු

කර්තෘ: යසවර්ධන රුද්රිගු

ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම

විමසීම්: 077 311 2623

 

“දරුවෝ මිනිසුන්ට පිහිට වෙත්.

බිරිය උතුම් යහළුවා ය.

පොළොවේ යම් ප්‍රාණියෙක් ජීවත් වෙත් ද,

ඒ සත්වයෝ

ජලය ඇසුරු එකට ජීවත් වෙත්.”

(සංයුක්ත නිකායෙ වත්ථු සුත්‍රය)

 

මිනිස් වර්ගයා ශිෂ්ටාචාරයට පිවිසෙන්නේ ම මිනිස් බලය මුල් කරගනිමිනි. එතැන දී ශක්ති වන්තයා ජය ගැනීම මුල් තැනට එන අතර දුර්වලයාගේ අසරණ වීම නියතියක් ලෙසින් ම පැවතුණි. සත්ව ලොව දී අදටත් සිදු වන්නේ දුර්වලයා මිය යෑම ය.

ප්‍රබලයාගේ පැවැත්ම පවතින්නේ එවැනි පසුබිමක ය. කෙසේ වෙතත් ක්‍රමයෙන් බුද්ධිමය වශයෙන් ඉදිරියට එමින් ඒ තුළින් උපදවා ගන්නා මානව සංවේදිතාව හමුවේ තමන් අසල සිටින දුර්වලයා කෙරෙහි අනුකම්පාව වඩන හා රැකවරණය ලබා දෙන තැනකට මිනිසා පත් වෙයි.

ශාරිරික අංග විකලතාව යනු විශේෂ අවස්ථා අවශ්‍ය වන තත්වයක් ලෙසින් දියුණු ලෝකය අවබෝධ කරගන්නේ ඔවුන්ගේ මානව සංවර්ධනීය ආකල්පවල ප්‍රතිඵලයක් වශයෙනි.

අනිත් අතට කුඩා කල සිට ම ඔවුන්ගේ දරුවෝ අනුකම්පාව ලැබීමට නොව ධෛර්යෙන් ජීවත් වීමට උගැන්ම ලබන්නෝ වෙති. එතැන දී අනවශ්‍ය සංවේදිතාවන් ඉවත දමයි. ඒ වෙනුවෙන් සංවර්ධිත ක්‍රමෝපායන් ඔවූහු නිර්මාණය කරගෙන සිටිති.

යසවර්ධන රුද්රිගු “පුත්තා වස්තු” ලියන්නේ එවැනි විශේෂ අවස්ථා අවශ්‍ය කරන දරුවෙකු පසුබිම් කරගෙන ය. ඒ පිළිබඳව ඔහුගේ අදහස් දැක්වීම මෙසේ ය.

“දරුවන් දෙමාපියන්ට සම්පතක් වන බවට මතයක් පවතී. එහෙත් සෑම විට ම ඔවුන් සම්පතක් වේද යන්න විවාදාත්මක ය. තමා හැදූ වැඩු දරුවන් තමන්ට ම විපතක් වන විට දෙමාපියන් ගත යුතු පියවර කුමක් ද? උණු හින්දා බොන්නත් බැහැ. කිරි හින්දා අහක දමන්නත් බැහැ.යැයි ගැමි වහරක් ඇත.”

ඉහත පෙන්වා දීම තුළ ඉතා පැහැදිලිව මත කතුවරයා තමන් සිටින්නා වු ආස්ථානය පිළිබඳව ඉගියක් සපය යි. පැරණි ගැමි ඉගැන්වීම් ම මතු කරමින් ඔහු ඒ තත්වය විස්තර කරයි. අනවශ්‍ය උණුසුම් බව නිවා කිරි සකස් කොට ගැනීමේ නව සංවර්ධනීය ක්‍රමෝපායන් වෙනුවෙන් සාම්ප්‍රදායික ආසියානු සමාජය සූදානම් නැති බව හා සූදානමක් නැති ආකාරය ඉන් ගම්‍ය වන්නේ දැයි විමසා බැලීම වටී.

“මෙහි කතා නායකයා වන මාතුපාල තුළ දරු කැක්කුම නොතිබුණා නොවේ. ඔහුගේ ක්‍රියා කලාපය අනුමත කරන්නට හෝ නොකරන්නට ඔබට අයිතියක් ඇත. මාතුපාල විවාහ ජීවිතයේ එක තැනක් වරද්දා ගත්තා ද? ඔහු ඒ තත්වයට පත් වුයේ මොන බලවේග නිසා ද? කුමන ආකාරයකින් හෝ උපන් දරුවකු පිළිබඳ දෙමාපියන් කවර වගකීමක් දැරිය යුතු ද යන්න සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණක් බව පෙනෙන්නට තිබේ.”

ඉහත ප්‍රකාශයට අනුව කතුවරයා තමන් තෝරාගත් ප්‍රස්තුථය පිළිබඳව යම් විමසීමක යෙදෙන්නට ගන්නා උත්සාහයක් ද දැකිය හැක. කෙසේ වුවත් අවසාන වශයෙන් කෘතියේ විනිශ්චය සම්බන්ධ වගකීම පාඨකයාට ම පවරන පොදුවේ බොහෝ නවකතාකරුවන් විසින් සිදු කරනු ලබන කටයුත්තට ම ඔහු ද යොමු වී තිබේ.

මෙතන දී කතාකරුවාගේ වගකීම විනිශ්චයක් ඉදිරිපත් කිරීම නොව කතාව ඉදිරිපත් කිරීමය යන මහලු සාහිත්‍ය න්‍යාය මතක්වන බව ද කිව යුතු ය. ඉදින් එය එසේ වී නම් ලොව බොහෝ විශිෂ්ට නවකතා මෙන් ම කෙටි කතා අහක දැමීමට සිදු නොවන්නේ ද? ඒ මහලු මතවාද හමුවේ ඇත්තට ම ගිලිහී ගියේ ලේඛකයාගේ දෘෂ්ඨිමය වටිනාකම යි.

අවසානයේ දී එය අප රටට අදාළව ගත් කළ වල්මත් වී හසරක් නොදුටිමි තත්වයෙන් ම ඉතිරි විය. විනිශ්චය තමන් බාර නොගත් අපුරු ස්වභාවවාදී ශෛලියකින් සිය කතා කලාව මෙහෙය වු චෙකොෆ්ගේ “මනමාලි” (සිංහල පරිවර්තනය -පද්මහර්ෂ කුරණගේ) වැනි කෙටි කතාවක් කියවා අවසන් කරන පාඨකයා මෙතෙක් තමන් නොවිඳි අත්දැකීමක් විඳින තරමට ම නව දැක්මකින් යුත් සුදානමකින් සන්නද්ධ වීමක් ද ඇති කර ගනි යි. පසුගාමි රුසියානු සමාජයේ වැඩවසම්වාදය ප්‍රතික්ෂේප කොට නව ආලෝකවත් සමාජයක් වෙනුවෙන් යොමු වෙනවා හැර වෙනත් විකල්පයක් නැතැයි යන තැන ට චෙකොෆ් සිය පාඨකයා ව ගෙන එයි. ඒ වෙනුවෙන් ම නිර්මාණය කළ චරිතයක් බවට “නාද්යා” පත් වේ.

යසවර්ධන රුද්රිගු නිර්මාණය කරන මාතුපාලගේ අසරණ වීම පසුගාමි මෙරට සමාජ දේශපාලනය තුළ කිනම් විනිශ්චයක් පාඨකයාට ලබා දෙනු ඇද්ද? එය කුමන විනිශ්චයක් වුණත් පාඨකයා තමන් විෂයයෙහි ම ඇති කරගන්නා (තම තම නැණ පමණින්) විනිශ්චයක් වන බවට සැක නැත.

ඉදින් එය මාතුපාලට එරෙහි වුණත් පක්ෂ වුණත් පොදුවේ ගත් කල සමාජීය වශයෙන් ලැබිය හැකි ආකල්පමය ප්‍රතිලාබය කුමක් ද? හුදු සංවේදිකම මත පිහිටා කතාවක් ඉදිරිපත් කිරීම තුළ පොදුවේ අප ලබන ජයග්‍රහනය කුමක් ද? “අනේ මෙවැන්නක් තවත් කෙනෙකුට නොවේවා” යන හිස් ප්‍රාර්ථනාව පමණක් ද? සාහිත්‍යකරුවෙකුගේ කාර්යභාරය යන්නෙහි සැබෑ අරුත වන්නේ මෙවැනි හිස් ප්‍රාර්ථනාවක් යැයි කතුවරයා විනිශ්චය කොට ඇති බවක් ඒ නිසා පාඨකයාට හැඟී නොයයි ද? එවැනි පසුබිමක පාඨකයා කුමක් නම් විනිශ්චය කරන්න ද?

Comments