පුතාලා | සිළුමිණ

පුතාලා

විජේපාල මුදලාලිගේ මිනිය උස්සන්න පැයකට පමණ කලින්, ඔහුගේ ලොකු පුතා සිරිනාථ ගෙට ගොඩ වූයේ, සිය සුදු ජාතික බිරිය රෝස්මරීද සමඟය. සාලය මැද්දේ තබා තිබූ පියාගේ නිසල දේහය ඉදිරියේ, දෑත් එක්කොට වැඳගෙන මඳ වේලාවක් බලා සිටි ඔහු, මිනියට ආචාර, කරන්නැයි තුෂ්ණීම්භූතව සිටි රෝස්මරීටද ඉඟි කළේය. රෝස්මරී තම පපුවට අත තියා, කුරුසය ඇඳ, හිස පහත් කළාය. අනතුරුව, සිරිනාත ආසන්නයේ පුටුවකට බරදී, කඳුළු සලමින් සිටි, සිය මෑණියන් වන, සිරියලතාගේ හිස අත ගෑවේය.

"මක්කරන්නද අම්මේ.. ජීවිතේ හැටි ඔහොම තමා.. මරණය වළක්වන්න අපි කාටවත් බෑ .. ඒක අපි අමුතුවෙන් අම්මට කියල දෙන්න ඕන නැහැනේ.. අප්පච්චි තමුන් ගෙනා පූර්ණ ආයුෂ වින්දා.. හැම යුතුකමක්ම ඉෂ්ට කළා.. පළාතෙ හොඳ නමක් තියාගෙන ජීවත් වුණා.. ඊට වැඩිය මක්කද.."

සිරියලතා ඉකිගැසුවා මිස කිසිවක් දෙඩුවේ නැත.

මිනියට අන්දවා තිබූ, ළා පැහැති ටුවිට් රෙද්දත්, ඊටම කැපෙන කර වැසූ කෝට් එකත්, මනාව පීරා සකස් කර තිබූ උඩු රැවුලත් නිසා, විජේපාල මුදලාලිගේ මිනිය, දකින්නට ප්‍රිය මනාපව තිබිණ. පෙට්ටියද මිල අධික එකක් විය. මිනිය වටා තබන ලද මල් වඩම් නිසා වට පිටාව ශෝකී ස්වභාවයක් ඉසිලීය.

“වටිනා විල්ලුද කාපට් වලට... මැහෝගනි ලීයෙන් හදාපු පෙට්ටියට.. අලුත් මල් වලින් හදාපු මල් වඩම් වලට ලොකු වියදමක් කරන්න වේවි... මේවයින් සීයට දෙසීයක් ලාබ ගන්නෙ මල් ශාලාවෙ අයිතිකාරයො... අවමංගල කටයුතු කරන සමහර මල් ශාලා... මිනිස්සු හූරගෙන කනවා.. හැමෝම නෙවෙයි සමහර උදවිය...”

සිරියලතාගේ නුරුස්නා බැල්මට කලබලවූ සිරිනාත, කතාව වෙනත් මඟකට යොමු කළේය.

" මුදල් ප්‍රශ්න ඉහටත් උඩින් තිබුණ නිසා... අපට වෙලාවට ටිකට් බුක් කරගන්න බැරිවුණා... අලි මදිවට හරක් කියන්නැහේ... ප්ලේන් එකත් පැය දහ අටක් විතර පරක්කු වුණා... එයාපෝර්ට් එකේ එහාට මෙහාට ඇවිදලාම කකුල් කඩුත්තුවයි... වැඩිපුර සල්ලි ටිකක් අතේ තිබුණනං... මට අප්පච්චි පණ පිටින්ම බලා ගන්න තිබුණ.. "

සිරිනාත තම ප්‍රමාදයට හේතු කියා පෑවේය.

සිරියලතා, අත එහා මෙහා වනමින්, මිනිය මත වහන්නට ආ මැස්සෙක් එළවා දමන්නට තැත් කළාය.

“ෆෑන් එකක් දැම්මනං ..මැස්සෝ එන්නෙ නෑ ..”

“ෆෑන් එකට මිනිය කළු වෙනව කියන්නෙ ..”

සිරියලතා උත්තර බැන්දේ සිරිනාතටය.

“ අනේ මැරුණට පස්සේ ..කළු වුණත් සුදු වුණත් මොකටද ..?”

සිරිලතාගේ නිශ්ශබ්ද තාවය නිසාම, සිරිනාත කතාව, වෙනස් මඟකට යොමු කළේය.

"මේ ගෑනිත් කරේ එල්ලුනා.. ඒකිටත් ලංකාවට එන්න ඕනමයි කියල.. මට බැහැයි කියන්න බැරිවුණේ.. වියදම් කරන හැම සතයක්ම ඒකිගෙ නිසා.."

රොස්මරී කට ඇරගෙන, සිරිනාත දෙසත්, සිරියලතා දෙසත්, මාරුවෙන් මාරුවට බැලුවද, ඔවුන් කතා කරන කිසිම දෙයක් ඇයට තේරුම් ගත නොහැකි විය. මියුලා රෝස්මරී සමඟ සුහදව සිනාසුනද, කතාවට නොගියේ භාෂා ප්‍රශ්නය හරස්වූ නිසාය. කෑම කන්නැයි මියුලා තම දකුණත මුවට ළං කර ගොළු භාෂාවෙන් කී විට, එය තේරුම් ගත් රෝස්මරී, සිනාසී හිස වනා, තම කෘතඥතාවය පළ කරන්නට තරම් කාරුණික වූවාය. ගමේ කෑම නුහුරු රෝස්මරීට, එළවළු ටිකක්, බිත්තරයක් තම්බා දෙන්නට, බටර් ගෑ පාන් පෙති දෙකක් දෙන්නට, මියුලා අමතක කළේ නැත. මියුලා රෝස්මරී වෙනුවෙන් තැඹිලි වල්ලක්ද, කප්පවා තැබුවාය. " මකුළු දැල් කඩල... අලුතෙන් ඇඳ රෙදි දමල.. ලොකු අයියගෙ කාමරේ අස්පස් කරලයි තියෙන්නේ.. එළියෙ කුස්සි කාමරේ කෑම මේසෙත් ලෑස්තියි. තව පැයකින් හාමුදුරුවෝ වඩිනවා පාංශූකූලෙට. ඊට කලින් කාල බීල හිටියොත් හොඳයි "

මියුලා ඈත සිට උස් හඬින් කීවාය.

සිරිනාත නෑසුනා සේ සිටියද, රෝස්මරී විමසිල්ලෙන් අවට විපරම් කළාය.

"වටේ පිටේ ඉන්න ඔක්කෝටම කෑම කන්න කියාපන් දරුවෝ. යන එන කාටත් කන්න දෙන්න ඕන."

"හරි..හරි ඒ හැම දෙයක්ම සේනක බලනවා..බෙර කාරයන්ටත් ඉන්න තැන් වලටම කෑම ගිහින් දුන්නා.. තුන්වෙනි පාරට මළබෙරේ ඇහෙනකොට කවුරු කවුරුත් එකතුවේවි කැරකෝප්පුවට යන්න."

අවමංගල උත්සවයේ සියලුම කටයුතු බාර වූයේ, මියුලාගේ සැමියා වන සේනකටය. පාංශූකූලය සඳහා, හාමුදුරුවන් හය නමක් වැඩම කළහ. පැන් වඩන්නට, පැදුරේ ඉඳගත්තේ, සිරියලතාත්, මියුලාත් විජේපාල මුදලාලිගේ නැඟණිය වන කරුණාවතීත් පමණි.

“යථාවාරි වහා පුරා - පරිපුරෙන්ති සාගරං.. වැස්සෙන් වැටුණු ජලධාරාවෝ පිරී ඉතිරී ගලා ගොස්, සයුර පුරවන්නාසේ, මේ පිං මළගිය ඥාතීයාට අත්වේවා!. ”

පැන් වැඩූ භාජනය පිරී ඉතිරී ගිය පසු, හාමුදුරුවන් සෙමෙන් එළියට වැඩියේ, මිනියේ ඉතිරි කටයුතු නිදහසේ කරගැනීමට ඉඩ සලසමින්ය. පෙට්ටිය වහද්දී සිරියලතා මහා හයියෙන් හඬා වැටුණාය.

“ මේ ලෝකෙට එන කවුරුත් ආපහු යනව තමයි. ලෝකෙ හැටි එහෙම වුණත්. මම කොහොමද දෙයියනේ. හිත හදාගන්නෙ”

සිරියලතා දෑත් බැඳගෙන කෑ ගැසුවාය.

"කැරකෝප්පුවට යන උදවියට අපි බස් එකක් ලෑස්ති කරල තියෙනවා. පයින් යන්න අපහසු කෙනෙකුට බස් එකේ යන්න ඇහැකි. එනකොටත් ඒකෙම එන්න බැරිය "

සිය මව වත්තම් කරගෙන මියුලා බසයට ගොඩවෙද්දී, ගම්මු කිහිප දෙනෙක් ද, ඔවුහු අනුගමනය කළහ. සොහොන් බිමට වැඩි දුරක් නොවූවද, පයින් යන්නට නොහැකි අයට එය ලොකු සහනයක් විය.

විජේපාල මුදලාලි අවසන් ගමන් ගියේ, බෙර කරුවන් පෙරටු කරගත්, ගමේ ඉළන්දාරි ගැටවුන්ගේ කරපිටින්ය. පැය බාගයකටත් අඩු කාලයකදී ඔවුන්ට සොහොන් බිමට යන්නට හැකිවිය.මිනිය දවන සොහොනට ගින්දර දැම්මේ, හිස වටා සුදු ජටා බැඳ ගත් බෑණාවරුන් දෙදෙනෙකි. දල්වන ලද පන්දම් දෙකක් පිටුපසට කරගෙන, දරසෑය වටා රවුම් තුනක් ඇවිද ගිය ඔවුහු, සෑය දෙස නොබලාම එයට ගින්දර දැම්මේ, කාගෙත් සුසුම් මැද්දේය.

විජේපාල මුදාලාලිගේ බාල පුතා, ගුවන් තොටුපලේ සිට, කෙළි්න්ම පැමිණියේ සොහොන් පිටියටය. තම පියා දැවෙන සොහොන දෙස මඳ වේලාවක් බලා සිටි ඔහු, පුටුවකට බරවී කඳුළු සලන සිය මවගේ පිටට අත තබා කතා කළේය.

"අම්මේ මං ආවා.."

හිස ඔසවා පුතා දෙස බැලු සිරියලතා, ඉවත බලා ගත්තේ දැඩි සංවේගයෙනි.

නෑ දෑ හිතවතුන් සිරියලතා වට කරගත්තේ, සමු ගන්නටය. බොහෝ තැන් වලදී මෙන්, සොහොන් බිමකදී, ගිහින් එන්නම් කියා, කිසිවෙක් කියන්නේ නැත. සොහොන් බිමට නැවත එන්නට කිසිවෙක් කැමති නැත.

“ අපි යන්නම් කියා. සැවොම සමුගත්හ..”

"ඉතිං අපිත් යමු අම්මේ... අඬාගෙන මේ ලෝකෙට ආව වගේම.. අඬාගෙන මේ ලෝකෙන් පිටවෙනව කියල අම්මම නේද අපිටත් කියල දුන්නෙ.."

මවගේ හිස පිරිමදිමින්, මියුලාද කඳුලු පිස දා ගත්තාය. සිරියලතාගේ දෑත් සීතලව තිබිණ.

"කවුරු කවුරුත් ගෙදර ඇවිත් බත් කටක් කාලා... මුදාලාලි මහත්තයට පිං දීල යන්න කියල... පවුලේ අය වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා.."

අවමංගල උත්සවයේ සියලුම කටයුතු බාරව සිටි සේනක, පැමිණි සිටි අමුත්තන් ඇමතීය.

" කොහොමද සඳමාලි.."

සිරිනාතගේ හඬ ඇහුනද, ඊට කන් නුදුන් සඳමාලි, සිරියලතා ළඟට ගියාය.

සඳමාලි පෙරටත් වඩා රූමත් වී ඇතැයි සිරිනාතට සිතිණ. නිල්පැහැති ඇස්, වාත්තු කළා වැනි නැහැය කට, ඔහු බොහෝ වේලා ඈ දෙස බලා සිටියද, ඇය නිකමට හෝ ඔහු දෙස හැරී බැලුවේ නැත.

"අපි මළ බතට එන්නෙ නෑ නැන්දේ..අමනාප වෙන්න එපා. පිටරට ඉඳන් ආපු. ලොකු මහත්තුරු ආපහු ගියාම .. අපි එන්නම්කො නැන්දා බලන්න.."

" මට තේරෙනව දුවේ..මට තේරෙනව.."

සිරියලතා සඳමාලිගේ දෑත් අතගාමින් කීවාය.

විජේපාල මුදලාලිගේ නැඟණියගේ දියණිය වූ සඳමාලි, සිරිනාත හා කුලුපගව සිටියේ වැලිකෙළියේ පටන් මය. සිරිනාත එංගලන්තයේදී සුදු ගැහැනියක් විවාහ කරගත් බව දැනගන්නට ලැබුණ මොහොතේ හඬා දොඩා කම්පා වුවද, පසුව ඇය හිත හදා ගත්තාය.

නෑ, දෑ, හිතවතුන් කීප දෙනෙක් සමඟ, ගෙට ගොඩවූ මියුලා, සිරියලතා පුටුවක වාඩි කරවූවාය.

"අම්ම මූණ කට හෝදල.. සැහැල්ලු ඇඳුමක් ඇඳගන්න.."

මියුලා දිග ගවුමකුත්, තුවායත්, මව අත තැබුවාය.

"මම කෑම මේසෙ අඩුපාඩු බලලා එන්නං.."

වට්ටක්කා කළුපොලත්, කරවල හොද්දත්, තක්කාලි සම්බෝලයත්, උණු උණු...සුදු කැකුළු බතත්, මේසය මත විය. පිඟන් තට්ටුවත්, හැඳිත්, වතුර වීදුරු කිහිපයත්, ළඟම වූ තවත් මේසයක විය. හැඳි අග්ගිස්සෙන් අල්ලට දමා එළවළු වල ලුණු ඇඹුල් බැලූ මියුලා, කුස්සියේ දොරකඩ, කැම බාරව සිටි සිමෝනා දෙස බලා රසයි කීවාය.

“මළබතට කොතැනත් හදන්නෙ වට්ටක්කයි කරවලයි.. අඬල වැලපිල නොකා නොබී ඉන්න කාටත්.. වට්ටක්කා පපුවට ගුණයි.. කන්නෙ බොන්නෙ නැතුව හාමත්වෙලා ඉන්න අයගෙ දිවට රසයි කරවල.. ඒකයි මළබතට මේ දෙවර්ගයම හදන්නේ.. ”

“ ඇත්ත නේද මියුලා නෝනා.. ”

“ ඇත්ත නේන්නං ..සිමෝනා ..”

සිරියලතාගේ පිඟානට බත් හැන්දක් බෙදූ මියුලා, කරවල කෑල්ලකුත්, වට්ටක්කා හොදි ටිකකුත්, ඊට එක්කළාය.

" ඉතින් කන්න අම්මේ.."

පිඟාන දෙස බලා සිටි සිරියලතා, දිග සුසුමක් හෙළුවාය.

"අප්පච්චිට නොදී මම ..කවදාවත් කෑම කාල නෑ.. අනේ දුවේ .. මීට වැඩිය හොඳයි මට කහට උගුරක් තිබුණනං.."

"බත් කටක් දෙකක් කන්නකෝ.. මම තේ එකක් හදා ගෙන එන්නම් .."

මළ බත කෑ, නෑ දෑ හිතවතුන් පිටව යන්නට පෙර, මියුලාටත්, සේනකටත්, තුති පුදන්නට අමතක කළේ නැත.

“දුවේ අයියල දෙන්නත් හෙට අනිද්දා යන එකේ .. උඹේ ඇස් බැල්ම තමයි.. තනිවෙච්ච සිරියලතාට තියෙන්නෙ ..” “අනේ ඔව් ඇලන් නැන්දේ...මටත් දැන් කොයිදේටත් ඉන්නෙ.. අම්ම විතරයි.. සේනක ඇරුණම..”

මියුලා සමුගන්නා හැමටම පිං දුන්නාය.

ගමේ හිතවත් පිරිමි කිහිප දෙනෙක්, ඉස්තෝප්පුවේ බිම දිගාවී සිටියහ.

"හත් දා බණ..අහවර වෙනකං.. තනි නොතනියට අපි මෙහේ ඉන්නම්.."

ඔවුන් කීවේ සේනකටය.

"අනේ කොච්චර එකක්ද..එළියෙ කුස්සියෙ.. අඩුවැඩිය තියෙනවා.. ඕන වෙලාවක තේ හදාගෙන බොන්න ඇහැකි.."

සේනක හිතවත් ගම්මුන්ට කීවේය.

සිමෙන්ති පොළොවේ සීතලේ, රැය ගතකිරීම, ඔවුනට අපහසු නොවේදැයි කල්පනා කළ සේනක, නිදා ගන්නට පැදුරු කිහිපයකුත්, කැමතිනම් සෙල්ලම් කරන්නට කාඩ් කූට්ටමකුත්, දාම් ලෑල්ලකුත් ගෙනැත් දුන්නේ සිනාසෙමිනි.

"මම අපේ ගෙදර යනවා.. ඇබිත්තක් ඇහැ පියාගන්න.. දැන්නම් පාන් කියාගන්නත් බැහැ.. ඒ තරමටම තෙහෙට්ටුයි.. කී දවසක් නං නිදිමැරුවද.. අම්මගෙ තනි නොතනියට.. මියුලා අම්ම ළඟ උන්නාවේ..මම හෙට උදෙන්ම එන්නම් .."

මියුලා විසින් තමන් වෙනුවෙන්ම පිළියෙල කර දුන්, තම්බන ලද එළවළු, රාත්‍රී ආහාරය පිණිස ගත් රෝස්මරී, තම අත් බෑගයේ වූ ඡායාරූප කිහිපයක් මියුලාට පෙන්වූවාය. “දිස් ඉස් මයි එක්ස් හස්බන්ඩ් ..ඇන්ඩ් දිස් ඉස් මයි වන් ඇන්ඩ් ඔන්ලි චයිල්ඩ් ..”

රෝස්මරී කී කිසිවක් නොතේරුණද, ඒ පින්තූරයෙ සිටියේ ඇගේ කලින් සැමියා සහ පුතණුවන් විය හැකියයි මියුලා සිතුවාය.

“..රෝස්මරී ..වෙයර් ආර් යූ ..”

ඈත සිටම සිරිනාත ගොරවන හඬ ඇසූ රෝස්මරී, කලබලයේම අත තිබූ පින්තූර බෑගයට ඔබන්නට සැරසුනාය.

“වට් ආර් දෝස් ෆොටෝස් ..ටේක් ඕල් යුවර් තින්ග්ස් ..ගෝ ටු යුවර් රූම් ..”

රෝස්මරී බිම බලාගෙනම කාමරයට ගියාය.

“නල්ලමලේ මිනිහ ..ප්‍රදර්ශනය කරන්න ..අපේ උනුත් කට බලියගෙන ඉන්නවා .. ඕප දූප හොයන්න.. “

මියුලා නිශ්ශබ්දව සිටියා මිස කිසිවක් කතාකළේ නැත.

“රෝස්මරීගෙ සල්ලි වලින් උපරිම ප්‍රයෝජන අරගෙන, ලොකු අයිය එයාට සලකන විදියනම්..අන්තිමයි අම්මේ .. කළගුණ නොදන්න නූගත් මිනිහෙක් වගේ ලොකු අයිය හැසිරෙන්නේ .. මම නං ..ඕවට කට දාන්න යන්නෙ නෑ ..අම්මවත් ටිකක් සැරෙන් කතා කරල..හොඳ නරක කියල දෙන්න මේ ගැන ..”

සාලයේ පුටුවක නිදි කිරමින් සිටි අම්මාට, මියුලා කීවාය.

රෝස්මරීගේ කරපිටින් ගොස්, ඒරටේ වීසා හදාගෙන රැකියාවක් ලබා ගත් පසු, ඇය එළවා දමා, පුංචි සන්දියේ සිට පෙම් කළ සඳමාලි, එම රටට ගෙන යන්නට සිත තුළවූ ආශාව ඉටුකර ගත හැකියයි සිතූ සිරිනාත, ඒ බව සිය මවටද කියන්නට සිතා ගත්තේය.

“මේ වැඩ කටයුතු ඉවර කර ගත්තට පස්සේ.. මම මේකි කුණු මාළු කෑල්ලක් වගේ වීසි කරල දානවා .. ඊට පස්සේ සඳමාලි ඒ රටට එක්ක යනවා..”

“ මෝඩ තකතිරු ගොන් කතා කියන්න එපා .. කරන්න ඇහැක් දෙයක් ගැන කතාකරපන් .. මේ ආත්මේ නං උඹට.. සඳමාලි ලැබෙන්නෙ නැහැ.. ඒක සහතිකයි..”

සිරියලතා, සිරිනාතට බැණ වැදුණාය.

සිරිනාත කුඩා කාලයේ ඉගෙනුම ලැබූ පාසලේ ලොකු ඉස්කෝලෙ මහත්තයා මළ ගෙදරට එනවිට රෑ බෝ වී තිබිණ.

“ සමාවෙන්න හාමිනේ.. මම ගමේ හිටියෙ නෑ..මේ දැන් තමා ගෙදර ආවේ .. මුදලාලි මහත්තයගෙ මළ ගම ආරංචි වුණ හැටියෙමයි මේ ආවෙ ..”

සිරියලතා මඳ සිනහවකින් ඔහුට සංංග්‍රහ කළා මිස, වැඩි යමක් කතා කරන්නට ගියේ නැත. මියුලා ගෙනැවිත් දුන් තේ කෝප්පයකින් සප්පායම් වූ ඔහු, දෙවෙනුව කතා කළේ සිරිනාතටය.

“කොහොමද ඉළන්දාරියා ..දැන් පදිංචිය එංගලන්තෙලු නේද?. හිරු නොබසින අධිරාජ්ජයේ..? ..ඒ පළාතෙන්ම පෙළවාසියක් කරගත්තයි කියලත් ආරංචියි .. හොඳා ..හොඳා .. දැන් ඉතින් ලොකු මහත් වෙච්ච මිනිස්සු නෙව.. සන්තෝසය තමා ජීවිත වලට ඕන කරන්නෙ .. ජාති භේද ..වර්ණ භේද.. කුළ භේද.. මොකටද .. සතුට තියේ නං ..ඒ ඇති ..”

“අනේ ලොකු මහත්තය.. ගියාට ඔහෙ ඉන්නවා මිසක් .. කැමැත්තකින් එහෙම නෙවෙයි ..”

සිරිනාත උදාසීනව පිළිතුරු දුන්නේය.

“ඒ මොකද හත්දෙයියනේ.. එංගලන්තෙ කියන්නෙ හොඳ දියුණු රටක් නෙව .. ඉංගිරිසි කාරයා අපේ රටට වින කෙරුවා වගේම .. ලොකු සේවයකුත් කෙරුවා .. අපේ සිංහල රජ්ජුරුවො පන්නල .. රටේ බලය අල්ල ගත්තත් .. උන් පාරවල් හැදෙව්ව. පාලං හැදෙව්ව. මුඩු බිම් වල තේ වැව්වා. ඒකම කොච්චර වටිනවද ..අදටත් අපට විදේශ ආදායම ලැබෙනව තේ වලින්.. ඒ වගේම තමයි අපට රට එළවළු ලැබුණෙත් සුද්දන්ගෙන් තමයි..”

“මට මතක්වෙන්නෙ .. ඒ කාලේ ඉස්කෝලෙ මහත්තය අපට පාඩම් කියල දීපු හැටි ..”

සිරිනාත යට ගියාව සිහිකළේය.

“ඉංගිරිසි කාරයෝ අපට ඕන තරන් වැරදි කෙරුවා. ඒ වගේම හොඳත් කෙරුවා. ඒ වැරදි අමතක කරල. හොඳ ටික විතරක් මතක තියාගැනීම තමයි අපේ යුතුකම .. කාගෙ වුණත් වැරදි මතක තියාගෙන ඉඳල අපට වැඩක් ඇතෙයි ..” නින්දට පෙර සිරිනාතත්, රවිනාතත්, සිය මව හා කතා කරන්නට මඟ පාදා ගත්හ.

"අනිද්දා උදේ අපි යනවා අම්මේ.. හත් දවස වෙනතුරු අපිට ඉන්න බෑ.. එහෙම වුණොත් අපට අපේ රස්සාවල් නැතිවෙන්නත් ඉඩ තියෙනව.. අපට එහේ කිසිම නිදහසක් නැහැ..ජීවත්වෙන්නෙ පරෙයි කූඩු වගේ .. පුංචි ඉඩක.. මම මේ ගෑනි කරගහ ගත්තෙත් .. ඒ රටේ වීසා ගන්න ඕන නිසා.. ගෑනිට සල්ලි තියෙනවා.. කලින් මිනිහ මැරෙද්දී .. ඒකා මේකිට මුළු සේසතම පවරලා.. ඒ සල්ලි වලින් තමයි අපි ටිකට් ගත්තෙත්.. ඒ වාසි බලාගෙන මිසක්.. නැත්නං මේ කුණු ගොඩට.. මම කරගහන්නෙ නැහෑ.. කීයටවත් .."

සිරියලතා විමතියෙන් සිරිනාතගේ මුහුණ බලා සිටියාය.

" සත්තයි අම්මෙ.. අපි එහේ ජීවත්වෙන්නෙ.. හිඟන්නො වගේ.."

ලොකු විභාග පාස් කළ දරුවන්ට වෙවන් විපතක් සිදුවේයැයි සිහිනෙන්වත් නොසිතූ, සිරියලතා ඉකිබින්දාය.

"ඉතිං මම මක්කරන්න ද දරුවෝ .. උඹලයි කැමත්තට නෙව ඔය ගමන ගියේ.. අප්පච්චියි මායි කොච්චර විරුද්ධ වුණත්.. උඹල ඇහුන්කං දුන්නයි.. උඹ සුද්දියක් සහේට ගත්ත කියල දැනගත්ත දවසෙ තමයි.. ගහක් ගලක් වගේ හිටිය අප්පච්චි ඇඳට වැටුණේ.. පොඩි එකත්, උඹේ අඩිපාරෙම යයි කියල අප්පච්චි හිටියෙ බොහොම දුකෙන් .. රට සල්ලියි; රට ගෑනුයි ඉන්න උඹලට, ගමේ ඉඩ කඩම් වලින් තියෙන පලේ මොකක්ද?. උඹලට නොකිව්වට.. උඩහ පොල්වත්ත විකුණල ගත්ත සල්ලි තමයි.. පහු ගිය අවුරුද්දේ අප්පච්චිගෙ අසනීපෙට වියදම් කෙරුවෙ..”

දරු සෙනෙහසත් ස්වාමි භක්තියත්, සිරියලතාගේ හදවත කම්පනයට පත් කළද, ඇය හඬමින්ම නැවතිල්ලේ දිගටම කතා කළාය.

“දොස්තර මහත්තයට වියදම් කරල බැරි තැන තමයි .. සිංහල බෙහෙත් කරන්න පටන් ගත්තෙ .. වෙද රාලහාමිත් නොසෑහෙන්න බෙහෙත් කෙරුවා .. ඒ වෙන කොටත් .. අප්පච්චිගෙ කකුල් දෙක පණ නෑ ..ඇඳෙන් නැගිටින්න තියා හෙල්ලෙන්නවත් බෑ .. ඔක්කොම ආව තේව කම් කෙරුවේ උඩහ ගෙදර සියාතු.. කුඹුරු කෑලි ටික අඳේට දුන්නා.. බලා කියා ගන්න කෙනෙක් නැති නිසා.. කජු වගේම අඹ වතුවලත් ආදායමක් අපට නෑ.. ඒව හොරු කඩාගන්නවා.. අන්තිමට ඉතුරුවුණේ මේ ගේයි ඉඩමයි විතරයි.. "

රවිනාතත්, සිරිනාතත් මුහුණෙන් මුහුණ බලා ගත්හ.

"අපි දෙන්නත් ලංකාවෙ පදිංචියට එන්න, අදහසක් නැති එකේ, මේ ගෙවල් දොරවල් වලට, මක් කරන්නද අම්ම හිතා ගෙන ඉන්නෙ.

"මක්කරන්න හිතාගෙන සිටියත්, උඹලට වැඩක් නෑ.. අප්පච්චි මායි; උඹල දෙන්න ලොකු කොලීජි වලට දමල ඉගැන්නුවා නොසෑහෙන්න සල්ලි වියදම් කරලා. විශ්ව විද්‍යාලයෙන් පිටවුණ දවසේ.. ඒ සන්තෝසෙට.. පොල්වතු දෙකක් දෙන්නගෙ නමට පවරල දුන්නා.. තමුන්ගෙ රටේ ඕනතරම් රස්සාවල් තිබුණත්.. පිටරට රස්සාවල් වලට කෑදර වෙලා.. තමන්ට ලැබුණු පොල් වතු දෙකත් හොරෙන්ම විකුණගෙන රට පැන්නා .. ඔක්කොම සුන්නත්දූලි කරලා .. දැන් එනවා ඉතුරු හරියත් විනාස කරන්න.."

සිරියලතා කතා කරේ වේදනාවෙනි .

"මගේය කියල වැලිඇටයක්වත් දැන් නෑ.. අප්පච්චි මැරෙන්න සුමානෙකට විතර කලින්.. මේ ගේයි ඉඩමයි මියුලගෙ නමට පවරල දුන්නෙ.. මගෙත් අනුදැනුම ඇතුව.."

සිරිනාත කලබල විය. උන්හිටි තැන්ද අමතකව ගියාසේ ඔහු අතීතය සිහිපත් කරමින් විලාප නැගීය.

"සේනකය ලොකු කරගෙන .. කාටත් හොරෙන් ඌත් එක්ක, ගෙදරින් පැන්න දවසේ.. ඒකි ආයෙ පවුලට වැද්දගන්නෙ නෑ කියල අප්පච්චිම නේද කිව්වෙ.."

සිරිනාත වියරුවෙන් කෑ ගැසුවේය. කාමරේ සිටි රෝස්මරී එළියට දුවගෙන ආවේ සිරිනාතගේ කෑගැසීමටය.

"වට් ආයූ ඩුයින් හියර් ..ගෝ ටු රූම් ඇන් ස්ලීප්.. ගෝ ..ගෝ .."

සිරිනාත රෝස්මරීටද සැර දැම්මේය. ඇය බිම බලා ගෙනම, කාමරයට රිංගුවාය. රවිනාත ද එතැනින් පිටව ගියේ කෝපයෙන් පුපුරමිනි. ඉඳගෙන සිටි පුටුව පෙරළා දමා සිරිනාත කාමරයට වැදී දඩස් ගා දොර වසා ගත්තේය. සෙමෙන් සෙමෙන් කාමරයට ගිය සිරියලතා, ඇඳේ වැතිරී ඒ මේ අත පෙරෙ­‍ෙළමින් කල්පනා කළාය.

රාත්‍රිය නිශ්චල වුවද, සිරිනාතගේත්, රවිනාතගේත් සිත් චංචලව තිබිණ.

“ මහත්තයල යන්නද? මේ මහරෑ ?..”

“ හ්ම් .. ඔව්..”

සූට්කේස් ඔසවාගෙන මිදුලට බහින සිරිනාතගෙන් හා රවිනාතගෙන් ඇසුවේ, යහළුවන් හා ඉස්තෝප්පුවේ කාඩ් සෙල්ලම් කරමින් සිටි රට උළු ගෙදර මුනිදාස ය..”

“ ඔව් .. අපි කුලීකාර් එකකට කතා කරා .. මෙලහකටත් මඟ එනවා ඇති..” රවිනාත වට පිටාව සෝදිසියෙන් බැලීය. “ දන්නවද ?.. මහ රෑ තුන් වතාවක්ම මම ඇඳෙන් බිමට වැටුණා .. එක බින්දුවක්වත් ඇහැ පියන්න ලැබුණේ නැහැ.. කාගෙදෝ හෙවණැල්ලක් ඇඳ වටේ එහාට මෙහාට යනවා වගේ දැනුන ..”

සිරිනාතගේ කට හඬ වෙව්ලමින් තිබිණ.

“ මක්කද මහත්තය මේ දොඩවන්නේ ..”

මුනිදාසගේ පැනයට, සිරිනාත මුනිවත රැකීය, ඔහු වට පිටාව බැලුවේ සැකයෙනි.

රවිනාත කළුවරේම මිදුලේ වූ රූස්ස ගස් මුඳුන් දෙස, කල්පනාවෙන් බලා සිටියේය.

“ කවදාවත් නැතුව ..අද හුළඟ සැරයි මහත්තයා.. මහ කුණාටුවක් වගේ .. ගස් වල කරටි කඩා ගෙන යන්නත් බැරි නෑ .. ලොකු අනතුරක් අත ළඟයි .. මට මහ අමුත්තක් දැනෙනවා.. ”

රවිනාත කලබලයේම, මිදුලේ නැවැත්වූ කාරයට ගොඩවිය.

“ හරිඅප් ..ලෙට්ස් ගෝ..රෝස්මරී.. හරිඅප් ..”

ඔවුන් රැගත් මෝටර් රථය, ඈත නොපෙනී යන තුරුම, මුනිදාස කුතුහලයෙන් බලා සිටියේය.

නින්දත් නොනින්දත් අතරේ, ඇඳේ එහා මෙහා පෙර­‌ෙළමින් සිටි, සිරියලතා, හිටිවනම හිස ඔසවා බැලුවේ, ළඟ ළඟ ඇසුණු අඩි ශබ්දයක් නිසාය.

කාමරයේ දොර රෙද්ද මෑත් කර, එබී බැලූවේ මියුලා ය.

" අයියලාට තේ වතුර ඩිංගක් දුන්නද දුවේ.. උදේට කන්න මක්කද හැදුවේ.. "

"උදේ පාන්දරම .. මම ඇහැරෙන කොටත්.. එයාල පිටවෙල ගිහිල්ල අම්මෙ.."

මියුලා හැඬුම් ස්වරයෙන් කීවාය.

 

ඔබේ කෙටිකතා පහත ලිපිනයට

යොමුකළ හැකිය.

සිළුමිණ කෙටිකතාව,

ලේක්හවුස්, කොළඹ 10.

දුරකතනය 011 2429264

විද්යුත් තැපෑල:[email protected]

Comments