මිනිස් සිත කියවීමට ගත් සාහිත්‍යයික වෑයමක් | සිළුමිණ

මිනිස් සිත කියවීමට ගත් සාහිත්‍යයික වෑයමක්

 

නවතම ග්‍රන්ථය

කෘතිය: නිර්මෝහනය

කර්තෘ: සුනන්ද මහේන්ද්‍ර

මිල: රු 350

ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම

විමසීම්: 071 1808697

 

 

මිනිස් සිතක පවත්නා යම් අත්දැකීමක සංකීර්ණතාව විමසීම සාමාන්‍ය නුවණකින් කළ හැක්කක් නොවේ. එය සංකීර්ණ මනෝ ව්‍යාකූලත්වයක් නිර්ම­ාණය කිරීමක් දක්වා වැඩී ගිය තැන දී මනෝ විද්‍යාඥයන් විසින් යොදා ගන්නා ක්‍රමවේදයක් ලෙසින් මෝහනය නම් ක්‍රමවේදය හඳුනා ගැනෙයි.

 

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් රචිත ඔහුගේ අලුත්ම කෘතිය වන “නිර්මෝහනය -මනෝ විද්‍යාඥයෙකුගේ සටහන් පෙළක්” යන්න අර කියන්නට යෙදුන තත්වය සිහි ගන්වන්නේ මුත් එවැනි නිර්දිෂ්ට මඟක ම නොගිය එහෙත් ඒ හා සමාන අත්දැකීම් සිහිගන්වන සුළු නිර්මාණාත්මක ආඛ්‍යානයක් වේ. ඔහු විසින් ම පෙන්වා දී ඇති ආකාරයට අපට එය මෙසේ ද හඳුනාගත හැක.

“ඇතැම් සියුම් වුත්, සංකීර්ණ වුත් ජීවන අත්දැකීමක් කිසියම් ක්‍රමයකින් ප්‍රකාශ කිරීමෙන් පුදුමාකාර අස්වැසිල්ලක් ලද හැකි ය. මෙහිලා කලක් මුළුල්ලේ අත්දැකීම් වලට පසුබිම් වන්නා වු බොහෝ මතක සටහන් ලියා තැබීමට මම මගේ හිත මිත්‍ර මනෝ වෛද්‍ය විශේෂඥ පද්මන් ද සිල්වාගෙන් උග්ත්තේ යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.” ඒ අනුව යමින් ඔහු විසින් තමන් ට කියන ලද ඇතැම් අත්දැකීමක් ජීවිතයට ඉතා සමීප වු බවත්, එය විශ්ව විද්‍යාලයිය මට්ටම ද ඉක්මවා පවතින්නේය යන අයුරිනුත් තමන්ට දැනුණේ යැයි කතුවරයා පවසයි. එම පසුබිමේ ගොඩ නැ‌ෙඟන මේ කෘතිය තමන් අතින් හත් අට වතාවක් ම සංස්කරණය වුයේ යැයි ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි. ඒ අනුව යමින් කෙටි නවකතාවක් බවට පත් වන මෙම මනෝ විද්‍යාඥයෙකුගේ සටහන් පෙළ ඒවායේ පවත්නා මිනිස් ජීවිතයට සමීපස්ථ හේතු වු බව පැහැදිලි ය. අවසානයේ දී එය ජීවිතය ම ස්පර්ශ කරමින් නව කතාවක් ලෙසින් ගොඩ නැගිමේ වුවමනාව මත වෙසෙස් ආඛ්‍යයන ලතාවකට හසුරුවා ගනිමින් කතුවරයා එය නිර්මාණය කොට ඇති බවක් පෙනී යයි. බොහෝ වාරයක් එම ලිවීම සංස්කරණය කිරීමට සිදු වන්නේ ද ඒ නිසා ම බව ද පැහැදිලි වෙයි. ඉදින් එය එසේ නොවුණා නම් මෙ හුදෙක් මනෝ විද්‍යඥයෙකුගේ අත්දැකීම පවසන වාර්තාමය රචනයක් වීමට ඉඩ තිබුණි යැයි සිතන්නට පුළුවන්කමක් තිබේ.

“නුඹ ලියු සිද්ධි සමුදාය කිසිවෙකුට පෙන්වන්නේ නැද්ද?”

-ප්‍රතාප්ගේ යටි සිත අස යි.

“පෙන්වන්න තරම් හිතක් තවම පහළ වුණේ නැද්ද?”

“සටහන් කරන හැම දෙයක් ම අනුන්ට පෙන්විය යුතු ම ද?”

“ඒකෙ පොඩි ඇත්තක් තිබෙනවා. ඒත් ඒවා ඵලදායක අත්දැකීම් බවට පත් වේවි ද?”

“එය නිගමනය කරන්නේ මම නෙමේ”

“එහෙනම් කවුද?”

“කාලය”

ඉහත උද්ධෘතය අප එසේ දක්වන්නට යෙදුණේ අර කීව අත්දැකීම් කෘතියක් වශයෙන් ගොඩ නැගෙන ආකාරය පිළිබඳව පාඨකයාට යම් අවබෝධයක් ලබා දෙනු පිණිස ය. නමුත් එය අත්දැකීම් වශයෙන් ම නොව ඊට එහා ගිය ජීවන වෘතාන්තයක් බවට ද ක්‍රමයෙන් පත්වෙනවා ද දකින්නට පුළුවන. මිනිසෙකුගේ ජාගර සිත තුළ පවත්නා ඇතැම් කල්පනාවන් එසේ ම නිද්‍රාවට පත් වී ඒ නිසා ම ඔහු හෝ ඇය තුළ ආකූල ව්‍යාකූලතා මතු වෙද්දී අර නිදිගත් කල්පනාවන් හෝ සංවේදි ආශාවන් අවදි කොට එළියට ගැනීම මනෝවිද්‍යාඥයෙකුගේ කාර්යභාරය යි. කෙසේ වුව එවැන්නක් තුළින් කතා කලාවක් ගොඩ නැගීමට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගත් උත්සාහය විමසීමේ අවස්ථාව සාහිත්‍ය විචාරකයෙකුට ලැබෙන වෙසෙස් අවස්ථාවක් වේ. අනිත් අතට මනෝ විද්‍යාඥයින්ගේ ඇසුර, ඔවුන්ගේ අත්දැකීම් හා ලියවිලි ඉවසිල්ලෙන් කියවීමට යොමුවන සාහිත්‍යකරුවෙකුට ඉන් ලද හැකි ප්‍රතිලාබ කවරේද යන්නත් මෙයින් පෙන්වා දී අතැයි සිතමි. එසේ ගත් කල වඩාත් නිර්මාණශීලි සාහිත්‍ය නිර්මාණකරුවෙකුට මේ කෘතියෙන් මතු නිර්මාණකරණයකට අදාළව යම් හෝ අවබෝධයක් ලැබීමට ද පුළුවන්කම තිබේ.

“නිර්මෝහනය” නම් මෙම කෘතියේ එන එක් කොටසක් “විඥාන ධාරා” නමින් හඳුන්වා දී තිබේ.

“මේක අපුරු කල්පනාවක්. අපි ඒ වගේ දේවල්වලට කියන්නේ යම් යම් නිමැවුම්කරුවන් මවන මල් වර්ග කියලා. අපේ සිත් වශී කරන්නට පුළුවන් මුහුණු අපට එදිනෙදා ජීවිතයේ දි මුණ ගැහෙනවා. ඒ මුහුණු ගැහැනු මුහුණු වෙන්ට පුළුවන්. පිරිමි මුහුණු වෙන්ටත් පුළුවන්. ඒත් ඒ මුහුණු දැක්ක ම සිත් වශී වෙනවා. ඒවා සංඥ මනෝ සංඥා Mental Images අපි ඒවා අපේ සැබෑ ජීවිතයේ දි නොදැක්කත් අපේ හීන වල දි දැක ගන්නවා.”

මනෝ විද්‍යාව විෂයක් වශයෙන් හැදෑරීම හා ඉන් ආභාසය ලැබීම සාහිත්‍යකරුවෙකුට කොතරම් ප්‍රතිඵලදායි වන්නේ ද යන්න දුටු මෙන් ම ඉන් නොවක් ආභාසයක් ලද කීර්තිමත් ලේඛකයෙකු හැටියට ජී. බී. සේනානායක හඳුන්වා දිය හැක. විශේෂයෙන් ම ඔහුගේ නවකතාවන්හි එන ප්‍රබල චරිත ඇතැම් අවස්ථාවල දී සිය යටි සිත හා උඩු සිත අතරට මැදි වී සිදු කරන්නා වු අරගලය ම එම කතාවන්ට අදාළව ගැටුම්කාරී ලෙස සිද්ධි ගලනයට මහත් සේ උපකාර කරන අයුරු පැහැදිලිව ම දැකිය හැක. එසේ බලන කළ මිනිස් විඥානය යන්න අසීමිත ක්‍රියාකාරීත්වයක්ය යන්න පැහැදිලි ය.

කාලයත් සමඟ යමෙකුගේ යටි සිත්හි සැඟවී යන සංවේදි අත්දැකීම් එම චරිතයට ලබා දෙන වේෂ නිරූපණ වැනි හැසිරීම් සියුම් ලෙසින් හඳුනාගැනීමක් විශිෂ්ට වු සාහිත්‍යකරුවෙකු ලබන්නේ එය විෂයබද්ධව අවබෝධ කරගන්නා මනෝ විද්‍යාඳයකුටත් වඩා ජීවිතය තුළට ගමන් කරමින් යැයි සිතේ.

සාහිත්‍යකරුවෙකු ඇතැම්විට තමන්ව ද උපමාවට ගනිමින් අනිකෙකුගේ සැඟවුණ චිත්තයක් විමසන අයුරු අතිශය සංවේදිතිවකින් සිදු කිරීම ඊට හේතුව යි.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ උක්ත කෘතිය මුල් කොටගෙන මෙවැනි විමසීමක් කිරීමට අප කල්පනා කළේ එය, පොදුවේ අප සාහිත්‍යකරුවන්ට වෙසෙස් පසුබිමක් සපයා දෙනු ඇත යන අපේක්ෂාවෙනි.

Comments