සතියේ කවිපොත | සිළුමිණ

සතියේ කවිපොත

කෘතිය- නිස්සංක බස් එකෙන්

බහින්නෑ මිරැන්ඩා

“මොකද කියලා හැබැයි කියන්නෑ”

කර්තෘ - කුමාර හෙට්ටිආරච්චි

විමසීම් 077 2362222

මිල රු: 500 පිටු 160

සන්ථව ප්‍රකාශනයකි

“නිවන් දක්නා ජාති දක්වා අපි කවිත් එක්කම හමුවෙමු.” කලක පටන් ඒ කුමාරගේ එකම ප්‍රාර්ථනයයි. කවි ලියන්නට උපන් හපන්කම් තිබේ යැයි කිසිත් නොසිතාම කිව හැකි කුමාර හෙට්ටිආරච්චි කවියාගේ මුල්ම කවි පොත එළිදකින්නේ 1985 වසරේදීය. ඒ සක්මන් මළුව කාව්‍ය සංග්‍රහයයි. දෙවැනි කාව්‍ය සංග්‍රහය භෂ්මාවශේෂ ය (1986). තුන්වැන්න රුවන් සක්මන ය (1989). හතරවැනි කාව්‍ය සංග්‍රහය වන මහද්වීපය (1990) වසරේ රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී විශිෂ්ටතම කාව්‍ය සංග්‍රය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. ඉන් පසු එළිදක්වන ලද සදාකාලික මධ්‍යාහ්නය කාව්‍ය සංග්‍රය 1992 වසරේදී රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී සම්මානයට පාත්‍ර විය. සම්මානගත් පමණින් නොනැවතුන කුමාර හෙට්ටිආරච්චි කවියාගේ කවි මඟ අද නව මඟක් ගෙන ඇතැයි ඔහුගේ කවි කියවීමේදී විඳීමේදී සිතේ.

වර්ණනා, ප්‍රශස්ථි නොව සමාජ යථාර්ථය සමාජ පීඩිතයන්ගේ දුක කඳුළ ඔහු තම කවියට අනූභූතිය කොටගෙන ඇත.

පසුගිය කාලයේ එළි දැක්වූ ඔහුගේ කවි පොත් අතර අලුත්ම කාව්‍ය සංග්‍රහය වන්නේ නිස්සංක බස් එකෙන් බහින්නෑ මිරැන්ඩා... “මොකද කියලා හැබැයි කියන්නෑ”. යන්නය. දැන් දැන් ඔහුගේ කවි පොතේ නමද එක් කවි පෙළක කවි පදයක් වැනිය.

අද වන විට අපට බොහෝ නව කවියන් හමුවන්නේ මුහුණු පොතෙනි.

ඒ කවි සාර්ථක ද නැද්ද,,. එහෙමත් නැත්නම් මේ කවි නැවත නැවතත් කියවා බලා ලියැවෙනවාද, තමා විසින්ම සංස්කරණය කරනවා වෙනමම කතාවකි. කොහොම නමුත් කුමාර ලියන ඇතැම් කවි වල ඇත්තේ වචන පමණක් ද , එහෙමත් නැත්නම් ඔහුු වචන වලින් හරඹ කරන්නෙක් පමණක්ද යන සිතුවිල්ලක් ද සිත ඇති වේ. ඒ කෙසේ වෙතත් අද වන විට වචන වලින් අපූරු හරඹ කිරීමේ අත්දැකීමට ගැළපෙන අයුරින් එහි අර්ථය මතුකර දක්වන්නට ඔහු තුළ ඇති හැකියාව කෙබඳුදැයි දැන ගන්නට නම් කුමාරගේ කවි කියවිය යුතුමය. සීගිරියට එන්නේ දේශීය සංචාරකයන් පමණක්ම නොවේ. විදේශිකයෝද වේ. ඒ එන්නේද මුදල් ගෙවාය.

ඊයේ අද පමණක් නොව සියවස් ගණනක් තිස්සේ මේ ලාලනියෝ ඉන්නේ නිරුවතිනි. එක් වරක් නොව ගැනිය නොහැකි තරම් වතාවක් ඔවුහු නිරුවත් වී ඇත සිය දහසක් දහ දහසක් මිනිසුන් ඉදිරියේ. කුමාර කියන්නේ සීගිරි ගලේ ඇඳි ස්ත්‍රී රුවටත් පණදෙන කතාවකි. සැබැවින්ම පණ ලද්දේ නම් ඔවුන් කාශ්‍යපගෙන් ඉල්ලනු ඇත්තේ මෙවැනි ඉල්ලීමක් ම වනු ඇත. මේ කියන්නේ අප එකල සිට අද දක්වා සිතිය යුතු කරුණකි.

මාතෘකාව සීගිරි අප්සරාවන්ගේ බැගෑපත් ඉල්ලීම.

 

ඉතිං දැන්වත් අපිට

ගෙදර යන්න දෙන්න

අම්මා අප්පා නැතත්

පැල්පතෙන් පැල්පතට

තාම ඇති අපේ උන් මඟ බලන්...

 

අපට රන් රිදී මසුරන් එපා

පැළැන්දූ ආභරණ ඔබ ගන්න

කුදලගෙන ආ දවසේ අපෙන් උදුරා ගත්ත

රෙද්ද විතරක් දෙන්න

අවසරයි රෙදි ඇදන් අපට ගම රට යන්න..

 

කාලය වෙනස් වූවාට මිනිස්සුන්ගේ දුක්ඛ දෝමනස්සයන් එමටය. බුදුන් දවස සිටි කිසාගෝතමිලා, පටාචාරලා ජනපද කල්‍යාණිලා අදත් මේ සමාජයේ වෙසේ. ඒ යුගයේ හැටියට වෙසස් වූ අය වුවද මේසැවොම දවස ගෙවන්නේ වැලපෙන්නේ ජීවිතය වෙනුවෙනි.

ගමනක් බිමනක් යාමට ප්‍රයිවෙට් බසයකට ගොඩ වූ විට මේ සියල්ලෝම අපට මඟතොටේදී හමු වේ.

ඇතැමෙකුගේ අහිංසකකම, වේදනාව, කපටිකම, බොළඳකම මේ සියල්ල කවියා මෙසේ ලියයි. මාතෘකාව කිඹුල්වත් පුරෙන් මටබහින්නත් හිතෙනවා. මේ එහි අවසන් කවියයි.

 

ජනපදේ කල්යාණි මගෙ ළඟම ඉන්නවා

නන්ද කුමරුගෙ සෙල්පි බල බලා අඬනවා

මෙතෙක් නොකියූ දෙයක් කියන්නත් තියෙනවා

කිඹුල්වත් පුරෙන් මට බහින්නත් හිතෙනවා..

 

මිනිසුන් බොහෝ දේ කරන්නේ අත මිට මුදල් ගැවසුනාටම නොවේ. බොහෝ වියපැහැදැම් කර තබන මංගල උත්සව වල නෙක විසූක දස්සන ගැන කවියා ලියන්නේ කියවන්නා තුළ සංකල්ප රූප මතුවන අයුරුනි. මාතෘකාව මංග සාජ්ජේ.

 

ලියුම් කවර තුළ මොනරුන් ඔබාගෙන

පවුම් වටින අභරණ උඩ දමාගෙන

රවුම් ගසා කැරකෙති දිව විකාගෙන

ගවුම් නටයි රණතිසරුන් වඩාගෙන..

 

කුමාරගේ කවි කවදත් අපූරුය. ඔහු මුල් යුගයේ සිටම ඒ කවි මඟ ඔස්සේ යමින් පාඨක විචාරක අවධානය දිනාගත් අයෙකි. ඔහුගේ කවි පොතකින් මෙසේ දකින විට සතියට තුන් හතර වතාවකටත් වැඩි වාර ගණනක් ඔහු ලියන අලුත් කවියක් මුහුණු පොතෙන් දකින්නට ලැබෙයි. ඒ කවි ද කෙටි කවි නොවේ.

අනේ මන්දා මටත් හිතා ගන්නබෑ... මට කවි ලියැවෙන වේගය.. හිතට එනවා මම ලියනවා“ කුමාර එසේ පවසන්නේ මහ හඬින් හිනැහීය. ඉදින් එවැනි කවියෙක් මෙවැනි පැතුමක් පැතිමද අරුමයක් නොවේ. ‘‘ නිවන් දක්නා ජාති දක්වා අපි කවිත් එක්කම හමුවෙමු.’’

Comments