‘පො‌ෙළාවේ මුල් ඇදපු දේශපාලනයක් අවශ්‍යයි’ | සිළුමිණ

‘පො‌ෙළාවේ මුල් ඇදපු දේශපාලනයක් අවශ්‍යයි’

 

කෘතිය: මුක්ති

කර්තෘ: සෝමරත්න බාලසුරිය

ප්‍රකාශනය: සරසවි ප්‍රකාශකයෝ

මිල: රු 400

විමසීම්: 071 4485344

 

මහාචාර්ය සෝමරත්න බාලසුරිය සිය අලුත්ම නවකතාව වන “මුක්ති” පසුගිය දිනවල දී එළි දැක්වුයේ ය. නවකතාවක් වශයෙන් ගත් කල විශේෂයෙන්ම 70 දශකයේ දේශපාලනය පසුබිමේ හැසිරීම සමඟ එන චරිතයක් ඒ දේශපාලනය සම්බන්ධයෙන් ඇති කරගන්නා ස්වයං විවේචනයක් වැන්න. ඒ අනුව එහි ප්‍රධාන චරිතය නිරූපණය වන්නේ නව සංවර්ධනාත්මක සමාජ දේශපාලන ආකල්ප මත වුණත්, ඒ නිසාම ඔහු මුහුණපාන විරෝධය ඇතැම් විට ඔහු බලාපොරොත්තු වු තත්වයටත් වඩා වැඩි තත්වයක් දෝ හෝ යි සිතේ. මෙම සංවාදය ඒ ගැන කළ විමසීමකි.

 

 ඔබේ අලුත් නවකතාව “මුක්ති” එක්තරා ආකාරයකට සමාජ දේශපාලනික ස්වයං විවේචනයක් යැයි මා කීවොත් ඔබ ඊට එකඟවෙනවද?

 

“මේ කතාවේ කාල වකවානුව ගත්තම එය හැත්තෑව දශකයේ අවසන් කාලය යැයි කියන්න පුළුවන්. ඔබ කීවා වගේ එවකට පැවතුණ දේශපාලනයේ හිංසනවාදී මුහුණුවර සම්බන්ධයෙන් ඔහුට එනම් කතාවේ ප්‍රධාන චරිතයට විවේචනයක් තිබුණා. ඔහු කල්පනා කරනවා අද අපට අවශ්‍ය වන්නේ එවැනි හිංසනීය දේශපාලනයක් නොවේය කියලා.

ඒ මතයත් සමඟ ඔහු තමන්ගේ මුලිකත්වයෙන් නව දේශපාලන ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කරනවා. ඒවා සමඟ ක්‍රියාත්මක වෙනවා.

නමුත් ඒ තත්වය හිතන තරම් පහසු වෙන්නෙ නෑ. එක්තරා අවස්ථාවක දී ඔහු නොසිතන අවස්ථාවක දී මේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා ම ඔහු අත් අඩංගුවටත් පත් වෙනවා.”

 

 මේ ගැන තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍යයි. යම් අයෙක් හිංසනීය දේශපාලනයට එරෙහිව නව අදහස් අනුව කටයුතු කරද්දී අත් අඩංගුවට පත්වීම ඒක පිළිගන්න පුළුවන් දෙයක් ද?

“ඔව් ඒකම තමයි මෙතන තියෙන හිතන්න බැරි තත්වය. මෙහි එන ප්‍රධාන චරිතය ගමේ සිට නගරයට ඇවිත් නගරයේ මැද පාන්තිකයන්ගේ දරුවන් ඉගෙනගන්නා පාසලකට ඇතුළත් වෙනවා. ඔහු ඉගෙනීමට සමත්කම් දක්වන පසුබිමක විශ්ව විද්‍යාලයටත් යනවා. විශ්ව විද්‍යාලය කියන්නේ විශ්ව අධ්‍යාපනයක් ලැබෙන සම්මානනීය පිළිගැනීමක් ඇතිව තමයි ඔහු එහි යන්නෙ. ඒත් එහි දී සාම්ප්‍රදායික විදිහට සටහන් වනපොත් කරමින් සිදු කෙරෙන අධ්‍යාපනය ගැන ඔහුට ලොකු කලකිරීමක් ඇති වෙනවා. ඔහු බලාපොරොත්තු වු සංවාදශීලි පරිසරය එහිදී ඔහු අත් විඳින්නේ නෑ. තවද දේශපාලනයේ ඇති අනුකාරකවාදී බව, හුදු සටන් පාඨ, උද්ඝෝෂණ මුල් කොටගත් දේශපාලන ක්‍රියාකාරකම්, යන මේ හැම දෙයක්ම නිසා ඔහු තුළ ඇති වන්නේ විඩාපත් බවක්. කලකිරීමක්. එහෙම උකටලී වෙලා ඉන්න අතරෙදි තමයි නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඔහු තුළ අදහස් පහල වෙන්නෙ. හැබැයි එතනදි ඔහු කාගෙත් තරහකාරයෙක් එහෙම නැත්තං විරුද්ධවාදියෙක් වෙනවා. කවුරුත් ඔහුව සැක කරන තත්වයක් ඇති වෙනවා.

තමන්ගේ ම නව දේශපාලන අදහස් සමඟ යන දේශපාලන ක්‍රියාකාරකම් වගේ ම සංවිධාන ඇති කර ගනිමින් කටයුතු කරන ඔහු අර කීව විදිහට සැකය හා විරුද්ධවාදිකම් නිසා අවසානයේ දි අත් අඩංගුවට පත් වෙනවා. මේ කතාවේ ගලා යෑම තුළ පවතින සිද්ධිමය තත්වය තමයි ඒ.“

 

 ඔහු මොන වගේ තැනක ඉඳලද ඒ නව දේශපාලන සංස්කෘතිය ගැන අදහස් පළ කරන්නෙ. ඒ තත්වය තවත් විකල්ප දේශපාලන තත්වයක් හැටියට ගන්න පුළුවන් ද?

“ඇත්තෙන්ම ඔහු එහි දී බලාපොරොත්තු වෙන්නේ හිංසනයෙන් තොර දේශපාලන ක්‍රියාකාරීත්වයක්. හිංසනය, ප්‍රචණ්ඩත්වය තුළ සැබෑ දේශපාලනය වල්මත් වෙනවාය කියන හැඟීමකින් තමයි ඔහු කටයුතු කළේ. ඒ වගේ ම අනුන්ගේ ම අදහස්, න්‍යායන්, මතවාද මත යැපෙමින් පවත්වාගෙන යන දේශපාලන ක්‍රියාකාරකම් ඔහුගේ විවේචනයට හසු වෙනවා. එතන දී ඔහු පෙන්වා දෙන්නේ තමන්ගෙග් ම පොළවේ මුල් ඇදපු දේශපාලනයක් අපට අවශ්‍ය බව යි. ඒ අනුව සියලු සංවර්ධනීය තත්වයන් අපේය කියන ස්වායත්ත බව මත ගොඩ නැගිය යුතය යන්න තමයි ඔහුගේ පෙන්වා දීම වුණේ. මේ පෙන්වා දීම නිසා තමයි ඔහු දෙපැත්තම තරහ කරගන්න තැනකට යන්නෙ. නමුත් ඔහුව අත් අඩංගුවට ගෙන කරපු ප්‍රශ්න කිරීම් වල දී පවා ඔහු කීවේ මේ කතාව ම තමයි.

එතන දී ඒක විකල්පයක් ද, විසංවාදයක් ද කියන දේවල් මේ කතාව එක් එක් අය බාරගන්න විදිහ තමයි තීරණය වෙන්නෙ. අර මං මුලදිත් කිව්වා වගේ ඔහු ඔත්තුකාරයෙක්, විරුද්ධවාදියෙක්ය කියන ප්‍රතිවිරුද්ධ අදහස් ඔහුගේ මේ අදහස් පිළිනොගැනීම වගේම අවබෝධ කර නොගැනීම කියන කාරණා මත ඇති වන පිළිගැනීම් හැටියට තමයි මෙහිදී අපට දකින්න පුළුවන් වෙන්නෙ.

 

 මෙතනදී ඔහු ව්‍යාජ ප්‍රතිරූප ප්‍රතික්ෂේප කරන තත්වයක් ද දකින්න ලැබෙනවා යැයි මම කිව්වොත්...?

පැහැදිලිවම එහෙම තත්වයක් තියෙනවා. උදාහරණයක් හැටියට එක තැනක දී ඔහු ප්‍රකාශ කරනවා දුකේ දි වහා පිහිට වන, අයුක්තියට එරෙහිව ලේ හලාගෙන සටන් වදින එසේ ජයග්‍රහණ ලබා දී කිසිවක් ම පෙරළා බලාපොරොත්තු නොවී අසුන් පිට නැඟී කාන්තාර බිම් පසු කරමින් නොපෙනී යන ආශ්චර්යවත් මිනිස්සු තමන් දැක ඇත්තේ බටහිර ගොපලු චිත්‍රපටවල පමණයි කියලා.

ඒ විදිහට බැලුවම අපිට දැනෙනවා ඔහු ඉල්ලා සිටින්නෙ ප්‍රතිරූප වලින් හදපු දේශපාලනයක් නොව සැබෑ යථාර්තවාදී දේශපාලනයක්ය කියන එක.

දේශපාලන ජයග්‍රහණයක් සැමවිට ම අපේකමත් සමඟ බැඳුණ යථාවාදි දේශපාලන ජයග්‍රහණයක් විය යුතුය කියන තැන තමා ඔහු ඉන්නෙ.“

 

 මෙතන දී කෙනෙකුට මෙහෙම චෝදනාවක් ගේන්න පුළුවන්. ඒ අනුව ඔහු සිටින්නේ දූපත්වාදී මානසිකත්වයකය කියල කියන්න පුළුවන් නේද?

“නෑ, ඒක ඔහු තුළින් ම ප්‍රතික්ෂේප වෙනවනෙ. ඔහු ඉතා පැහැදිලවම පෙන්වා දී තිබෙනවා, අප ජාත්‍යයන්තර ජයග්‍රහණත් සමඟ ගනුදෙනු කළ යුතුයි කියලා. ඒ නව සංවර්ධනයත් සමඟ ඉදිරියට යා යුතුයි කියලා. නමුත් ඒ සෑම තැනකදී ම අපි “අපි වීම” අවශ්‍යයි කියලා.”

 

 වෙන විදිහකට කියනවා නම් අපි අපේ මුල් සිඳගෙන කුමන දේශපාලන ජයග්‍රහණයක් ලැබුවත්, එයට ස්ථිර පැවැත්මක් ලැබෙන්නෙ නැහැ. එහෙම නේද ?

“ඔව්, අපි නව සංවර්ධනයන් සමඟ ඉදිරියට යා යුතු යි. නමුත් ඒ සෑම තැනකදී ම අප කටයුතු කළ යුත්තේ අපේ පොළවේ මුල් ඇදපු තැනක ඉඳගෙනයි.”

Comments