පාස්කු ප්‍රහා­රයේ 273කට නඩු | සිළුමිණ

පාස්කු ප්‍රහා­රයේ 273කට නඩු

පුද්ගලයන් 359කට මරු කැඳවමින් 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරය එල්ල කිරීම හා වළක්වා නොගැනීම සම්බන්ධව සැකකරුවන් 273 දෙනකුට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර සිළුමිණට ඊයේ පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයන්ට අදාළව සැකසුණු ලිපි ගොනු 8ම මේ වන විටත් නීතිපතිවරයාට යොමු කර ඇතැයි පෙන්වා දුන් ඇමැතිවරයා එයින් පුද්ගලයන් 32කට ඍජුවම මිනීමැරීමේ හා ඊට කුමන්ත්‍රණය කිරීම් යටතේ  පාස්කු ප්‍රහාරයේ

චෝදනා ගොනු කෙරෙන බවත් රැඳවුම්භාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින 241 දෙනකුටද පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කටයුතු කිරීම වෙනුවෙන් නඩු පැවරෙන බවද ඇමැතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව ‘යහපාලන‘ රජයේ ප්‍රබල දේශපාලඥයන් කිහිප දෙනෙක්ම මෙන්ම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ම මෙහි ඍජු චූදිතයන් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් නැඟී ඇති චෝදනා බරපතළ අපරාධ ගණයෙන් යුක්ත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර තිබෙන බව දැනගන්නට ඇත.

එසේම පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය පිණිස පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවද ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ලැබීමෙන් පසු එය පාර්ලිමේන්තුවට යොමු කර අදාළ සාක්ෂි විමර්ශනය කිරීම පිණිස නීතිපතිවරයාට යොමු කරනු ලබන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු අයකුට නීතියේ රැහැනින් මිදෙන්නට ඉඩ ලබා නොදෙන බවත් තරාතිරම නොබලා අදාළ කටයුතු සිදු කෙරෙන බවත් අගතියට පත් වූ සියලු දෙනා වෙනුවෙන් පූර්ණ සාධාරණයක් සිදු කරනු ලබන බවද ඔහු පෙන්වා දුන්නේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 754 දෙනකු අත්අඩංගුවට ගත් බවත් සෙසු පිරිස මේ වන විට ප්‍රශ්න කර මුදා හැර ඇති බවද ඇමැතිවරයා වැඩි දුරටත් පැවසුවේය. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් කමිටුවක් පත් කිරීමට කටයුතු කර ඇති අතර, එහි සභාපති ධුරය අමාත්‍ය චමල් රාජපක්ෂයන් විසින් හොබවනු ලැබේ.

Comments