අසා නැතු­වාට සැක නැති ආලංගා මෝජුව | Page 2 | සිළුමිණ

අසා නැතු­වාට සැක නැති ආලංගා මෝජුව

 

ආලංගා කියන එළවළුව එතරම් හුරු පුරුදු නොවෙන්න පුළුවන්. මෙය දැන් ශ්‍රී ලංකාවේ බහුලවම වගා නොකෙරෙන එළවළු ගනයටයි වැටෙන්නේ. රසයෙන් බෝංචිවලට සමාන වුණත් ආලංගා කියන්නේ ශ්‍රී ලංකාවට බෝංචි හඳුන්වා දෙන්න පෙර අපගේ පැරැන්නන් ආහාරයට ගත් ප්‍රෝටීන් ඇතුළු පෝෂක ගණනාවක් සහිත එළවළුවක්. අතීත රජවරු සඳහා පිළියෙල කරන රාජ භෝජනයේද ආලංගා වෑංජනය අනිවාර්ය බව පැරැණි පොත පතේ සඳහන්. අදටත් ආලංගා වෑංජනයක් ලෙස සැකසුවද ආලංගා මෝජුව පිළිබඳ මින් පෙර අසා නැතුවාට සැකයක් නැහැ.

 

රස රහස්

ආලංගා මෝජුවේ රසයේ රහස තමයි කිතුල් පැණි. සාමාන්‍යයෙන් මෝජුවකට පැණි රහ වෙන්න එකතු කරන සීනි වෙනුවට ආලංගා මෝජුවට සුවිශේෂී රසයක් එක් කරන්නේ කිතුල් පැණිවලින්.

දිගු කලක් තබා ගන්නා මෝජු වර්ග සඳහා පොල්කිරි එකතු නොකළත් දිනක් හෝ දෙකකදී ආහාරයට ගන්නා ආලංගා වැනි මෝජුවකට පොල් කිරි එක්කර ගැනීමෙන් රසය තවත් තීව්‍ර කර ගන්න පුළුවන්.

එනසාල් ඇතුලත ඇති කළු පැහැ ඇට හොඳින් කුඩු කර එක්කර ගැනීමෙන් ද රස වැඩිවේ.

 

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

ආලංගා ග්‍රෑම් 250 ක්

අමු මිරිස් කරල් 5ක්

රතු ලූනු ගෙඩි 5ක්.6ක්

සිහින්ව කැපූ රට ලූනු (පොඩි ) ගෙඩියක්

කරපිංචා ඉත්තක්

රම්පෙ කැබැල්ලක්

අබ තේ හැන්දක්

සුදු ලූනු බික් 3ක්

ඉඟුරු කුඩා කැබැල්ලක්

කුරුඳු කුඩා කැබැල්ලක්

එනසාල් කරලක්

කහ කුඩු ස්වල්පයක්

කෑලි මිරිස් තේ හැඳි 1/2ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2ක්

විනාකිරි අඬු කෝප්ප 1/2ක්

පොල් (මිටිකිරි ) අඬු කෝප්ප 1/4ක්

කිතුල් පැණි මේස හැන්දක්

පොල්තෙල් කෝප්පයක්

ලුණු

 

 

 

 

හදා ගන්නේ මෙහෙමයි

 

ආලංගා හොඳින් සෝදා කරලේ උඩින්ම ඇති මලක් වැනි කොටස ඉවත් කරගන්න. වෑංජන, බැදුම් සහ මෝජු සැකසීම සඳහා ගනු ලබන්නේ දිගු කරලක් වැනි කොටසයි. ඒ කරල දික් අතට දෙකට පළා ගන්න. රතු ලූනු සහ අමු මිරිස් කැපීම අවශ්‍ය නැති වුණත් කැමැත්ත පරිදි අමු මිරිස් දික් අතට දෙකට පළා ගන්න පුළුවන්.

තාච්චියකට පොල්තෙල් දමා රත්වන්නට හැර ආලංගා යාන්තම් රන්වන් පැහැ වනතුරු ගැඹුරු තෙලේ බැදගන්න. පිරිසුදු රෙදි කඩක් මතට බැදගත් ආලංගා දමා තෙල් බේරෙන්නට හරින්න. එම තාච්චියටම රට ලූනු දමා රන්වන් පැහැ වන විට රම්පේ සහ කරපිංචා ද දමා බැදගන්න. ඉන් පසු රතු ලූනු සහ අමු මිරිස් දමා විනාඩි භාගයක් පමණ බැදෙන්නට හැර පිටතට ගෙන තෙල් බේරෙන්නට හරින්න.

අබ, ඉඟුරු සහ සුදු ලූනු, මිරිස් ගලකින් හොඳින් අඹරා ගන්න. නැතිනම් කුඩා වංගෙඩියකට දමා හොඳින් කොටා ගන්න. දැන් මැටි වළඳක් ලිප තබා පිරිසුදු පොල්තෙල් මේස හැන්දක් හෝ දෙකක් එක්කර රත් වු විට අඹරාගත් අබ, ඉඟුරු සුදු ලූනු පේස්ට් එක, කෑලි මිරිස්, මිරිස් කුඩු සහ කහ කුඩු ද කුඩා කුරුඳු කැබැල්ලද එක්කර විනාඩියක් පමණ පොල්කටු හැන්දකින් හැඳි ගාමින් බැදගන්න. හොඳින් තලා ගත් එනසාල් ඇට එක්කර විනාකිරි ද දමා හොඳින් මිශ්‍ර කරන්න. විනාඩියක් පමණ මිශ්‍රණය ඉදුණු පසු පොල් කිරි එක්කර තවත් විනාඩි 3ක් පමණ හැඳි ගාමින් මඳ ගින්නේ ඉදෙන්නට හරින්න.

ලිපෙන් බාගත් විගසම කිතුල් පැණි එක්කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් කලින් බැදගත් ආලංගා, රතු ලූනු, රට ලූනු, අමු මිරිස්, රම්පෙ සහ කරපිංචා එක්කර කලවම් කරන්න.

 

Comments