රුක්ශානා ගේ රූ රහස් | සිළුමිණ

රුක්ශානා ගේ රූ රහස්

නිරූපණ ශිල්පිනියක් ලෙස කලා ලොවට පිවිසෙන රුක්ශානා දිසානායක පසුව රංගන ශිල්පිනියක් ලෙස පුංචි තිරයට ද පා තබන්නේ තම රංගන හැකියාව දිනෙන් දින ඔප් නංවාගනිමින්. තම හැකියාව මෙන්ම සිය රූ සපුව ගැනද නොසෑහෙන්න සැලකිලිමත්වන රුක්ශානා තම රූ සපුව ඔප්නංවා ගැනීමට අනුගමනය කරන රූ රහස් බොහොමයි. එයින් කිහිපයක් රුක්ශානා අප හා බෙදා ගත්තේ මෙහෙමයි.

 

මුහුණට බෙල්ලට පුදුම ගුණ තියෙන

සත්කාර කිහිපයක්

බොහෝ වෙලාවට මම නිවෙසේ රැඳෙනවා අඩුයි. වැඩ කටයුතු එක්ක කාර්යබහුලයි. නමුත් සමාජයේ ඇස් අපි වෙතට යොමු වෙනවා වැඩියි. ඒ නිසා අපි අපේ බාහිර ස්වරූපය ගැන හිතන්න ඕනේ. නිවාඩු දවසට මම කරන ස්වභාවික දෙයක් තමයි කඩල පිටි සත්කාරය. කඩල පිටිවලට කහ ටිකක් එකතු කරලා ඒකට වතුර ස්වල්පයක් දාලා තලපයක් විදිහට හදා ගන්න පුළුවන්. එහෙම හදා ගත්තු පැක් එක මුහුණේ ආලේප කරලා විනාඩි විස්සකින් විතර හොඳට සෝදලා හරින්න.

ඉඳහිට කුරුලෑවක් එනවා වගේ දැනුණොත් කෝමාරිකා කෑල්ලක් අරන් මුහුණ පිරිසුදු කර ගන්නවා. ඊට අමතරව අපි නිතරම රූගත කිරීම්වලට සහභාගී වෙනකොට බෙල්ල එහෙම කළු වෙන ප්‍රමාණය වැඩියි. ඒ වෙලාවටත් මම කෝමාරිකා තමයි භාවිත කරන්නෙ. ස්භාවික දේවල්වලින් හොඳම දේ තමයි කෝමාරිකා ...ඒකේ තියෙන්නෙ පුදුම ගුණයක්.

සමේ දීප්තියට සුදු පොල්තෙල්

මම කොණ්ඩයට විශේෂ දෙයක් කරන්නෙ නෑ. ගොඩක් අය කොණ්ඩයට සුදු පොල්තෙල් භාවිත කරනවා. නමුත් මම සුදු පොල්තෙල් භාවිත කරන්නෙ සිරුරට. එයින් සම දීප්තිමත් වෙනවා.

 

පුළුවන් තරම් වතුරම බොන්න

වතුර කියන්නෙ ශරීරයේ නිරෝගීකමට අනිවාර්යයෙන් අවශ්‍යම දෙයක්. මම දවසට ලීටර් දෙකක් හෝ තුනක් වතුර බොනවමයි. ෂූටින් යන කොටත් වතුර බෝතල් තුනක් විතර අරගෙන යනවා. පුළුවන් තරම් වතුරම බොන්න....නිරෝගීකමට ඒක ලොකු උදවුවක්.

 

කැඳ ඇඟට ගුණයි

දවසට අනිවාර්යයෙන් පලතුරක් ආහාරයට ගන්නවමයි. ගෙදර හිටියොත් ගස්ලබු පානයක් වගේ ගන්නවා. තෙල් ජාති නම් බොහොම අඩුවෙන් ආහාරයට ගන්නේ. පළා ජාති ගොඩක්ම කන්නෙ වෙන්නේ ගෙදර ඉන්න දවසට තමයි. අනික තමයි කොළ කැඳ අනිවාර්යයෙන් බොන දෙයක්. ගොදම්බා දාලා කැඳ බොනවා. ධාන්‍ය වර්ග ගොඩක්ම ආහාරයට ගන්නවා.

ඇහැ වටේ තවන තේ කොළ පොට්ටනිය

නින්ද පැය හතක් අටක් කෙනෙක්ට අනිවාර්යයෙන් අවශ්‍ය වුණාට මට නම් නිදා ගන්න ලැබෙන්නේ පැය දෙක තුනක් වගේ. ඉතින් මගේ ඇස් යට කළු වෙනවා වැඩියි. ඉතින් මං කරන්නේ තේ කොළ පොට්ටනියක් වගේ හදලා ඇහැ වටේට තවන එක. එකෙන් තමයි මම ඇස් යට කළු වෙන එක නතර කර ගන්නේ..

 

මොන වැඩේ තිබුණත් වෙලාවට ජිම් එකේ

ශරීරයට ව්‍යායාම් අනිවාර්යයෙන් අවශ්‍යයි. මොන වැඩේ තිබුණත් මම වෙලාව හදාගෙන ජිම් එකට යනවමයි. ආහාර පාලනය, නින්ද වගේම ව්‍යායාමත් නීරෝගීව ලස්සන ඉන්න අවශ්‍යමයි.

Comments