හතර වටෙන් ඇහෙන කතා | සිළුමිණ

හතර වටෙන් ඇහෙන කතා

සූර්යා දැන් සුවෙන්

දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි තාරකාවක් වන සූර්යා ගැන රසික රසිකාවන්ට පසුගිය දිනවල අසන්න ලැබුණේ කනගාටුදායක ආරංචියක්. ඒ, ඔහු ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවයි. තමාට වයිරසය ආසාදනය වී ඇති බව ඔහු සිය ට්විටර් ගිණුම හරහා දැනුම් දුන්නේ පෙබරවාරි 7 වැනි දින යි. කොවිඩ්-19 රෝග ලක්‍ෂණ මතුවීම නිසා ඔහු රෝහල්ගත කිරීමටත් පියවර ගෙන තිබුණා. සූරියා ප්‍රතිකාර ගනිමින් සිටියේ චෙන්නායි නුවර රෝහලකයි. කෙසේ නමුත් මේ වනවිට වාර්තා වන්නේ ඔහු සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවයි. මේ බව මුලින් ම දැනුම් දුන්නේ ඔහුගේ බාල සොහොයුරා වන කාර්ති. ‘අයියා ගෙදර ආවා. සියල්ල හොඳින්. නිවෙස තුළ තව දින කිහිපයක් නිරෝධායනය වීමට සිදු වෙනවා. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි’ යනුවෙන් කාර්ති ට්විටර් සටහනක් පළ කර තිබුණා.

තමාට වයිරසය ආසාදනය වී ඇති බව දැනුම් දෙමින් සූරියා පළ කළ ට්විටර් සටහනේ ඔහු මෙම වයිරසයෙන් පරෙස්සම් වීම සඳහා සියලු දෙනා උනන්දු කර තිබූ ආකාරයක් ද දැකිය හැකි වුණා. ඔහු තමාට ප්‍රතිකාර කරන සහ සාත්තු කරන වෛද්‍යවරුන්ටත් හෙද හෙදියන්ටත් ස්තුතිය පුද කර තිබුණා.

 

 

 

BTS කණ්ඩායමේ Dynamite වාර්තාව

කොරියාවේ බීටීඑස් (BTS) සංගීත කණ්ඩායම මේ කාලයේ තරුණ තරුණියන් අතර ජනප්‍රිය ම සංගීත කණ්ඩායමයි. මේ වනවිට ඔවුන් ගේ තවත් ගීත විඩියෝවක් වාර්තාවක් පිහිටු වීමට සමත් ව තිබෙනවා. ඒ, පසුගිය වසරේ අගෝස්තු මාසයේ නිකුත් කෙරුණු Dynamite වීඩියෝව යි. ලොව පුරා මෙම වීඩියෝව නැරැඹූ සංඛ්‍යාව පසුගිය 14 වැනි දා මිලියන 850 ක් ඉක්මවා ගියා. කොරියානු සංගීත කණ්ඩායම්වල ගීත විඩියෝ අතරින් අඩුම කාලයක් තුළ මෙම සීමාව පසුකර ගිය වීඩියෝව බවට මෙය පත්ව තිබෙනවා. මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ Blackpink කණ්ඩායමේ DDU-DU DDU-DU නම් ගීත වීඩියෝව යි. කෙසේ වෙතත් මිලියන 850 සීමාව පසුකර ගිය එකම බීටීඑස් ගීත වීඩියෝව මෙය නොවෙයි. මෙයට පෙර තවත් වීඩියෝ හතරක් මෙම සීමාව ඉක්මවා ගිය අතර ඒ DNA, Boy with Luv, Fake Love, MIC Drop යන ඒවා යි. Jin, Suga, J Hope, RM, Jimin, V, Jungkook යන සාමාජිකයන් සත් දෙනාගෙන් සමන්විත මෙම සංගීත කණ්ඩායම සිය පළමු ගීත ඇල්බමය නිකුත් කළේ 2013 වසරේ යි. එය හැඳින්වූයේ 2 Cool 4 skool යනුවෙන්.

 

 

සමනලීගෙන් හාදුවක්

සම්මානනීය රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා ඇගේ නවතම ගීතය පසුගිය 14 වැනිදා එනම් ආදරවන්තයන්ගේ දිනයේදී එළිදක්වනු ලැබුවා. එය නම් තබා ඇත්තේ ‘හාදුවක්‘ ලෙසයි. අරුණ ගුණවර්ධනගේ සංගීතයෙන් හැඩ වන සුජීව හෙට්ටිතන්ත්‍රිගේ පද බැදුමෙන් සමනලීගෙ හඬින් නිර්මාණය වන මෙම ගීතය සමාජයට දීමට උත්සාහ කර තිබුණේ සමාජයේ පෙම්වතුන්ට ලබා දෙන ඉඩ, පිළිගැනීම ගෞරවය මත එම සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ ආදරණීය බව නිදහස් බව ප්‍රගතිශීලී බව තීරණය වන බව මේ ගීතයෙන් පෙන්වීමට උත්සාහ කර තිබුණා.

 

 

 

අසාධ්‍යයි කියූ අයට දුමාල්ගෙන් පිළිතුරක්

මේ දවස්වල නොයෙක් කලාකරුවන්ට කොවිඩ් වැලැඳි ඇති බව විවිධ මාධ්‍ය ඔස්සේ නොයෙක් කට කතා පැතිරෙනවා. මේ කතාවට අලුතෙන්ම ඈඳිලා තියෙන්නේ ගායන ශිල්පී දුමාල් වර්ණකුලසූරියගේ නම. ඔහුට කොවිඩ් 19 රෝගය වැලැඳී දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කටකතාවක් පැතිර තිබුණා. මේ කතාව අසත්‍ය බවත් තමා සෞඛ්‍ය සම්පන්නව සිටින බවත් මෙවැනි අසත්‍ය ප්‍රචාර නොකරන ලෙස දුමාල් සිය මුහුණු පොත ඔස්සේ සටහනක් තබමින් කියා සිටියා. එවැනි රෝගයක් වැලඳුණොත් අනිවාර්යයෙන් සියලු දෙනාවම දැනුම්වත් කීරීමට ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා තිබුණා.

 

 

 

 

 

ලොව උසම ගොඩනැගිල්ලේ සටන් කරන ශාරුක්

ශාරුක් ඛාන්, දීපිකා පදුකෝන් සහ ජෝන් ඒබ්‍රහම් රඟන ‘පතාන්’ චිත්‍රපටය මේ වනවිට විශාල අවධානයක් දිනාගෙන. ඊට ප්‍රධාන හේතුව ශාරුක් ඛාන් වසර දෙකකට වැඩි කාලයකට පසු රඟපාන පළමු චිත්‍රපටය එය වීම යි. මේ දිනවල චිත්‍රපටය රූගත කෙරෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර යි. මේ ගැන පළ වූ අලුත්ම පුවත තමයි ඩුබායි හි පිහිටි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල තුළ ද චිත්‍රපටයේ ඉතා උද්වේගකර සහ දීර්ඝ ජවනිකාවක් රූපගත කරන බව. මෙම ගොඩනැගිල්ලේ චිත්‍රපට රූගත කිරීම නිතර සිදුවන්නක් නොවෙයි. ඇතැම් වාර්තාවලින් පැවසෙන්නේ බර්ජ් ඛලිෆා හි රූගත කෙරන පළමු ඉන්දියානු චිත්‍රපටය මෙය විය හැකි බව යි. Mission Impossible සහ Fast and Furious වැනි හොලිවුඩ් චිත්‍රපට මෙයට පෙර මෙහි රූපගත කර තිබුණා. සිනමාපටය ගැන තොරතුරු දන්නා අයකු මාධ්‍ය වෙත පවසා තිබුණේ ශාරුක් මෙම මීටර 830 ක් (අඩි 2,725 ක්) උස ගොඩනැගිල්ල මුඳුනේ සටනක නිරත වනු දකින්න ට ලැබුණත් පුදුම නොවන ලෙසයි.

 

 

හොරෙන් විවාහ නොවන බව ජනිත් කියයි

ජනප්‍රිය රංගන ශිල්පි ජනිත් වික්‍රමගේ විවාහ දිවියට පිවිසුණා යැයි පවසමින් පසුගියදාක සමාජ මාධ්‍ය ජාලා කලඹමින් හුවමාරු වූ වීඩීයෝ පටයේ ඇත්ත නැත්ත පිළිබඳ ජනිත්ගෙන් කළ විමසීමකදී ඔහු පැවසූවේ එම ප්‍රචාරය අසත්‍යක් බවයි. එම ඡායාරූප සහ වීඩියෝව පෙබරවාරි 14 යෙදුණු ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් තමා පෙනී සිටි රූගත කිරීමක් බවත් එසේ හොර රහසේ විවාහ වීමට කිසිම හේතුවක් නොමැති බව පවසමින් ජනිත් එය නිවැරැදි කළා.

 

 

 

Comments